වවුනියාව ජනතාවගේ නොවිසැඳුණු ගැටලු රැසකට විසැඳුම් | දිනමිණ

වවුනියාව ජනතාවගේ නොවිසැඳුණු ගැටලු රැසකට විසැඳුම්

වවුනියාවේ සෛවප්‍රගාස බාලිකා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සූදානම්ය. සුන්වූ ප්‍රාර්ථනා සහිතව, ජීවිතයේ නොවිසඳුණු ගැටලු සමුදායක් සමඟ ජීවත්වූ මිනිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ සියලු ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් අනතුරුව පැවැත්වෙන මහෝත්සවයක් සඳහා ඉතිහාසයේ පළමු වරට වව්නියාවේ මිනිස්සු සූදානම් වන්නෝය.

වවුනියාවේ ජීවත් වුණු බහුතරය බොහෝ අසරණ මිනිස්සුය. මහා සමාජය අතපල්ලෙන් අත්හල මිනිස්සුය. දුගීබවින් මතු නොව දරිද්‍රතාවය සේම කුල පීඩනයෙන්ද පෙළා දැමූ මිනිස්සුය. ප්‍රශ්න සමඟ ඉපදී ප්‍රශ්න සමගම මිය යෑමට නියම කළ මිනිස්සුය. මේ මිනිසුන්ගේ ජීවිත ගැටලු බවට පත්වී තිබූ මූලික සිවිල් ප්‍රශ්න ගණනාවකි. ඔවුන් අතරින් අයෙක් උප්පැන්න සහතිකයක් තරමේ දෙයක් නැති උන්ය. ඉඩමේ ඔප්පුවක් තරම් හිමිකම් සහතිකයක් නැති උන්ය. හැඳුනුම්පතක් තබා විවාහ වී ගතකළ අඹු සැමි ජීවිතය නිශ්චය කරන විවාහ සහතිකයක් තරම් දෙයක් නැති උන්ය. සමාජ ජීවිතයක් ගතකිරීමේ දී අවශ්‍ය මූලික නෛතික ආවරණය රහිතව අප්‍රමාණ වදයට පත්වූ මිනිස්සුන්ය. දශක ගණනක් ඒ ප්‍රශ්නවල වින්දිතයන් වී සිටි මිනිසුන්ය. එවැනි මූලික ජීවිත ගැටලුවලට විසඳුම් සොයා දෙන්නට ආරම්භ කළ ජනපති ජනතා සේවා නිලමෙහෙවර වැඩසටහනේ ප්‍රාදේශීය වැඩසටහන් 63ක් අවසන් කර ජාතික වශයෙන් පවත්වන තුන් වන පියවර ලබන 21 දා වවුනියාවේ දී නිමා කරන්නේය. ඒ වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක ජීවත්වූ සමස්ත ජනතාව විසින් ඉදිරිපත් කළ සියලු සිවිල් පරිපාලන ගැටලු සහ වෙනත් අවශ්‍යතා සඳහා නිශ්චිත විසඳුම් ලබා දෙමිනි.

මේ රටේ ඇති අමාත්‍යාංශ 53 කි. මේ මිනිස්සු වෙනුවෙන් එම සෑම අමාත්‍යාංශයක්ම නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු දහස් ගණනක් ඉතිහාසයේ පළමු වතාවට වවුනියාවට පැමිණ සිටියහ. එක් වතාවක් නොව, විටින් විට 6 වතාවක් පැමිණියහ. අගමැතිතුමා හා ජනාධිපතිතුමා පැමිණෙන 21 වැනි සෙනසුරාදා මේ රාජ්‍ය නිලධාරීන් වවුනියා යන්නේ 7 වැනි වතාවටය. ඔවුහු මෙතෙක් වවුනියාව පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිල මෙහෙවර වැඩසටහන් පැවැත්වූහ. මතුවුණු ගැටලු දහස් ගණනකට එහිදී විසඳුම් ලබා දී තිබුණහ. තවත් ශේෂ වූ ප්‍රශ්න ගණනාවකට නිශ්චිත පිළිතුරු ලබා ගැනීම සඳහා පන්දහසකට ආසන්න පුරවැසියන් පිරිසක් ලබන 21 වැනි සෙනසුරාදා වවුනියාව සෛවප්‍රගාස බාලිකා විද්‍යාලයට එන්නේය. එදිනට එතැනට රටේ අගමැතිවරයාත් එන්නේය. ජනාධිපතිවරයාත් එන්නේය. ස්වදේශ කටයුතු ඇමැතිවරයාත් එන්නේය.

