පක්ෂයේ මතය ගෙනියන්නෙ නැති සංවිධායකවරු වැඩක් නැහැ | දිනමිණ

පක්ෂයේ මතය ගෙනියන්නෙ නැති සංවිධායකවරු වැඩක් නැහැ

දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෙනස් කිරීමට හේතු සහ නව සංවිධායකවරුන්ට ජන පදනමක් නැති බවට නැ‍ඟෙන චෝදනා සම්බන්ධව දරන අදහස, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිල්ල පිළිබඳ ප්‍රශ්නය සහ තවත් කාලීන කරුණු රැසක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කෘෂිකර්ම ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මැති හමුවට එක් වූයේ මෙසේ ය.

* අලුත් අයගෙ වැඩ ඉස්සරහදි බලමු
* ජනාධිපතිකමෙන් මන්ත්‍රීකමට යාම කෙනෙකුගෙ අවස්ථාව පැහැර ගැනීමක්
* සිරිමා මැතිනිය දුව, පුතා පවා සංවිධායකකමින් ඉවත් කළා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් මේ දිනවල දිගට හරහට වෙනස් කරනවා. ඇයි මේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සභාපති ධුරයට පත් වූ පසු ආරම්භ කළා. මීට කලිනුත් ආසන සංවිධායකවරුන් කීප දෙනෙක්ම අපි අයින් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙක් වුණහම ප්‍රවර්ධනය කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පක්ෂයේ මතය ගමට ගෙනියන්න ඕනෑ මේ ආසන සංවිධායකවරුන් හරහායි. ආසන සංවිධායකවරයා පක්ෂය දරන මතය ගමට ගෙනියන්නේ නැතිනම් පක්ෂයට විය යුතු සේවය වෙන්නේ නෑ. ඒ නිසා තමයි පහුගිය කාලය පුරාවටම ක්‍රියාකාරී නොවන සංවිධායකවරුන් ඉවත්කර වෙනත් සංවිධායකවරුන් පත් කෙළේ.

මෑතකදී කුමාර වෙල්ගම මහතාත් මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් ඉවත් කළා. මේ අය ප්‍රවර්ධනය කරන්නේ අපේ පක්ෂය නෙවෙයි වෙනත් පක්ෂයක්. වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවල රැඳී සිටීම ඒ ගොල්ලන්ටත් වටින්නේ නෑ. ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණ එනවා. පළාත් සභා මැතිවරණ එනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම් මට්ටමින් සංවිධාන කටයුතු කරන්න ඕනෑ. ඒක කරන්නේ නැති ආසන සංවිධායකවරයෙක් ඉන්නවානම් වෙනත් කෙනෙක් ඒ සඳහා පත් කරන්න ඕනෑ.

පැරැණි සංවිධායකවරුන් ඉවත් කර පත් කරන නව සංවිධායකවරුන්ට ජන පදනමක් නෑ කියන චෝදනාව ගැන මොකද කියන්නේ?

ඔය දැන් පක්ෂයේ අයිතිකාරයෝ විදියට නමක් හදාගෙන ඉන්න උදවියත් ආරම්භ කෙළේ කොතනින්ද කියලා ඒ අයගෙන් අහලා බලන්නකෝ. උදාහරණයක් විදියට මගේ පියා 1983 වසරේ සංවිධායකවරයා වෙනකොට එතරම් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. දේශපාලන වශයෙන් හයිය ශක්තිය තියන අය තමයි අපි තෝරලා තියෙන්නේ. ඉදිරියේදී තමයි ඒ අයගේ දක්ෂතාව හැකියාව බලාගන්න පුළුවන්කම තියෙන්නේ. කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරනකොට තවත් හැකියාව දක්ෂතාව තියන ගමනක් යන්න පුළුවන් අලුත් අය තමයි අපි පත් කරලා තියෙන්නේ.

ජනාධිපතිවරයා ලෙස දෙවරක් තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා අද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස රැඳී සිටීම ගැන ඔබ දරන අදහස කුමක් ද?

