ශ්‍රී ලංකා පිලෙන් යළිත් අසාර්ථක ආරම්භයක් | දිනමිණ

ශ්‍රී ලංකා පිලෙන් යළිත් අසාර්ථක ආරම්භයක්

සධීරට-උස්මාන් ඛාන්ට එක්දින තරග වරම්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ සාජා හිදි ආරම්භවූ සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග සමත් විය.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණත් පිතිකරු සධීර සමරවික්‍රමද, පාකිස්තානය වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ඛාන් ද ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පුවත්පත මුද්‍රණයට යද්දී ඕවර 25කදී කඩුලු 7ක් දැවී ලකුණු 100ක් රැස්කරගෙන සිටියේය.

ළහිරු තිරිමාන්න පන්දු 52කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 32ක් හා අකිල ධනංජය කුණු 2ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ උස්මාන් ඛාන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

සිය මංගල කඩුල්ල ලෙස නායක උපුල් තරංග ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ඔහුට හැකිවිය. හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් පන්දු 16කින් ලකුණු 22ක් රැස්කළ නිරෝෂන් දික්වැල්ල දෙවැනි කඩුල්ල ලෙස ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෆකාර් සමාන් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 30ක් විය. යළිත් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 16ක් ලබාසිටියදී දුවද්දී දැවී යෑමට හසුවූ අතර සධීර සමරවික්‍රමගේ මංගල එක්දින ජාත්‍යන්තර ඉනිම පන්දු 2කදී ලකුණු ලබාගැනීමට පෙර නිමා කිරීමට ඉමාඩ් වසීම් සමත් විය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 59ක්ව තිබියදීය.

ළහිරු තිරිමාන්න සමග එක්වූ මිලින්ද සිරිවර්ධනට 5වැනි කඩුල්ලට එක්කළ හැකිවූයේ ලකුණු 32ක් පමණි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 13ක් රැස්කළ සිරිවර්ධන හසන් අලීගේ පන්දුවක් හමුවේ උස්මාන් ඛාන් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. සිරිවර්ධන මුල් තරග තුනේදී රැස්කළේ ලකුණු 0, 3 හා 2කි.

පළමු වරට කණ්ඩායමට කැඳවූ සීකුගේ ප්‍රසන්න, 25වැනි ඕවර යැවූ ෂඩාබ් ඛාන්ගේ පළමු පන්දුවම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 5කට දැවී ගිය අතර ඊළඟ පන්දුවෙන් තිසර පෙරේරා බාබාර් අසාම් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

දෙවැනි තරගයේ පන්දු රැකීමේදී ආබාධයකට ලක්වූ චාමර කපුගෙදර වෙනුවට ඊයේ තරගයට සධීර කැඳවූ අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට සුරංග ලක්මාල් හා සීකුගේ ප්‍රසන්න කැඳවා තිබිණි.

පාකිස්තානය වෙනුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කළ රුම්මාන් රායිස් වෙනුවට ඊයේ ඉමඩ් වසීම් කණ්ඩායමට එක්කර තිබිණි.

ශ්‍රී ලංකා පිල - උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, අකිල ධනංජය, ළහිරු ගමගේ.

පාකිස්තාන පිල - සර්ෆාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, සොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ඛාන්, හසන් අලී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...