ආරම්භ වී ඇත්තේ නව සංස්කෘතියකි. උත්සව පැවැත්වෙන්නේ දශක ගණනක් තිස්සේ මේ රටේ අහිංසක පුරවැසියන් පිරිසකගේ නොවිසඳුනු ගැටලු ලක්ෂ ගණනකට නිශ්චිත උත්තර සහිතවය. නිල උත්සවය ආරම්භ වන්නේ උදේ 8.30 ටය. එදින උදේ 6.30 සිට රාත්‍රී 11.00 දක්වා අවසාන වැඩසටහන පැවැත්වෙන්නේය. එදිනටත් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීමට වවුනියාවේ ඇත්තන්ට පුළුවන.

රටේ ග්‍රාමසේවා වසම් 14022 කි. දිසාපති කාර්යාල 22 කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 කි. අපේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙක්ම මේ ව්‍යුහයට නමකින් ලිපිනයකින් සම්බන්ධය. මේ සිවිල් පරිපාලනයේ කේන්ද්‍රස්ථානය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ය. කෙනෙක් ඉපදුණු විට උප්පැන්න සහතිකය නිකුත් කරන්නේත්, විවාහ වූ විට විවාහ සහතිකය නිකුත් වන්නේත්, මිය ගිය විට මරණ සහතිකය නිකුත් කරන්නේත්, අලුතින් ආණ්ඩුව හඳුන්වා දුන් නුදුටු සහතිකය නිකුත් කරන්නේත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ය. රටේ මිනිස්සුන්ගේ භූමියේ අයිතිය තහවුරු වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තුළය. ඔප්පුවක පූර්ණ අයිතිවාසිකම හා ආරක්ෂිත භාවය තහවුරු කරන්නේ මේ අමාත්‍යාංශ ය. කොටින්ම කියනවා නම් උපතේ සිට මරණය දක්වා මේ රටේ ජීවත් වන මිනිසුන් මුහුණ දෙන අටෝරාසියක් ප්‍රශ්නවලට උත්තර ඇත්තේ මේ අමාත්‍යාංශය තුළය.

අති විශේෂ ගැසට් පත්‍ර අංක 1933/13 හා 2015 සැප්තැම්බර් 21 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍ර අනුව ස්වදේශ කටයුතු අමත්‍යාංශය ස්ථාපනය කළ මොහොතේම රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඊට පැවරූ රාජකාරිය වූයේ මේ රටේ ජීවත්වන මිනිස්සුන්ගේ සෑම නිවසකම ඇති සිවිල් පරිපාලනය සම්බන්ධ ගැටලු හඳුනාගෙන එම ප්‍රශ්න නමින්, ලිපිනයෙන් විසඳා දීමය.

ඒ විශිෂ්ට මෙහෙයුම දැන් අරඹා ඇත්තේය. එය නම් කර ඇත්තේ ජනපති ජනතා සේවා නිලමෙහෙවර වැඩසටහන නමින්ය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නියම පරිදි මේ මොහොත වනවිට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධනගේ මෙහෙයවීමෙන් ඒ වැඩසටහන ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික කර හමාරය.

මුලින්ම මේ වැඩසටහන ආරම්භ වූයේ පොලොන්නරු දිස්ත්‍රික්කයෙනි. අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කයෙනි. මෙවර දිස්ත්‍රික් පහක් එකට එකතු කරගනිමිනි. ඒ දිස්ත්‍රික්ක කුරුණෑගල, මන්නාරම, වව්නියාව, කිළිනොච්චිය හා මුලතිව් ය.

මේ ක්‍රියාන්විතය පෙළ ගැසෙන ආකාරය මනරම්ය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් කොටස් තුනක් ඉන්නේය. එක් කොටසක් ග්‍රාමසේවකවරුය. අනෙක් පිරිස සමෘද්ධි නිලධාරීන්ය. තෙවන කොටස සංවර්ධන නිලධාරීන්ය. නිලමෙහෙවර පැවැත්වෙන දිස්ත්‍රික්කයේ නිවසක් පාසා මේ නිලධාරීන් යන්නේය. මේ සේවාව ගැන දැනුවත් කරන්නේය. අනතුරුව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් බෙදන්නේය. ඒ සමඟම හැම නිවසකටම ෆෝරමයක් සහිත ෆයිල් කවරයක් ලබා දෙන්නේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ජනතා ගැටලු ගොනුවන්නේ එසේය.

මුල්ම වරට පොලොන්නරුවේ නිල මෙහෙවර වැඩසටහන පැවැත්විනි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කි. එහි විශාල ජනගහණයක් නොවේ. නමුත් ජනාධිපතිවරයා දේශපාලනය කළ, ඔහු ජනාධිපතිවරයා ලෙස ඔසවා තබන්නට මුල්වුණු පොළොන්නරුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත තුළ පමණක් මිනිසුන්ගේ හඳුනාගත් ගැටලු ප්‍රමාණය අසූ දහස ඉක්මවීය. මුල් වැඩසටහනින් ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබිණි.

