උදයංග වීරතුංගගේ පෙත්සම කැඳවීම නොවැම්බර් 22 දා | දිනමිණ

උදයංග වීරතුංගගේ පෙත්සම කැඳවීම නොවැම්බර් 22 දා

නෙල්කා මැදගෙදර

තමා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ජාත්‍යන්තර ‍ෙපාලිසිය හරහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීම නොවැම්බර් මස 22 දින සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීරණය කළේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා මහතා අධිකරණයෙහි පෙනී නොසිටීම නිසා පෙත්සම වෙනත් දිනයක කැඳවීමට නියම විය.

ලතා ඉන්ද්‍රානි මාන්නප්පෙරුම නමැත්තිය සිය ඇටර්නි බලපත්‍ර හිමිකාරිය ලෙස සඳහන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු හත්දෙනකු නම් කර සිටිති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ වංචාවකට සම්බන්ධ බවට පෙත්සම්කරුට එරෙහිව මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර ඒ සඳහා ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් වේ.

ඉකුත් ඔක්තෝබර් 20 පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති අතර ඔහුගේ බැංකු ගිණුම් කිහිපයක්ද අත්හිටුවා තිබේ.

එමඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට පෙත්සම්කරු පැමිණිලි කර සිටී.

අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. 

නව අදහස දක්වන්න