ඔබටත් බළල් සුරතලකු සිටිනවාද? | දිනමිණ

ඔබටත් බළල් සුරතලකු සිටිනවාද?

බළල් සුරතලකු ඔබේ නිවෙසේ සිටිනවා නම්, එම සුරතලාගේ රැකවරණය සඳහා ඔබට කිසියම් කාලයක් මෙන් ම මුදලක් කැප කරන්නට සිදුවේ.එහෙත්, මේ අහිංසක සුරතල් සතුන්ට ආදරය, කරුණාව දැක්වීමෙන් මිල කරන්නට නොහැකි සතුටක් අත් විඳීමට පුළුවන.

මිනිසුන් සහ බළලුන් අතර තිබෙන සුහදතාව අවුරුදු දස දහසකට වඩා අතීතයකට දිව යයි. ඒ වුණත්, අදටත් බළලුන් බොහෝ ප්‍රමාණයක් හරි හමන් රැකවරණයක් නොමැතිව ජීවත් වේ.‍

වසරකට මිලියන 3.4 ක බළලුන් සංඛ්‍යාවක්, ලෝකයේ කිසියම් හෝ තැනක සිටිනා මිනිසුන්ගෙන් රැකවරණයක් බලාපොරොත්තු වන බව ඔබ දන්නවාද? එය, දවසකට බළලුන් 9315 දෙනෙක්, පැයකට 388 දෙනෙක්, මිනිත්තුවට 6 දෙනෙක් ලෙස දැක්විය හැකි ය. මොවුන්ගෙන් 37% කට පමණක් මොනයම් විදිහකින් හෝ මිනිසුන්ගේ රැකවරණය ලැබේ.

බටහිර රටවල කරන ලද පර්යේෂණවලට අනුව, ආතතිය ඇතිවීම වළක්වාලීමට බළල් සුරතලුන් උදවු වේ. බළල් සුරතලුන් දැකීම මෙන් ම, ඔවුන්ට උපකාර කර සතුටු වීමෙන්, ආතතිය ඇති කරන කෝර්ටිසෝල් හෝමෝනය ප්‍රමාණයෙන් අඩු වේ. ඊට අමතරව ශරීරයට හිතකර හෝමෝනයක් වන ඔක්සිටොසීන් ප්‍රමාණය ද වැඩිවේ.‍‍ගෘහාශ්‍රිතව බළල් සුරතලෙක් නඩත්තු කිරීමට යම්කිසි මුදලක් වැයවේ. ඒ, කෑම බීමට විතරක් නොව, ඔවුන්ට නිසියාකාරව එන්නත් ලබා දීමටත්, වැළඳෙන ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබා දෙන්නත් අවශ්‍ය නිසා ය.

සාමාන්‍යයෙන් මේ ගෘහාශ්‍රිත බළල් සුරතලෙක්ගේ ආයු කාලය අවුරුදු 13ක් හෝ ඊට වැඩි වන්නටත් පුළුවන. ක්‍රීම් පෆ් නමැති ගිනස් වාර්තා පොතේ නම රැන්දූ බළල් සුරතලා, ලෝකයේ වයස්ගතම බළල් සුරතලා ය. එම බළලා අවුරුදු 38ක් ජීවත් විය.කැලි‍ෆෝනියාවේ බළල් සුරතලෙක් වූ ටාරා , තමන්ගේ හාම්පුතාගේ කුඩා දරුවා සුනඛයකුගේ ප්‍රහාරයකින් බේරාගෙන තිබේ. බළල් සුරතලුන් සිටින සෑම අයෙක්ටම පාහේ තමන්ගේ සුරතලා ගැන දහසකුත් අත්දැකීම් පවසන්නට පුළුවන.

බළල් සුරතලෙක් හදා වඩා ගැනීම, එහෙමත් නැත්නම් ඔවුන්ට රැකවරණය ලබා දීම, එම සුරතලාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා හේතුවනවා මෙන් ම, අපේ සිත් ද සතුටින් පුරවාලීමට සමත් වේ.

 

එරංගි කරුණාරත්න
බොරලැස්ගමුව

නව අදහස දක්වන්න