ගමට යන අලුත් ගැම්ම! | දිනමිණ

ගමට යන අලුත් ගැම්ම!

ශ්‍රී ලංකාවට ඇත්තේ ගම්මාන තිස් දහස් ගණනකි. මේවායින් බොහොමයක් යැපුමේ කෘෂිකර්මය මත පවතින්නේ යැයි කිව හැකි ය. කිසියම් ආර්ථික උපාය මාර්ගයක් ඔස්සේ ඉහත කී ගම්මානවල යැපුම් කෘෂිකර්මය වාණිජ කෘෂිකර්මයක් බවට පත් කළ හැකි නම්; එලෙසම මේ ගම්මානවල තවත් සුළු කර්මාන්ත ඇති කළ හැකිනම්; ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ස්ථාවර කළ හැකිය. ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයද පොදුවේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයද සතුටුදායක කර ගත හැකිය. බැලූ - බැල්මට නම්; මෙය ඉතා සරල ආර්ථික සමීකරණයකි. එය යථාර්ථයක් බවට පත් කිරිමට සැලැකිය යුතු ප්‍රයත්නයක් දැරිය යුතුය.

ග්‍රාම සංවර්ධනය මූලික කරගත් වැඩසටහන් රාශියක් ඉතිහාසය තුළ ක්‍රියාත්මක වී ඇත. දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන් රාශියක්ද ඉතිහාසයේ ක්‍රියාත්මක වී ඇත. දැනට ද ඇතැම් වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. මේවා පිළිබඳ පසුවිපරම් කරන විට පෙනී යන්නේ ඒවා සාකල්‍යයෙන් ම තම ඉලක්ක ජයගැනීමට සමත් වී නැති බවය. බංගලිදේශය තුළ ග්‍රාමීය බැංකු ක්‍රමය නමින් දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහි නිර්මාතෘ මහාචාර්ය මොහොමඩ් යූනුස් මහතාට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමිණි. එහෙත් බංගලිදේශයේ දිළිඳුකම තුරන් වූයේ නැත.

ආසියාවේ බොහොමයක් සංවර්ධන වැඩසටහන්වල ඇති ප්‍රධාන දුර්වලතාවක් වන්නේ ඒවා වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක නොවීමය. අද පවතින්නේ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයකි. ලෝකය ආර්ථික ගනුදෙනුවලින් වඩාත් සමීප වී ඇතැ’යි කියනු ලැබේ. කිසියම් රාජ්‍යයක් තමන්ගේ ස්වයංපෝෂිතභාවය ගැන පමණක් උපකල්පනය කරන්නේ නම්, එම රාජ්‍යයට ලෝකය සමඟ ඉදිරියට යෑමේ හැකියාව අඩු ය. මේ අනුව දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වල දී නිෂ්පාදනය,වෙළෙඳ පොළ, කළමනාකරණය, ප්‍රවාහනය, පාරිභෝගික සමාජ ආදී සාධක ගැන අලුතින් කල්පනා කරන්නට සිදුවී තිබේ.

ආණ්ඩුව ‘ශ්‍රම  ශක්ති’ නමින් අලුත් සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මේ වැඩසටහනේ ඇති වෙනස වන්නේ ගමේ ආර්ථික නිෂ්පාදන වෙළෙඳ පොළ යාන්ත්‍රණය සමඟ සම්බන්ධ කිරීම ය. එහි ඇති තවත් වෙනසක් වන්නේ ග්‍රාමීය සමාජය ආ‍යෝජන සමාජ සමඟ එකට කටයුතු කිරීම ය.

රජය, ග්‍රාමීය ජනතාව, සංවිධාන හා පෞද්ගලික අංශය වැඩසටහනට සම්බන්ධ වෙයි. රජය මෙහිදී ක්‍රියාත්මක වන්නේ ප්‍රාග්ධනය සපයන කොටස්කාරයකු හා උපදේශකයකු වශයෙන් යැයි කියන්නට පුළුවන. කළමනාකරණය ග්‍රාමීය ජනතාව වෙත ම පැවරෙයි.

ශ්‍රී ලංකාවේ පවත්නා සම්පත් ගතහොත් එය විවිධාකාරය. භූගෝලීය සම්පත් එක අතෙකින් පවතී. මානව සම්පත් තව අතෙකින් පවතී. තාක්ෂණික හා ශිල්පීය සම්පත් තවත් අතෙකින් පවතී. සාම්ප්‍රදායික ගම් තුළ පවත්නා ශිල්පීය දක්ෂතා දීර්ඝ කාලයක සිට අභාවයට යමින් තිබේ. අපේ ගැමියන් ළඟ ඇති සූක්ෂම ශිල්පීය රටා ග්‍රාමීය විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඔස්සේ හඳුනාගත හැකි ය. එහෙත් මේවා ලෝක වෙළෙඳ පොළට යන්නේ නැත. ඉරානයේ බුමුතුරුණු, පාකිස්තානයේ හණ නිෂ්පාදන ග්‍රාමීය කර්මාන්ත වන්නේ වුව ඒවා ලෝක වෙළෙඳ පොළ ග්‍රහණය කරගෙන තිබේ. ශ්‍රී ලංකාවද එබඳු තැනකට ගෙන යා හැකි ය.

