ලෝක ධනවතුන්ගේ කියැවීමේ පුරුදු | දිනමිණ

ලෝක ධනවතුන්ගේ කියැවීමේ පුරුදු

මේ කියැවීමේ මාසය යි. කියවීමෙන් කෙනකු ලබන දැනුම, ඒ පුද්ගලයා සතු ධනයක් බව සමහරවිට ඔබ විශ්වාස නොකරන්නට පුළුවන. ලෝක ධනවතුන් තම ධනවත්කම ඉහළ නංවා ගෙන තිබෙන්නේ කියැවීම ද ඉවහල් කරගෙන බව අපට අමතක කළ නොහැකි ය. ලොව ප්‍රධාන පෙළේ ධවතුන් කිහිප දෙනකු පොත පත කියැවීම පිළිබඳ ඉදිරිපත් කර ඇති මේ කාරණා ,ඔබේ කියැවීමේ රැචිය වර්ධනයට ඉවහල් වනු ඇත.

1. වොරන් බෆෙට්

ලොව සාර්ථකම ආයෝජකයකු මෙන් ම, බිලියනපතියකු හැටියට සැලකෙන වොරන් බෆෙට්, දවසෙන් 80%කට ආසන්න කාලයක් කියැවීම සඳහා යොදවයි. දිනපතා පුවත්පත් මෙන් ම, විවධ විධිහේ වාර්තා නිතරම කියැවීම ඔහුගේ පුරුද්ද ය. ඒ හැරුණු වි නොයෙක් විෂය යටතේ ලියැවුණු කෘති කියැවීමෙහි ද හෙතෙම රුසියෙකි. අමෙරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේදී ආයෝජනය පිළිබඳ දේශනයක් පවත්වමින් වොරන් බෆෙට් මෑතකදී කියා සිටියේ මෙවැන්නකි. "... කියවීම නිසා දැනුම වැඩිවෙනවා. ... එය හරියට ව්‍යාපාර සම්මිශ්‍රණයක් වගෙයි. ඔබට හැමවිටම කියවීම් කර බලන්න පුළුවන්. ඒත්, ඔබ අතරින් වැඩි දෙනකු කියවීම් නොකරන බවට මම සහතික

කරනවා ."අමෙරිකා ඩොලර් බිලියන 76.9ක ශුද්ධ වත්කමක් හිමි වොරන්, ලෝක පොහොසතුන් අතර හතර වැනි ස්ථානයේ පසු වේ.

2. බිල් ගේට්ස්

මයික්‍රෝසොෆ්ට් සමාගමේ සම ආරම්භක බිල් ගේට්ස් ගැන නොදන්නා කෙනකු නැති තරම් ය. මේ වසරේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක එකෙහි සිටින බිල් ගේට්ස්, වසරකට පොත් 50ක් පමණ කියවන බව සඳහන් වේ. ඒ අනුව සාමාන්‍යයෙන් සතියකට එක පොතක්වත් හෙතෙම කියවයි. ඔහු වැඩිපුරම ප්‍රිය කරන්නේ ප්‍රබන්ධ කතා ගණයෙහිලා ගණන් නොගැනෙන කෘති කියවීමට ය. ඒ අනුව සෞඛ්‍යය, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර සහ විද්‍යාව ආදී විෂය යටතේ ලියැවුණු කෘති, ඔහු බහුලව කියවයි. එසේ වුවත්, සමහර අවස්ථාවලදී ඔහු නවකතා වුව කියවන බව දැක්වේ. නවකතාවකට වහ වැටුණු කල රැයක් පහන් වනතුරු වුව එය කියවා, එහි රසය උකහා ගන්නට ඔහු කිසි විටෙකත් මැලි නොවේ.

3. මාර්ක් සකර්බර්ග්

ලෝක ධනවතුන් අතර පස්වැනි ස්ථානයෙහි සිටින මාර්ක් සකර්බර්ග්, අමෙරිකා ඩොලර් බිලියන 71.5ක ධනයකට හිමිකම් කියන බව දැක්වේ. ෆේස්බුක් සමාජ වෙබ් අඩවි ජාලය දියත් කරමින් ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත් හෙතෙම, විවිධ සංස්කෘති, ඇදහිලි, ඉතිහාසය සහ තාක්ෂණය ආදිය ඉගෙන ගැන තිබෙන්නේ කියැවීම නිසා බව පවසයි. "... කිසියම් කාරණයක් ගවේෂණය කරන්න ඔබට හැකි වෙන්නේ පොත් පත් නිසයි.පොත්, කිසිවක් සම්බන්ධයෙන් ඔබ ගැඹුරට රැගෙන යයි . එය අද පවත්නා බොහෝ මාධ්‍යවලින් නොකෙරෙන්නක්.ඉදිරියේදී වැඩි වැඩියෙන් පොත් භාවිතයට ගන්න මම බලාපොරොත්තු වෙනවා. " කියා ෆේස් බුක් සටහනක හෙතෙම සඳහන් කර තිබිණි.