ඒක ඉතාමත් වැරදි ක්‍රියාවක්. මොකද මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මුල ඉඳලා දරපු මතයක් තමයි, මේ රටේ පුංචි මනුස්සයාටත් දේශපාලනයෙන් ඉහළට යන්න පුළුවන් එකම පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක. දෙවරක් ජනාධිපති ධුරය දරලා නැවත මන්ත්‍රීවරයෙක් වීම නිසා පක්ෂයේ කෙනෙකුට මන්ත්‍රීවරයෙක් වීමට තිබූ අවස්ථාව තමයි නැති වුණේ. මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොටින් ඉල්ලුවානම් රාජපක්ෂලා එක්කෙනෙකුට ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා තමයි කුරුණෑගලට ආවේ. එහෙම නැතිව කුරුණෑගලට තියන ආදරයකට නෙවෙයි. රාජපක්ෂ මහත්තයා ඡන්දය ඉල්ලීම නිසා කුරුණෑගල කෙනෙකුට මන්ත්‍රීවරයෙක් වීමට තිබුණු අවස්ථාව අහිමි වුණා. ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ දේශපාලනයෙන් යන්න පුළුවන් ඉහළම තැන. එතනටත් ගිහින් ආයෙත් ආපස්සට තරග කිරීම නායකයෙකුට එච්චර උචිත නෑ.

එහෙමනම් ඇයි දෙවරක් ජනාධිපති ධුරය දරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අත්තනගල්ල සංවිධායක ධුරයට පත් කරලා තියෙන්නේ.

එතුමිය පහුගිය කාලය පුරාම එහි සංවිධායකවරියයි. අපේ පක්ෂයේ ඉන්න සමහර සංවිධායකවරුන්ට ඒ තනතුර දීල තියෙන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පත්වීමක් ලෙස. තවත් සමහරු පත් කරලා තියෙන්නේ චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මහතා තවත් සංවිධායකවරුන් පිරිසක් පත් කරලා තියනවා. සමහරුන්ට පත්වීම් දීලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මේ නිසා අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති අතින් සියලුම සංවිධායකවරුන්ට පත්වීම් ලබාදිය යුතුයි කියලා. ඒ අනුවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටත් සංවිධායක තනතුරක් ලැබුණේ.

ඔබේ ප්‍රකාශය පිළිගන්න බෑ. පසුගිය කාලයේ අත්තනගල්ල සංවිධායකවරයා ලෙස හිටියේ සරණ ගුණවර්ධන මහත්තයා නේද?

සංවිධායකවරයාගේ වගකීම හරියාකාර ලෙස ඉටු නොකළ නිසා තමයි අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පත් කෙළේ. හැබැයි චන්ද්‍රිකා මැතිනිය ප්‍රාදේශීය සභාවටවත්, පළාත් සභාවටවත්, පාර්ලිමේන්තුවටවත් ඡන්දය ඉල්ලන්නේ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කරනවා නම් මහින්දානන්ද අලුත්ගමගේට, කුමාර වෙල්ගමට යළි සංවිධායක ධුර ලබාදිය හැකි බව මහින්ද අමරවීර ඇමැතිතුමා කියලා තිබුණ නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ වැඩ කරනවානම් ඔය ඕනෑම කෙනෙක් සම්බන්ධ කර ගැනීමට අපි ‘පසුබට’ වන්නේ නෑ. අපිට මේ අයත් එක්ක පුද්ගලික කෝන්තරයක් නෑ. තියෙන්නේ දේශපාලන ප්‍රතිපත්තිමය ගැටලුවක්. මේක සිරිමාවෝ මැතිනියත්, චන්ද්‍රිකා මැතිනියත් , මහින්ද රාජපක්ෂ මහත්තයත් කළා.සිරිමාවෝ මැතිනිය පක්ෂය වෙනුවෙන් තම දුව, තම පුතා සංවිධායක ධුරවලින් ඉවත් කළා. එයාලා පක්ෂය සමඟ හරි විදියට සම්බන්ධවන විට නැවතත් පක්ෂයට ඇතුළු කර ගත්තා. සංවිධායක පක්ෂයේ අරමුණු ඉටු කරන්නේ නැතිනම් තරාතිරම නොබලා පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න වෙනවා.

මේ ඉවත් කළ සංවිධායකවරුන් බොහෝමයකට දූෂණ චෝදනා තියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කරනවා නම් මේ දූෂණ චෝදනා තිබුණට කමක් නැති ද?