ආණ්ඩුව සැලැසුම් කර ඇති ආර්ථික සංවර්ධන වැඩසටහනට අනුව ග්‍රාමීය පළාත් ඒකරාශිකොට ආයෝජන කලාප ඇති කිරීම එක්තරා අපේක්ෂාවකි. මේ ආයෝජන කලාප කෙළින්ම විදේශීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධතා පවත්වයි. එක පළාතකට එක ආයෝජන කලාපයක් බැගින් ඇති කළහොත් ඒ මඟින් පළාත් නවය සංවර්ධන වේ. එම පළාත් නවයට අයත් සියලු ගම්මානද සංවර්ධනය වේ. තෝරාගත් කලාප සංවර්ධනය කිරීම පැරණි ආර්ථික උපාය මාර්ගයකි. සමස්තයක් ලෙස මුළු රටම එක සංවර්ධන ක්‍රියාදාමයක නිරත වන විට එකවර ම රටේ අලුත් ආර්ථික පිබිදීමක් ඇති වෙයි. එය ජනතාවගේ උනන්දුව ද වැඩි කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සම්මන්ත්‍රණ මේ දිනවල පැවැත්වෙයි. එහිදී චීන අගමැතිවරයා කියා සිටියේ ලෝකයේ ආර්ථික බලවතකු ලෙස ශක්තිමත් හා ඒකායන ආර්ථික ග මනක් යෑමට ඔවුන් සමත් වී ඇති බව ය . ඒ අනුව ඉදිරියේදී තවදුරටත් ලෝකය සමඟ එකට බද්ධ වෙමින් සංවර්ධන ඉලක්ක ජයගැනීමට ක්‍රියා කරන බව ද අගමැතිවරයා කියා සිටියේය. චීනය ආර්ථික වශයෙන් ක්‍රියාත්මක වන්නේ ද නිෂ්පාදන කලාප හැටියට ය . එම නිෂ්පාදන කලාප කෙළින් ම ලෝක වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කරයි. ලෝකය සමඟ බද්ධ නොවී ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේ හැකියාවක් නැති බව චීනය වටහාගත්තේ දසක කිහිපයකට පෙරය . එම කාලය තුළ චීනය ලබාගෙන ඇති ආර්ථික වර්ධනය අප පුදුම කරවන සුලුය.

ගම සංවර්ධනය සඳහා පළමුව ගමට යන පාර සැකසිය යුතු යැයි මතයක් කලකට පෙර පැවැතිණි. අද වන විට ගමට යන පාර පමණක් නොව; ගම හා නගරය සම්බන්ධ කරන වෙළෙඳ පොළක්ද ඇති කළ යුතු ය. ග්‍රාම ශක්ති වැඩසටහනේ ඉලක්කය එය යි. එක ආයෝජන කලාපයක වෙළෙඳ භාණ්ඩය පලතුරු විය හැකිය. තව කලාපයක ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය එළවළු විය හැකිය. තවත් කලාපයක ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය යෝගට් වැනි නිෂ්පාදනයක් විය හැකි ය. මේ නිෂ්පාදනවලට අවශ්‍ය ප්‍රාග්ධනය උපදේශනය හා තාක්ෂණය වැඩසටහනේ හුවමාරු හා කළමනාකරණ ක්‍රම ඔස්සේ සපයාගත හැකි ය. මේ කමයට අනුව සෑම ගමක්ම නිෂ්පාදනය පෙරටුකරගත් ගමක් බවට පත්වනු ඇත.

ග්‍රාම ශක්ති වැඩසටහන අංශ කිහිපයකින් ම අපේ ආර්ථිකය පුළුල් කරනු ඇත. එක අතෙකින් ගැමියාගේ ජීවන තත්ත්වය උසස් වෙයි. ගමේ රැකියා ගැටලුවලට විසැඳුම් ලැබෙයි. මුළු පළාතේම පොදු පහසුකම් දියුණු වෙයි. මෙය ආර්ථික දැක්මක් සහිත ප්‍රායෝගික වැඩසටහනක් ලෙස හැඳින්වීම නිවැරැදිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...