චීන රටේ යෝධ ගොයම | දිනමිණ

චීන රටේ යෝධ ගොයම

මංජුලා විජයරත්න

චීනයේ විද්‍යාඥයෝ පිරිසක් යෝධ ගොයම් ගසක් වර්ධනය කරති. මේ ගොයම් ගස මීටර 2.2ක් හෙවත් අඩි 7යි අඟල් 2ක් උසැති බව චීනයේ පළ වන “චයිනාස් පීපල්ස් ඩේලි ඔන්ලයින්”වෙබ් අඩවිය පෙන්වා දෙයි. වසර දහයකට අධික කාලයක් පුරා කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙපමණ උසකින් යුත් ගොයම් ගසක් වර්ධනය කර ගැනීමට චීන කෘෂි විද්‍යාඥයන්ට හැකි වූ බවත් වෙබ් අඩවියෙහි වැඩි දුරටත් සඳහන් වේ. එකී යෝධ ගොයම් ගසෙන් ඵලදාව ලබා ගන්නට විද්‍යාඥයන් පිරිස සමත් ඇති බවත් වාර්තා වේ.

“ඉන්ස්ටිටුට් ඔෆ් සබ්ට්‍රොපිකල් ඇග්‍රිකල්චර්, චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස්” නැමැති කෘෂි විද්‍යා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් යෝධ ගොයම් ගස ප්‍රරෝහණය කර අස්වද්දා තිබෙන්නේ චීනයේ හුනාන් ප්‍රාන්තයේ ජින්ජින්ග් පළාතෙහි පර්යේෂණ ක්ෂේත්‍රයකය. තමන් වර්ධනය කළ ගොයම් ගස සාමාන්‍යයෙන් අඩි 5 අඟල් 10ක පමණ උසක් දක්වා වැඩෙන බව විද්‍යාඥයෝ සනාත කරති. එසේ වුවත් එම විශේෂයේ ගොයම් ගසක් උපරිම වශයෙන් මීටර 2.2ක උසකට වුව ළඟා වන බවට සැකයක් නැති බව විද්‍යාඥයන්ගේ අදහසයි. නව ප්‍රභේදයෙන් ලැබන්නේ ද යෝධ අස්වන්නකි. නව ප්‍රභේදයෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාරයක් අස්වද්දා ගැනීමට සමත් වුවහොත් ටොන් 11.5කට අධික වී අස්වැන්නක් ලබාගත හැකි බව පර්යේෂක ෂියා ෂින්ජි පවසයි. යෝධ වී ප්‍රභේදයෙන් ලැබෙන අස්වැන්න, සාමාන්‍යය වී ප්‍රභේදයක් වගා කර ලබා ගන්නා අස්වැන්නට වඩා 15% - 20% අතර ප්‍රමාණයකින් වැඩි බව මේ වන විට තහවුරුව ඇත.

නව වී ප්‍රභේද හඳුන්වා දීමට සෑහෙන කලක සිට චීන විද්‍යාඥයෝ වෙහෙස ගනිති. එහිලා ජාන විකෘති තත්ත්වයට පත් කරන ලද වී ප්‍රභේද සහ දෙමුහුම් වී ප්‍රභේද හඳුන්වා දීම ඔවුන් කලින් කලට කරගෙන ගියේ අනෙකක් කාරණයක් නිසා නොව වැඩි වී අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ ඇතිවය. ජනගහනය වැඩිවීමත්, වී ගොවිතැනෙහි නියැලෙන පිරිස අඩුවීමත් යන කාරණා හේතුවෙන් චීනයට ආහාර අර්බුදයකට මැදිවන්නට සිදු වනු ඇති බව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. 1995 වසරේදී භාවිතයට ගත් ආහාර ප්‍රමාණය හා සසඳන විට එයට වඩා 60%කින් වැඩි ආහාර ප්‍රමාණයක් 2030 වනවිට චීනයට අවශ්‍ය බව ගණන් බලා ඇත.

“... හෙක්ටයාරයක් විශාලැති කුඹුරකින් දැනට සෑහෙන්න පුළුවන් අපේ රටේ පුද්ගලයන් 27දෙනෙකුට පමණයි. හෙක්ටයාරයක් විශාලැති කුඹුරකින් 2050 වනවිට පුද්ගලයන් 43දෙනෙකු යැපෙන තත්ත්වයක් ඇති ෙවනවා. ...” යැයි කීර්තිමත් කෘෂි විද්‍යාඥ යුවාන් ලොන්ග්පින්ග් පවසයි.

දැනට 87 හැවිරිදි වියේ පසුවන යුවාන් ලොන්ග්පින්, දෙමුහුම් වී ප්‍රභේද ඇති කිරීමෙහි පියා ලෙස සැලකේ. විවිධ වී ප්‍රභේද වර්ධනය කරන්නට හෙතෙම වසර 60කට අධික කාලයක් විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. ඔහු වර්ධනය කළ සෑම වී ප්‍රභේදයක්ම ඉහළ අස්වැන්නක් ලබා දෙන ඒවා බව පර්යේෂණ වාර්තාවල සඳහන් වේ. “මුහුදු වී” යනුවෙන් හැඳින්වෙන නව වී ප්‍රභේයක් හඳුන්වා දෙන්නට යුවන්ග් ලෝන්ග්පින්ග් සහ තවත් පිරිසක් පසුගිය මාසයේදී සමත් වූහ. ලවණ ගතිය වැඩි පසක් සහිත කුඹුරුවල එකී වී ප්‍රභේදය වගා කළ හැකි වීම විශේෂත්වයයි. චීනයට යටත් භූමියෙන් හෙක්ටාර මිලියන 100කට අධික භූමි ප්‍රමාණයක් ලවණ සහිත පස් ඇති බිම්ය. එම බිම් ප්‍රමාණයෙන්, හෙක්ටාර මිලියන 18.7කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු කරගෙන යාමට හැකියාවක් ඇති බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. “මුහුදු වී”යනුවෙන් හැඳිවෙන නව ප්‍රභේදය ව්‍යාපත් කරන්නට සැලසුම් කෙරෙන්නේ ලවණ ගතිය වැඩි පසක් සහිත එකී හෙක්ටාර 18.7හි බව පැවසේ.

mail online ඇසුරෙනි

නව අදහස දක්වන්න