පාකිස්තානයේ මොහමඩ් හෆීස්ගේ පන්දු යැවීම ගැන නැවතත් සැකයක් | දිනමිණ

පාකිස්තානයේ මොහමඩ් හෆීස්ගේ පන්දු යැවීම ගැන නැවතත් සැකයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබිහි පැවැති තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී පාකිස්තාන පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොහමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැකසහිත බවට වාර්තා වී ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය පවසයි.

තරග විනිසුරුවන් විසින් පාකිස්තාන කණ්ඩායමේ කළමනාකාරිත්වයට ලබා දී ඇති වාර්තාවේ හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්වල නිත්‍යානුකූලභාවය පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව කවුන්සලය කියයි.

“ජගත් ක්‍රිකට් කවුන්සලයේ නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් නීති යටතේ හෆීස්ගේ පන්දු යැවීම දැන් තවදුරටත් නිරීක්ෂණයට ලක් කරනවා. දවස් 14ක් ඇතුළත ඔහු පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. මේ කාලය අතරතුර, පරීක්ෂණයේ ප්‍රතිඵල දැන ගන්නා තුරු හෆීස්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දිගටම පන්දු යැවීමට අවසර තියෙනවා“ යැයි කවුන්සලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙය, හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැකසහිත බවට වාර්තා කෙරුණු තෙවැනි අවස්ථාව වෙයි. 2014 දෙසැම්බරයේදී ප්‍රථම වතාවට හෆීස්ට පන්දු යැවීම තහනම් කෙරිණි. ඉන්පසුව එළැඹි අප්‍රේල් මාසයේදී හෆීස්ට පන්දු යැවීම සඳහා අවසර ලැබිණි.

2015 වසරේ ජූනි මාසයේදී දෙවැනි වතාවටත් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැකසහිත බවට වාර්තා කෙරිණි. දෙවැනි තහනම පැනවුනේ පළමු තහනමෙන් මාස 24ක් ඇතුළත වූ බැවින් ඔහුට 2015 ජූලි මාසයේ සිට මාස 12ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීම තහනම් කෙරිණි.

2016 නොවැම්බර් 17 වැනිදා හෆීස් බ්‍රිස්බන්හි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී සිය පන්දු යැවීමේ ඉරියව් නිසියාකාරව සකසා ගැනීමේ වෑයමක නිරත වූ අතර එහිදී ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකූල බවට පෙනී යාමෙන් පසුව නැවත වතාවක් පන්දු යැවීම සඳහා අවසර ලැබිණි.

නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් ප්‍රශ්න සම්බන්ධයෙන් පාකිස්තානයට ඉතිහාසයක් තිබේ. ෂොයිබ් අක්තාර් හා ෂබිර් අහමඩ් යන වේග පන්දු යවන්නන් මෙන්ම සයීඩ් අජ්මාල්, ෂහිඩ් අෆ්රිඩි හා බිලාල් අසිෆ් යන දඟ පන්දු යවන්නන් පිළිබඳවද අතීතයේදී ජගත් ක්‍රිකට් කවුන්සලයට වාර්තා කර තිබේ.

නව අදහස දක්වන්න