නව ව්‍යවස්ථාව ගැන සමාජය නොමඟ යැවීමේ තැත අවබෝධ කර ගත යුතුයි | දිනමිණ

නව ව්‍යවස්ථාව ගැන සමාජය නොමඟ යැවීමේ තැත අවබෝධ කර ගත යුතුයි

තවමත් කෙටුම්පත් කර නොමැති නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සමාජය නොමඟ යැවීමට ඇතැමුන් දරන උත්සාහයන් පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

රට තුළ ඇති ප්‍රශ්නවලට අවස්ථානුකූලව හා වඩාත් සුදුසු ආකාරයට විසඳුම් ලබානොදීමේ ප්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න බිහිසුණු යුද්ධයකට අපට මුහුණදීමට සිදු වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට ආදරය කරන සැබෑ මිනිසුන් ලෙස සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැඟීමට එක්වන ලෙස තමා සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ද ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ අසිරියෙන් සමරන දිපාවලී උත්සවය නිමිතිකොට ගනිමින් පෙරේදා (19) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.

වසර තිහකට ආසන්න කාලයක් පැවැති බිහිසුණු යුද්ධයකින් අහිමි වී ගිය ජාතීන් අතර සුහදතාව මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය බැඳීම් නැවත ගොඩනැඟීමට වත්මන් රජය කටයුතු කරමින් සිටිය දී ඇතැම් අන්තවාදී පිරිසක් එම කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

රටේ සියලු සංස්කෘතීන්වල අනන්‍යතාවයන් හඳුනා ගනිමින් සහ ඒවාට ගරු කරමින් සියලු කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහි දී පැහැදිලි කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ මේ වන විට සකස් කර නොමැති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් වාර්තාවක් පමණක් බව ද පැවැසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් සුදුසු ක්‍රියාමාර්ග පමණක් ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

හින්දු සම්ප්‍රදායානුකූල විවිධ සංස්කෘතික අංගවලින් මේ උත්සවය වර්ණවත් වූ අතර, මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ඇමැති ඩී. එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්ණන්, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ. 

 

නව අදහස දක්වන්න