4. ඕෆ්‍රා වින්ෆ්‍රේ

මාධ්‍ය ආයතන හිමිකාරිනියක, ටෝක් ෂෝ මෙහෙයවන්නියක, නිළියක සහ නිෂ්පාදිකාවක වන ඕෆ්‍රා වින්ෆ්‍රේ ද ධනපතිනියකි. රහසක් ඈ පවසන්නේ නිදහස වෙනුවෙන් ඇති පෞද්ගලික මඟ කියැවීම බව ය. "... මගේ අත්තම්මාගේ කුඩා පැල්පතෙන් එහා ලෝකය දකින්න මට හැකි වුණේ පොත් පත් නිසයි." යැයි කියා 2004 වසරේදී ඈ පවසා තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවාදී සම්මාන උළෙල අමතමිනි. අන්ත දරිද්‍ර පවුලක උපත ලැබූ ඕෆ්‍රාට ,මුල් කාලයේදී පිහිටට සිටියේ මව් පාර්ශ්වයේ අත්තම්මා පමණි. අර්තාපල් අසුරා තබන බෑග් ලිහා ලබාගත් රෙදිවලින් මසා ගත් ගවුම්, ඕෆ්‍රා සිය ළමා අවධියේදී ඇන්ඳ බව සඳහන් වේ. එමෙන් ම, කුඩා අවධියේදී අවස්ථා කිහිපයකදීම

ඈ ශාරීරික හිංසනයට ද ලක්ව ඇත. ඒ කුමන බාධා තිබුණත්, කියැවීම ඈ ප්‍රගුණ කර තිබෙන්නේ වයස අවුරුදු තුනේ සිට ය. ෆොර්බස් සඟරාව 2014 වසරේදී පෙන්වා දුන්නේ, ඕෆ්‍රා සතු වත්කම් ප්‍රමාණය අමෙරිකා ඩොලර් බිලියන 2.9ද ඉක්මවන බවකි.

5. මාර්ක් කියුබන්

ව්‍යාපාරිකයකු, ආයෝජකයකු සහ ග්‍රන්ථ කර්තෘවරයකු වන අමෙරිකා ජාතික මාර්ක් කියුබන් ද ධනපතියෙකි. සෑම දිනකම පැය තුනක් හෙතෙම කියවීම සඳහා යොදවන බව දැක්වේ. තම ව්‍යාපාර සාර්ථකත්වය පිළිබඳ බ්ලොග් සටහනක් තබමින් මාර්ක් කියුබන් වරක් පවසා තිබුණේ, තමන් හැම විටම කියැවූයේ සාමාන්‍ය පත පොත බවයි. "... ඕන කෙනකුට ඒ පොත් පත් මිලදී ගන්න පුළුවන්. මා කියැවූ ඒ පොත් ඕන කෙනකුට

කියවලා දැනගන්න අවස්ථාව තියෙනවා. ඒත් ගැටලුව ,හුඟක් අය එය නොකිරීමයි." යනුවෙන් එහි වැඩිදුරටත් හෙතෙම සටහන් කර තිබිණි.

6. ඩේවිඩ් රුබෙනස්ටීන්

අමෙරිකා ජාතික ඩේවිඩ් රුබෙනස්ටීන්, එරට ධනවත් ව්‍යාපාරිකයෙකි. අමෙරිකා ඩොලර් බිලියන 2.5කට අධික වත්කමක් ඇති මේ ව්‍යාපාරිකයා පවසන්නේ, දිනපතා පුවත්පත් 8කුත්, පොත් 6කුත් සතියකට තමන්කියවන බවකි. කියැවීමේ පුරුද්ද ඔහු තුළ ඇති වී තිබෙන්නේ ඉතා කුඩා අවධියේ සිට ය. වයස අවුරුදු හයේදී හෙතෙම සිය මව සමඟ පුස්තකාලයට ගිය බව දැක්වේ. පළමු පන්තියේ ඉගෙන ගන්නා අවධියේදී සතියකට පොත් 12ක් පමණ කියවන්නට තමන් පුරුදු වී සිටි බව ඩේවිඩ් රුබෙනස්ටීන්"ද බැල්ටිමෝර් සන්" පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්

ලබාදෙමින් 2010 වසරේදී පවසා තිබිණ.

7. ෆිල් නයිට්

නයිකි ව්‍යාපාරයේ ආරම්භක ෆිල් නයිට් අමෙරිකා ඩොලර් බිලියන 24.1කට අධික ධන සම්භාරයකට හිමිකම් කියන ධනවතෙකි. ලෝක ප්‍රකට නයිකි ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට කටයුතු කරන අවධියේදී, නයිකි මූලස්ථානයේ පුස්තකාලයක් ආරම්භ

කරන්නට හෙතෙම කටයුතු කළේ ය. අමෙරිකාවේ පළවන "ද නිව්යෝර්ක් ටයිම්ස්" පුවත්පතේ මාධ්‍යවේදියකු ෆිල්ගෙන් මේ පිළිබඳ වරක් ප්‍රශ්න

කළේය. එවිට ෆිල් කියා සිටියේ "... ඔව්, ඇත්තටම ඒ පුස්තකාලය තවමත් එහි තිබෙනවා. ... මම තවමත් ඉගෙනගනිමින් සිටිනවා. ..." යනුවෙනි. මෙයින් පෙනෙන්නේ ෆිල් නයිට් පොත පතට කෙතරම් ආශා ඇත්තෙකුද?, කියැවීම කෙතරම් රුචියකින් කරගෙන යන්නේද? යන්න මිස අනෙකක් නොවේ.

