ව්‍යවස්ථාව ගැන සංඝ සභාවේ මතය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මෙරටට වැඩම කළ පසුවයි | දිනමිණ

ව්‍යවස්ථාව ගැන සංඝ සභාවේ මතය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මෙරටට වැඩම කළ පසුවයි

අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ

විදේශගතව සිටින මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම මෙරටට වැඩම කළ පසු උන්වහන්සේ සමඟ සංඝ සභා දෙකේ නියෝජිත හිමිවරුන් සාකච්ඡා කර ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ විහාරවල පොදු මතය රටට ඉදිරිපත් කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් මේ වන විට සංඝ සභා දෙකේ හිමිවරුන් සාකච්ඡා කර තිබෙන බවද උන්වහන්සේ කීහ.

වත්තේගම පිටියේගෙදර රජමහ විහාරයේදී 20 දා පැවැති උත්සවයකදී අනුනාහිමියෝ ඒ බව ප්‍රකාශ කළහ.

මෙරට ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ආණ්ඩු කරන දුර්ලභ අවස්ථාවක් දැන් දක්නට ලැබෙන බවත් ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දීමට කවුරුත් උනන්දු විය යුතු බවත් උන්වහන්සේ කීහ.

සාකච්ඡා මගින් සම්මන්ත්‍රණ මගින් ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතු බවත් සිංහල බෞද්ධයින් ආරක්ෂා වන පරිදි අනෙක් ජාතීන් හා ආගම් වල අයටත් සහජීවනයෙන් ක්‍රියාකරන්න අවශ්‍යය පසුබිම සකස් කළ යුතුව තිබෙන බවත් ධම්මදස්සී හිමියෝ පැවසූහ.

අධිවේගි මාර්ග රටට අවශ්‍යය බවත් ජනතා විරෝධතා මතු වුණත් ඒවාට විසඳුම් ලබාදී මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවත් කී අනුනාහිමියෝ මධ්‍යම අධිවේගය මෙන්ම තවත් අධිවේගී මාර්ග රටේ ඇති කළ යුතු බවද අවධාරණය කළහ.

අසේල කුරුළුවංශ 

නව අදහස දක්වන්න