දූෂණ චෝදනා ගැන කතා කරනකොට අපි එක දෙයක් පැහැදිලි කර ගන්න ඕනෑ. මේ රටේ ආණ්ඩුවලින් මොන ආණ්ඩුවද තමන්ගේ හයිය බලය දේශපාලනයට පාවිච්චි කළේ නැත්තේ. දේශපාලනය කරලා තමන්ගේ සුබ සිද්ධිය සඳහා මුදල් වංචා කරලා තියනවා නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වරදවල් කියන ඒවා අපි හරියට විග්‍රහ කර ගන්න ඕනෑ. සමහර වෙලාවට සමහර ඇමැතිවරුන් මැතිවරණ කාලෙදී කන්න බොන්න හරි දීලා රැස්වීමක් කරලා තියනවා අමාත්‍යාංශ රැස්වීමක් විදියට. සියලුම පක්ෂ මේ වැඩේ කරලා තියනවා. හැබැයි මෑතකදි මේ වැඩේ කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපියි. අපි වසර දාහතක් බලයේ සිටිය නිසා අපි අතින් තමයි මේ වැරැද්ද ළඟදී වෙලා තියෙන්නේ. අපි තීන්දුවක් ගන්න ඕනෑ ඉදිරියේ දී මහජන දේපොළ , මුදල් වගේ දේවල් මැතිවරණ සඳහා පාවිච්චි කරන්නේ නෑ කියලා. මේ අලුත් දේශපාලන සංස්කෘතියත් සමඟ හොරු ‍හොයන්න අපිට ඕනෑකම තියනවා.

පොහොර සංස්ථාවේ සභාපතිවරයා මෑතක දී ඉල්ලා අස් වුණා. මේ ඉල්ලා අස්වීමට හේතුව විදියට මාධ්‍ය වාර්තා කරලා තිබුණේ කෑම බිලක් ගෙවන්න සභාපතිවරයාට ඔබ බලපෑම් එල්ල කළා කියලයි. ඇත්තටම මොකද වුණේ?

එතුමා ඉවත් වුණේ නෑ. මම එයා වෙනුවට කෙනෙක් පත් කළේ ඊට මාසෙකට විතර කලින්. එයා කියන කෑම බිල ඇත්ත. ඒක මම කෑම කාපු බිලක් නෙවෙයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ගොවි කාන්තා සමිති හැදුවා. මෙච්චර කාලෙකට පිරිමි තමයි ගොවිජන සේවා සමිතිවල කටයුතු කළේ. ඒත් කාන්තාවන් ගොවිතැනත් සමඟ විශාල ලෙස සම්බන්ධ වෙනවා. තමන්ගේ ඉඩම වගා කරන්න කුඹුර වගාකරන්න කාන්තාවෝ කෘෂිකර්මයට ගෙදර දී සම්බන්ධ වුණාට නීත්‍යානුකූලව සම්බන්ධ වෙලා හිටියේ නෑ. අපි ‘සිතමු’ ගොවි කාන්තා සමිති 25000 ක් මේ වනවිට ලංකාව පුරා ඇති කරලා තියනවා. සැම ගමකම ‘සිතමු’ ගොවි කාන්තා සමිති හදලා තියනවා. මේ ගොවි කාන්තා සමිති එළි දැක්වීමේ උත්සවයක් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා. ඒ උත්සවයේදී අපේ අමාත්‍යංශය යටතේ තියන ආයතනවලටත්, පුද්ගලික අංශයටත් කතා කරලා මේ සඳහා යන බර පැන බෙදා ගත්තා. මේක අපේ අමාත්‍යාංශයේ පමණක් වෙන දෙයක් නෙවෙයි. සෑම තැනකම වෙනවා. නිදහස් උත්සවය පවත්වන්නෙත් එහෙමයි. පොහොර සමාගම බාර ගත්තේ ආහාරවල බිල ගෙවන්න. ඒ වගකීම බාර අරන් ඒක හරියාකාර ලෙස ඉටු කිරීමත් යහපාලනය නේ. මේක දුමින්ද දිසානායකගේ වැඩක් නෙවෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශ‍යේ වැඩක්. ඒකට මුදල් ගෙවිය යුත්තේ අමාත්‍යාංශයේ ආයතන. එතුමා කියන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය කෝටි ගණනක් වියදම් කරමින් තවම ගෙවැදුණේවත් නැති ගොඩනැගිල්ලකට කුලී ගෙවනවා කියලා කියන චෝදනාවක් තියනවා. ඇයි එහෙම කරන්නේ?