8. එලන් මස්ක්

කැනඩා - අමෙරිකා සම්භවයක් ඇති එලන් මස්ක් නව නිර්මාණකරුවකු, ව්‍යාපාරිකයකු සහ ඉංජිනේරුවකු හැටියට නමක් රැඳ වූ පුද්ගලයෙකි. අමෙරිකා ඩොලර් බිලියන 13.9කට අධික ධනයකට හිමිකම් කියන එලන්, විද්‍යාත්මක ප්‍රබන්ධ කියැවීමෙහි රුසියකු බව සඳහන් වේ. සමහර ප්‍රබන්ධ කතා කියවන්නට දිනයෙන් පැය 10කට අධික කාලයක් තමන් යොදවන බව වරක් ඔහුම පවසා තිබිණ. එලන් ප්‍රකාශ කරන අන්දමට රොකට් පිළිබඳඔහු ඉතා පුළුල් දැනුමක් ලබාගෙන තිබෙන්නේ පොත පත කියැවීමෙනි. එමෙන් ම, වයස අවුරුදු නවය වනවිට බ්‍රිතාන්‍යය ශබ්ද කෝෂය මුළුමනින්ම කියවා නිම කරන්නට තමන් සමත් වූ බව ඔහු එක් අවස්ථාවකදී මාධ්‍යයට කියා තිබිණ. තාක්ෂණය මුසු කෙරුණු නව සංකල්පවලින් හෙබි ව්‍යාපාර රැසක් ආරම්භ කර ඇති හතලිස් හය හැවිරිදි එලන් මස්ක්, ලොව බලසම්පන්නම පුද්ගලයකු ලෙස ෆොර්බස් සඟරාව පසුගිය වසරේදී නම් කර තිබුණි.

9. ස්ටීව් ජොබ්ස්

ව්‍යාපාරිකයකු සහ නව නිර්මාණකරුවකු වන අමෙරිකා ජාතික ස්ටීව් ජොබ්ස්, ලෝ ප්‍රකට ඇපල් සමාගමෙහි සම ආරම්භකයෙකි. හෙතෙම 2011 වසරේදී ජීවිතක්ෂයට පත් වුණේ 56 හැවිරිදි විය පසුකරමින් සිටියදී ය. ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කලක් කටයුතු කළ ස්ටීව් ජොබ්ස්, ජීවත් වුණු කාලය තුළ නොනවත්වාම කියැවීම් කටයුතුවල නියැළුණු බව සඳහන් වේ. තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය ආදී විෂය අලලා ලියැවුණු පත පොත පමණක් නොව, භාවනාව, එළවළුවලින් පමණක් සකස් කර ගන්නා ආහාර පාන සම්බන්ධයෙන් ලියැවුණු පත පොතත්

හෙතෙම මහත් අභිරුචියකින් කියැවූයේය.

10. රිචර්ඩ් බ්‍රන්සන්

බ්‍රිතාන්‍යය ජාතික රිචර්ඩ් බ්‍රන්සන්, සමාගම් 400කට අධික සංඛ්‍යාව පාලනය කරන ධනවතෙකි. ඔහු මෙපමණ ව්‍යාපාර ප්‍රමාණයක් මෙහෙයවන්නේ උපාධි මට්ටමේ අධ්‍යාපනයක් නොලබා බව කිවහොත් සමහරවිට ඔබ පුදුම වනු ඇත. අඩු අධ්‍යාපන මට්ටමක් ලබා තිබුණත්,

එපමණ ව්‍යාපාර සංඛ්‍යාවක් පාලනය කළත්, රිචර්ඩ් බ්‍රන්සන් පත පොත හොඳින් පරිශීලනය කරන කෙනෙකි. ඔහු පවසන්නේ පොත පත කියැවීම නිසා අප තුළ අලුත් අදහස්, නායකත්වය පිළිබඳ හැඟීම් ඇතිවන බවකි. නායකත්වය සඳහා කියැවීම අවශ්‍ය බැව් වරක් ඔහු පවසා තිබිණ. කෙනකු තම ජීවිත කාලය තුළදී අනිවාර්යයෙන් ම කියැවිය යුතු පොත් 70ක ලැයිස්තුවක් තවත් අවස්ථාවකදී ඔහු අනාවරණය කර තිබිණ. මේ පොත් 70 ම රිචර්ඩ් බ්‍රන්සන් මහත් ආශාවෙන් යළි යළිත් පරිහරණය කළ පොත් බව සඳහන් වේ. ලැයිස්තුව ඉදිරිපත් කරමින් හෙතෙම පවසා තිබුණේ, දිනකට

පොතකින් පිටු 20ක් කියැවීමට හැකි නම්, වසරකට පොත් 35ක්වත් කියවන්නට පුළුවන් බවකි.

අන්තර්ජාලය ඇසුරෙනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න