ගුරුවරුන්ට නිසි පුහුණුවක් දීමට අලුත් නීති ගේන්න | දිනමිණ

ගුරුවරුන්ට නිසි පුහුණුවක් දීමට අලුත් නීති ගේන්න

සිතාරා සේනානි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කළ අවස්ථාව. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන් මහත්වරු ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය- ශාන් රූපස්සර

මින් ඉදිරියට සියලු ගුරුවරුන් පුහුණුව සමඟ ගුරු සේවයට බඳවා ගැනීමටත්, නුපුහුණු ගුරුවරුන්ට පුහුණුව ලබා දීමටත් අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු වීමෙන් ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන මට්ටම දියුණු වන බවත්, නුපුහුණු ගුරුවරුන් සිටින විට ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම පහළ වැටෙන බවත් පැවැසූ අගමැතිවරයා, එබැවින් ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබා දීම බෙහෙවින් වැදගත් යැයි ද පෙන්වා දෙයි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3636 දෙනකුට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (20) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

අපේ රටට ඇති ප්‍රධානතම සම්පත ජනගහනය බව ද, එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට නම් මිනිස් සම්පත දියුණු කළ යුතු බව ද කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එම කාර්යයේ දී රටේ ගුරුවරුන් වෙත පැවැරෙන වගකීම ඉමහත් යැයි ද පෙන්වා දුන්නේය.

අප රට දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය වීමටත්, ධනවත් ආර්ථිකයක් ඇති රටක් බවට පත් කිරීමටත් හැකි වන්නේ අධ්‍යාපනය දියුණු කිරීමෙන් පමණක් යැයි ද අගමැතිවරයා කීවේය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

 

නව අදහස දක්වන්න