දැන් ඒ ගොඩනැගිල්ලේ අපි රාජකාරි කටයුතු ආරම්භ කරලා තියනවා. මේක කලින් ආපු චෝදනාවක්. මේ චෝදනාවටත් මා ලක්විය යුතු නෑ. ඊට හේතුව පාර්ලිමේන්තුවට තමයි අවශ්‍යතාව තිබුණේ මගේ බිල්ඩිම ගන්න. මගේ බිල්ඩිමෙන් යන්න මට අවශ්‍යතාවක් නෑ. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම සඳහා අපේ බිල්ඩිම තෝර ගන්නවා. ඒ නිසා අපිට වෙනත් තැනකට යන්න වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය කෑලි කෑලිවලට කඩලා තැන් තැන්වලට යන්න මා කැමති වුණේ නෑ. ඒ අනුව සියලු ආයතන එකට ඉන්න තමයි මේ බිල්ඩිම ලැබෙන්නේ. ගෙයක් කුලියට ගන්න ක්‍රම කීපයක් තියනවා. බඩුත් සමග ගන්නවා. බඩු නැතිව ගන්නවා. බඩු නැතිව ගත්තොත් පදිංචියට යන්න වෙන්නේ ඉන්න පුළුවන් වෙන්න ගෘහ භාණ්ඩ ගත්තට පස්සේ. මේ රටේ කවුද අපිට ගොඩනැගිල්ලක් දෙන්නේ අමාත්‍යාංශයක් විදියට හදාගන්න. කලින් කුලී අය නොකරගෙන ආණ්ඩුවේ තැනකට ගියත් ගොඩනැගිල්ල අමාත්‍යාංශයක් විදියට හදාගන්නකන් කුලියක් දෙන්න වෙනවානේ. සමස්ත අමාත්‍යාංශයක් කියන්නේ පුංචි කෑල්ලක් නෙවෙයි. මේක හදාගන්න ගත කළ කාලය තුළයි සමහරු චෝදනා කළේ මෙන්න ගෙවදින්නත් කලින් කුලී ගෙවනවා කියලා.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්. මේ ධුරය දරන්න ඔබ මෝරලා මදි කියලා රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා නිතර කියනවා. ඒ කතාව ඇත්තද?

ඒ කතාව දැන් කියලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී බව ඇතිවෙලා තියනවා. අපේ හිටපු සභාපති ඉන්න කාලේ වචනයක් වැරදුනානම් තනතුරු නම්බුනාම ගැලවෙන යුගයක්. හැබැයි වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ අයට ඕනෑ දෙයක් කතා කරන්න නිදහස දීලා තියනවා. හැබැයි මේ නිදහස වැරදි විදියට භාවිත වන අවස්ථාත් තියනවා. ලේකම්වරයා විදියට මා ඒ ගැන කතා කරන්න අදහස් කරන්නේ නෑ. ඇතුලේ කතා කරන්නේ මොනවද පිට කතා කරන්නේ මොනවද කියා අපි තේරුම් බේරුම් කර ගන්න ඕනෑ. ඒ නිසා ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මා කැමති නෑ.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹුවා. එහි ප්‍රගතිය කොහොමද?

අපි මේක වගා සංග්‍රාමය විදියට යොදාගෙන තියනවා. 2017 සිට 2020 දක්වා වසර තුන තුළ මේක ක්‍රියාත්මක කරනවා. පුරන් කුඹුරු අක්කර එක් ලක්ෂ තිස්දාහක් නැවත වී වගාවට හෝ ස්ථිර නොවන බෝග වවනවා. වැව් දහදාහක් ප්‍රතිසංස්කරණය කරනවා. වගා ළිං දෙදාහක් හදනවා. ඒ අයට ලක්ෂ දෙකක ආධාර දෙනවා. සූර්යබල ජල පොම්පයක් ගන්න තවත් ලක්ෂයක් දෙනවා. සියලු පාසල්වල වගා කරනවා. ආගමික ස්ථානවල වගා කරනවා. විසිහත්දාහක් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක පිරිසගේ ගෙවතු වගා කරනවා. ‘සිතමු’ කාන්තා සමිතිවල ගෙවතු වගා කරනවා. විශ්‍රාමික උදවියට වගා කරන්න අවශ්‍ය දැනුම පුහුණුව ලබා දෙනවා. ආහාර නිෂ්පාදනය පමණක් නෙවෙයි මෙමගින් ගොවි ආර්ථිකයක් ශක්තිමත් කරනවා.

ගාමිණි බණ්ඩාරනායක

නව අදහස දක්වන්න