කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන දැනුවත් කිරීමට මහේල-සංගා එක්වෙති | දිනමිණ

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන දැනුවත් කිරීමට මහේල-සංගා එක්වෙති

කාන්තා හිංසනය තුරන් කිරීමේ පණිවුඩය සමාජගත කිරීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන මහත්වරුන් සහ යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් මහතා ඇතුළු පිරිස සහභාගී වූ අයුරු.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සහ යුරෝපා සංගමය ඉදිරිපත්ව සිටී.

කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවත්නා තත්ත්වයත්, ඒ සඳහා පාසල් මට්ටමින් සිසුන් දැනුම්වත් කිරී‍ම මඟින් කාන්තා හිංසනය තුරන් කිරීමේ පණිවුඩය සමාජගත කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පසුගියදා පැවැති විශේෂ රැස්වීමට මෙම ක්‍රීඩකයන් දෙපළ සහ යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන් හා යුරෝපා සංගමය මෙම කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වීම මෙහිදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ ප්‍රසාදයට ලක් විය.

රටේ සංවර්ධනය රඳා පවතින්නේ සමාජ උන්නතිය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා බවත්, එහි දී ස්ත්‍රීපුරුෂ සමාජභාවය, සමානාත්මතාව, සදාචාරාත්මක අයිතීන් ආදිය තුළින් සමාජ වෙනසක් ඇති කළ යුතු බවටත් කුමාර් සංගක්කාර් මහතා එහිදී සඳහන් කළේය. ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නිසා පැන නඟින ගැටලු ගැන දැනුම්වත්බව ඇති කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහමුලින් සමාජයෙන් බැහැර කිරීම වෙනුවෙන් දායකත්වය ලබාදීමටත් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටට පත්වන බව මහේල ජයවර්ධන මහතා කීය.

පාසල් මට්ටමින් මේ සඳහා ඇති කළ හැකි ආකල්පමය වෙනස සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධව සමාජය දැනුම්වත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදී විශේෂ අවධානය යොමු කැරිණි.

කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුම්වත් කිරීම සඳහා යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන් දෙපළ පෙනී සිටින වීඩියෝ පටයක් ද එළිදැක්විණි.

නව අදහස දක්වන්න