දෙවන අදියර ගාල්ලේය. ගාල්ල දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර අවසන් විය. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කි. මැත්වරණ කොට්ඨාස 10 කි. ග්‍රාසේවා වසම් 896 කි. ජනගහණය ලක්ෂ 13 ආසන්න ප්‍රමාණයකි. නිවාස ප්‍රමාණය තුන්ලක්ෂ දස දහස ඉක්මවා ඇත්තේය. හඳුනාගත් ප්‍රශ්න ගණන දෙලක්ෂ හතළිස් පන්දහසක් පමණ ය. ඉන් ප්‍රශ්න ලක්ෂ දෙකකට පමණ විසඳා තිබිණි. තවත් 45 000 ක් පමණ විසඳීමට නියමිතය.

මේ වනවිට වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාව ඉදිරිපත් කළ ගැටලු සියල්ල විසඳා අවසන්ය. කුරුණෑගල, මුලතිව්, මන්නාරම හා කිළිකොච්චි දිස්ත්‍රික්කවල ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිරවරණ කොට්ඨාස 14 කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කි. ඡන්ද දායකයන් ලක්ෂ 16 කි. ඉදිරිපත් වී ඇති ජනතා ප්‍රශ්න ප්‍රමාණය පන්ලක්ෂ හතළිස් දහසකි. දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 අසරණ මිනිසුන්ගේ ගැටලු විසඳා හමාරය. රටේ අමාත්‍යාංශ 53 ම නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව හමුවට පමණක් 31 වතාවක් යෑමට නියමිතය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු විසඳීම සඳහා පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය නිලධාරීන් හතළිස් දහසක් පමණ සිය සේවය ලබා දී තිබුණහ.

“සියලු ගැටලු පූර්ණව විසඳීම සඳහා කෙටි කාලයක් අවශ්‍යයි. මාස දෙකක් හෝ තුනක්. සමහර ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න අණ පනත් සංශෝධනය කරන්නත් අවශ්‍යයයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගැනීම සඳහා වූ අණ පණත් පිළිබඳව අගමැතිතුමා කටයුතු කරමින් ඉන්නවා. අග්‍රාමාත්‍යතුමාට ඕන කරලා තියනවා මේ ප්‍රශ්න දිහා බලලා මහජන සේවා කළමනාකරණ අධිකාරියක් ඇති කරන්න. ඒක ඇති කළාම මහජනතාවට කෙළින්ම වගකියන අධිකාරියක් මේ රටට තියෙනවා. ඒක අගමැතිතුමාගෙ ඉලක්කයක්. එය රට තබන ඉදිරි පියවරක් වේවි.” ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන කියන්නේය.

මේ රටේ පොදු මිනිසාගේ ප්‍රශ්න අප හිතනවාට වඩා බෙහෙවින්ම වෙනස් එකකි. මේ මිනිසුන්ට ජීවිත් වීම සඳහා අවම මූලික මානුෂික පසුබිම අවබෝධයක් සහිතව නිර්මාණය කරන්නට මෙතෙක් අපට හැකි වී තිබුණේ නැත. ජනපති ජනතා සේවා නිල මෙහෙවරේ දී එළි දකින්නේ දශක ගණනාවක් තිස්සේ දේශපාලනයෙන් හා සිවිල් පරිපාලනයෙන් සිදුවූ සාහසික අත්පසු කිරීමක දත්තයන්ය.

වවුනියාවේ සෛවප්‍රගාස බාලිකා විද්‍යාල භූමියේ දී පස්වැනි වතාවටත් ඒ ප්‍රවේශයේ අරුමය ප්‍රකට වන්නේය. 21 දාට එකෙළිවන සෛවප්‍රගාස බාලිකා විද්‍යා භූමිය අප්‍රමාණ පීඩනයකින් ජීවත්වුණු මේ රටේ එක් පුරවැසියන් පිරිසකගේ සතුට ගලා හැලෙන භූමියකි. ප්‍රශ්න විසඳුණු මිනිසුන් පිරිසක් එකතු වෙන භූමියකි. මේ මිනිසුන් වෙනුවෙන් පත් වී සිටිනා ද්‍රවිඩ භාෂාව කතා කරන නොකරන සියලුම මහජන නියෝජිතයන් දේශපාලනයකින් තොරව මිනිසුන් වෙනුවෙන් කැපවෙන භූමියකි.

මේ යථාර්ථයක් වී ඇත්තේ ඉතිහාසයේ අපෙන් ගිලිහී ගිය ප්‍රාර්ථනාවන්ය. අවශ්‍ය ගෞරවය සහිතව පිළිගෙන එය පත්වා ගැනීමට සඳහා සමාජයක් ලෙස දෘෂ්ටි පූර්ණව එක්වීමේ අවශ්‍යතාව දැන් රට අභිමුව තිබේ. 

 

නව අදහස දක්වන්න