ඌරන්ට ඇටවූ විදුලි රැහැනකට අසුවී අයෙක් මරුට | දිනමිණ

ඌරන්ට ඇටවූ විදුලි රැහැනකට අසුවී අයෙක් මරුට

ඌරන් සඳහා නීති විරෝධීව අටවන ලද විදුලි රැහැනකට අසු වී බරපතළ ලෙස තුවාල වු මාතර, නායිමන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු‍ මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යමින් සිටිය දී ඔවුන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසීය පවසයි.

මෙම අනතුරින් බරපතළ තුවාල වු අනෙක් තරුණයා අසාධ්‍ය තත්ත්වයේ මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලබන පොලිස් නිලධාරීන් සඳහන් කරන පරිදි මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාතර නාවිමන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 තරුණයෙකි. ඔහු මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මැනුම් සහායකයෙකු ලෙසද සේවය කර ඇති බය පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන පරිදි මියගිය තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ නායිමන මාර්ගයේ රාත්‍රි කාලයේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් කණ්ඩායමක් ඔවුන්ට පහරදීමට පසු පස එළවාගෙන පැමිණෙමින් සිටියදී එම ප්‍රහාර වලින් බෙරී පලායාමට අසල වෙල්යායක් හරහා දුවමින් සිටියදී මෙම අනතුරට පත්ව තිබේ.

මාතර කොට්ඨාස පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ උපදෙස් පරිදි මාතර මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ධම්මික අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නිති විරෝධීව විදුලි රැහැන් අටවන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති. 

පී. පී. ජී. සුගතදාස
තිහගොඩ සමුහ

නව අදහස දක්වන්න