උත්සවයකට අා ජනතාවගෙන් හිඟ වරිපනම් බදු අය කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා | දිනමිණ

උත්සවයකට අා ජනතාවගෙන් හිඟ වරිපනම් බදු අය කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා

අත්තනගල්ල විශේෂ ජයවීර සුගතපාල
අත්තනගල්ල ශ්‍රීලනිප එජාප ප්‍රධාන සංවිධායකයින් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ චන්ද්‍රසෝම සරණලාල් මහතා එක්ව කසළ බහලුම් බෙදාදුන් අවස්ථාව. ඡායාරූප අත්තනගල්ල විශේෂ

වරිපනම් බදු අය කිරීමේදී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයට පටහැනිව උත්සවයකට සහභාගීවීම සඳහා ප්‍රාදේශීය සභාවට ප ැමිණි බදු ගෙවන ජනතාවගෙන් එම අවස්ථාවේ වරිපනම් බදු අය කර ගැනීමට ක්‍රියා කළ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව 15දා අත්තනගල්ල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පැවති කසළ බහලුම් බෙදාදීමේ උත්සවයේදී අත්තනගල්ල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිළිසරු ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන අත්තනගල්ලෙන් ආරම්භ කරමින් කසල බහලුම් 21000ක් බෙදාදීම 14, 15 දෙදින තුළ සිදු විය. උත්සව සභාව ඇමතූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේද පැවසුවාය.

මෙය ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව දියත් කරපු විශේෂ වැඩසටහනක්. පරිසර විෂය භාරව ඉන්නේ එතුමායි. මගේ ඉල්ලීම මත මෙම වැඩසටහන අත්තනගල්ල ගම්පහ සහ බියගම ක්‍රියාත්මක කරන්න විතරක් රුපියල් කෝටි හයහමාරක් වෙන් කර දුන්නා. මම අද එය අත්තනගල්ලෙන් ආරම්භ කරනවා. අත්තනගල්ලේ ජීවත්වන ඔබට අපට විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක් මෙයින් විසඳෙනවා. අපද්‍රව්‍ය නිසා වායු දූෂණය වෙනවා. ජලය දූෂණය වෙනවා. පස විෂ වෙනවා. පොලිතීන් බෑගයක් දිරන්න අවුරුදු පන්සියයක් ගතවෙනවා. තවද අපද්‍රව්‍ය නිසා භයානක බෝවෙන රෝග ඇතිවෙනවා. ඩෙංගු මී උණ ආදිය පැතිරෙනවා යැයිද කී කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේ ජීවත්වන ඔබ සැම රටට ආදර්ශයක් වෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යාමට වගකීමෙන් කටයුතු කරනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවද පැවසුවාය.

තව විශේෂ කාරණයක් මෙහිදී සඳහන් කරන්න ඕනෑ. 14, 15 යන දින දෙකේ කසල බහලුම් විසිඑක්දාහක් බෙදා දෙන්ඩ අප කටයුතු කළා. ඊයේ එනම් 14 වෙනිදා මෙම අවස්ථාවට ආපු ‍අයගෙන් වරිපනම් බදු අය කර ගෙන තිබෙන බවට මට පැමිණිලි ලැබුණා. ප්‍රාදේශීය සභාවක වරිපනම් බදු අය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට නිලධාරීන් ඉන්නවා. අපේ ආරාධනාවකට මෙතැනට ආපු අයගෙන් බදු අය කර ගත්තා. ඒක ප්‍රාදේශීය සභාව අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයට පටහැනියි. එයට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නවා. රාජපක්ෂලගෙ පාලනය මුළු රාජ්‍යයම හොරකම් වලට හුරු කළා. දැන් යහපාලනය නිසා හොරකම් කරන්න බැරි නිසා මේ වගේ කඩාකප්පල් වැඩ සමහර නිලධාරීන් කරනවා යැයිද කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

අත්තනගල්ල එජාප ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා

කාලාන්තරයක්තිස්සේ නිසි විසඳුම් නොදුන් නිසා කසල අද රටට විශාල ගැටලුවක් වෙලා. මේකට ස්ථිර නිවැරැදි විසඳුමක් දීමටයි අපේ රජය මෙසේ කටයුතු කරගෙන යන්නේ. රජයේ අරමුණ කසල බහලුම් නොමිලයේ ලබාදීමයි. උත්සවයට ආපු අයගෙන් නිලධාරීන් වරිපනම් බදු අය කිරීම වැරදි වැඩක්. ඒ නිසා මම ඊයේ උත්සවය වර්ජනය කළා. වත්මන් සමඟි රජය ජනතාව පීඩනයට ලක් කරන රජයක් නොවෙයි. දේශපාලන භේදයකින් තොරව හැමෝටම සමානව සලකන රජයක්. හිටපු ජනාධිපතිනියත් මමත් මේකට මූලිකත්වය ගත්තේ ඒ නිසයි.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ උපදේශක නිලධාරිනි ශාන්ති කහදුව මහත්මිය

නිවසේ ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම හා නිසි පරිදි කළමනාකරණය කිරීම පිළිබඳව පැමිණ සිටි අය දැනුවත් කළ අතර අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් දර්ශන රත්නායක මහතා පිළිගැනීමේ කථාව කළේය.

නව අදහස දක්වන්න