පොලිසියේ විශිෂ්ටයන්ට කෝටි 37ක මුදල් ත්‍යාග | දිනමිණ

පොලිසියේ විශිෂ්ටයන්ට කෝටි 37ක මුදල් ත්‍යාග

විජයානි එදිරිසිංහ

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් අතරින් විශිෂ්ට සේවයක් සිදු කරමින් අපරාධ, මත්ද්‍රව්‍ය, වංචා ඇතුළු විවිධ සිද්ධීන්වලට සම්බන්ධ අපරාධකරුවන් කොටුකර නීතිය ඉදිරියට පැමිණ වූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග මුදල් වශයෙන් රුපියල් කෝටි තිස්හතකට අධික මුදලක් 2017 වර්ෂයේදී පිරිනමනු ලැබිණි.

ඊයේ මෙම මුදලින් කෝටි හතරකුත් ලක්ෂ පනහකට ආසන්න මුදලක් පිරිනැමුණු අතර පොලිස් කොට්ඨාස මට්ටමින් රුපියල් කෝටි තිස්තුනක ප්‍රමාණයක් පිරිනමා ඇත.

නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ 07, සෞන්දර්යය නිකේතනයේදී ත්‍යාග බෙදාදීම සිදුකෙරිණි. මුදලින් ත්‍යාගවලට අමතරව පොලිස්පති ප්‍රශංසා 250 ක් ද, වැටුප් වර්ධක 9 ක් ද ප්‍රදානය කෙරිණි.

2015 වසරේ ජනවාරි මාසයේදී මහත් ආන්දෝලනයකට පත් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉතා කෙටි කාලයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිස්තුන්දෙනකු විසින් එම පරීක්ෂණ අවසන් කිරීම නිසා රුපියල් ලක්ෂ 15 ක ත්‍යාග මුදලක් පිරිනැමීම ද මෙහිදී සිදු විය.

ඊට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවකු යවා ඒ මහතා ඝාතනය කිරීමට කටයුතු කළ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ද මෙහිදී ත්‍යාග මුදල් පිරිනැමිණි.

අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ මාධ්‍යවේදිනී විලිශියා ගුණවර්ධන ඝාතනයට සම්බන්ධ අපරාධකරු අත්අඩංගුවට ගෙන මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ද ත්‍යාග පිරිනැමිණි.

තවද පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී පාතාල ප්‍රහාරයකට ලක්වූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජීව මහතාට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමුණු අතර ඒ මහතාට කළ සේවාව වෙනුවෙන් තවත් ත්‍යාග දහයක් පොලිස්පති ප්‍රශංසා ද හිමිවිය.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ දී පොලිස් ජංගම රථයක් තුළදී ගැබිනි මවකට දරු ප්‍රසූතිය සිදු වූ අවස්ථාවේදී දරුවාගේත්, මවගේත් ජීවිත අනතුරකට පත්වීමට ඉඩ නොතබා කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙනුවෙන් ද පොලිස්පති ත්‍යාග මුදල් ප්‍රශංසා හිමිවිය. මේ ආකාරයෙන් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් දහසකට වැඩි පිරිසකට මෙසේ මුදල් ත්‍යාග, වැටුප් වර්ධක, පොලිස්පති ප්‍රශංසා හිමි විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල, දැනට එහි අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් ගණනාවකට ද, හිටපු ‍නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අසෝක විජේතිලක, සිසිර මෙන්ඩිස් යන අයට ද මෙහිදී ත්‍යාග හිමි විය.

මීට අමතරව පොලිස් නිලධාරීන්ගේ ඔත්තුකරුවන් හට ද සිවිල් පුද්ගලයන්ට ද තවත් ත්‍යාග මුදල් හිමිවිය. 

නව අදහස දක්වන්න