රුව රැකදෙන කෝමාරිකා | දිනමිණ

රුව රැකදෙන කෝමාරිකා

කෝමාරිකා යනු, රූපය මෙන් ම සෞඛ්‍යයත් රැක ගැනීමට උදව් වන ශාකයකි. කාන්තා රෝග සඳහා කෝමාරිකා දිව ඔසුවක් බව දැක්වේ. ඒ නිසාම, කුමාරි, ගෘහ කන්‍යා, ඍතු කුමාරි, කුමාරිකා යන ආදී නම්වලින් ද මෙය හැඳින්වේ.ලිලියාසේ නම් කුලයට අයිති මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ, ඇලෝ ඉන්ඩිකා ය.මේ ශාකය බහුලව වැඩෙන්නේ අමෙරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව වැනි රටවල ය.

කෝමාරිකා යනු, කාන්තාවන්ට නම් බොහොම වටිනා ශාකයකි. ඒ නිසාමදෝ බොහෝ නිවෙස්වල කෝමාරිකා ශාකයක් දැකිය හැකි ය. මේ ශාකය, කාන්තාවන්ගේ රුව රැක ගැනීමට විවිධ ආකාරයෙන් උදවු වේ. හිරු එළියෙන් පිළිස්සුණු සමට ප්‍රතිකාර කිරීමට කෝමාරිකා හැකි ය. කෝමාරිකා යුෂ සම මත ගැල්වීමෙන්, හිරු එළියෙන් ආරක්ෂා වීමට අවැසිවැස්මක් ඇතිවේ. කෝමාරිකා යුෂ, සම තුළට විකිරණ ඇතුළු වීම වළක්වා, සමේ ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි.

කෝමාරිකා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වන්නේ , සමේ තෙතමනය රැක දීමට උදවු කරන නිසා ය. සමේ වියළි භාවය තුරන් කරමින්, අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට කෝමාරිකා යුෂ වැදගත් වේ.කෝමාරිකාවල ඇති සිසිලස හේතුවෙන්, සමේ ඇතිවන අසාදන ලෙස, දැවිල්ල, බිබිලි හා කැසිලි වැනි තත්ත්වවලදී ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත. කෝමාරිකාවලට ආවරණ පටල, නැතිනම් EPITHELIUM වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව තිබේ. එම නිසා,සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුව කර දීමට හැකි ය. එමෙන් ම, කෝමාරිකාවලට කැළැල් නැති කිරීමේ හැකියාව ද ඇත.

එසේ ම, හිස්හොරි නැති කිරීමේ හැකියාව ද ඇත. එම යුෂ ෂැම්පු එකක් ලෙස භාවිත කිරීමෙන් මේ තත්ත්වය ළඟා කරගත හැකි ය . එමෙන් ම, හිසේ ඇති වන තුවාල සුවපත් කිරීමට ද මෙය මහඟු ඔසුවකි.

උළුහාල් තම්බා, එයට කෝමාරිකා මදයෙන් ස්වල්පයක් එක් කර, සෙවල සහිත ද්‍රාවණයක් සාදා ගැනීමට හැකි ය. මෙය නෑමට පෙරාතුව හිසේ ගැල්වීමෙන්, හිස්හොරිවලට ප්‍රතිකාරයක් වනවා වගේම, හිසේ තිබෙන තුවාල සුවය කිරීමටත් හැකි ය.

විටමින් E සත්කාරය, හිසකෙස්වල වර්ධනයට උපකාරී වේ. හිස්කබලේ ph අගය හොඳින් පවත්වා ගැනීමට කෝමාරිකා උදවු වන අතරම, හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට උපකාරී කරමින්, හිස කෙස් වර්ධනය කිරීම ද සිදු කරයි.කෝමාරිකාවල අන්තර්ගත ඇන්ටි ඔක්සිඩන්ට් , විටමින් C හා E නිසා, සමේ පැහැය වර්ධනය වේ.එසේම, සම වයසට යෑම ද අවම කරයි.

ඔබ කෝමාරිකා යුෂ පානය කර අයෙක්ද? එසේ නැතිනම් ඔබ කෝමාරිකා යුෂ පානය ගැන අසා තිබෙනවද? කෝමාරිකා රුවට පමණක් නම් සීමා වන දෙයක් නොවේ. කෝමාරිකා යුෂ පානයෙන්,ඔබට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි ය.විටමින් A, C, D හා E මෙන් ම, ෆෝලික් හා නයසින් අම්ල ද , කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් හා යකඩ වැනි ඛනිජ ද අඩංගු වන මේ යුෂ දිනපතා පානය කිරීමෙන්, පහත ප්‍රතිලාභ ලබා ගත හැකි ය.

• ගැස්ට්‍රයිටීස්වලට ඔසුවකි

• හන්දිපත් වේදනාව සමනය කරයි

• දන්ත සෞඛ්‍ය රැකදේ

• තරුණ පෙනුම රැක දෙයි

• ප්‍රතිශක්තිය වර්ධනය කරයි

• ජීර්ණය ක්‍රමවත් කෙරේ

• කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරයි

 

අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න