නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් ඇති-නැති පරතරය අනුවයි | දිනමිණ

නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් ඇති-නැති පරතරය අනුවයි

රංජිත් සූරියආරච්චි-කැඳවුම්කරු-බන්ධනාගාරගත වූවන්ගේ ඥාතින්ගේ සුබ සාධන එකමුතුව

දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්න, බන්ධනාගාරගත වන ඇතැමුන් සිරකුටිවල ගතකරද්දී තවත් සමහරකු වහාම රෝහල්ගත වීම ආදී කරුණු සාකච්ඡා වන මොහොතක බන්ධනාගාරගත වූවන්ගේ ඥාතීන්ගේ සුබ සාධන එකතුමුතුවේ කැඳවුම්කරු රංජිත් සූරියආරච්චි එහා ඉවුරට එක් වේ.

 බන්ධනාගාරගත වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුවේ අරමුණ හා පසුගිය කාල පරාසය තුළ ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ගැන ඔබේ අදහස කුමක් ද?

විශේෂයෙන්ම අපි කරන දෙයක් තමයි, සිරගත වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරන එක. ඒ අයට තමන්ගේ ඥාතියා සිරගත වුණාට පස්සේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. එක පැත්තකින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. අනෙක් පැත්තෙන් ආරක්ෂාව අහිමි වෙනවා. ඒ වගේම දරුවන් ඉන්නවා නම් ඔවුන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වෙනවා. එපමණක් නෙවෙයි සමාජීය වශයෙන් මොවුන්ට විශාල පීඩාවක් එල්ල වෙනවා. ඒ නිසා අපි ඒ අය වෙනුවෙන් විවිධ සංවිධාන හා ධානපතියන් එකතුකරගෙන ඔවුන්ගේ පවුල් නඟා සිටුවන්න අවශ්‍ය පසුබිම සකසනවා.

ඔබ කියන ආකාරයට දිවයින පුරා ඉන්න සිරගතවූවන්ගේ ඥාතීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනව ද?

දැනට අපේ සංවිධානය ගොඩනඟාගෙන අවුරුදු හතරක් පමණ වෙනවා. ඒ කාලය තුළ අපි උදව් උපකාර කළ බොහෝ පිරිසක් නිදහස ලබාගෙන ඇවිත් තියෙනවා. තවත් බොහෝ පිරිසක් දීර්ඝ කාලීනව බන්ධනාගාරගත වෙලත් ඉන්නවා. කොහොම නමුත් දැනට තුන්දහසකට ආසන්න ප්‍රමාණයකට අපි අපේ උපකාර සේවා ලබා දී තිබෙනවා.

ඔබ සංවිධානය සිරගත වූවන් වෙනුවෙන් කටයුතු කිරීමේ දී ඒ ඒ පුද්ගලයන් තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් තිබෙනවා ද?

අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ සිරගත වූවන්ගේ ඥාතීන් සම්බන්ධයෙන්. ඔවුන්ගේ කුටුම්බ කඩා වැටීම හා අසරණ වීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරන අතර අවශ්‍ය නීතිමය සහයෝගයත් ලබා දෙන්න අපි කටයුතු කරනවා. මෙතැනදී බරපතළ අපරාධ, දූෂණ, වංචා සම්බන්ධයෙන් සිරගතවූවන් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ නෑ. අපේ සංවිධානය උපකාර කිරීමට යම් පුද්ගලයකු තෝරා ගනු ලබන්නේ ඉහත කී අපරාධ, දූෂණ, වංචා කියන ඒවාට සම්බන්ධ නැති, ඔවුන්ගේ ඥාතීන් අපෙන් කරන ඉල්ලීම අනුව දීර්ඝ සොයා බැලීමකින් අනතුරුවයි.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළ සිරගත වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කවරේ ද?

අපෙන් ඉල්ලීමක් කළාම, ඒ සිද්ධිය සම්බන්ධයෙන් අපි පළමුව ඥාතීන්ගෙන් විස්තර ලබා ගන්නවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයාට විරුද්ධව තිබෙන පැමිණිල්ල අපට ලබා දෙන්න කියලා ඔවුන් දැනුවත් කරනවා. ඒ වගේම නඩු විභාගයක් සිදු වෙනවා නම් එහි වාර්තා අරගෙන අපි අධ්‍යනය කිරීමක් කරලා මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඥාතීන් ලබා දෙන තොරතුරු සත්‍ය ඒවා ද කියලා බලනවා. එතැනදී අපිට පෙනුණොත්, ඒ රැඳවියා නිසා සමාජයට විශාල හානියක් සිදු වෙලා කියලා අපි ඔහු ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ. ඒත් ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය උදව් උපකාර කරන්න යොමු වෙනවා.

ඔබ කියන්නේ සිරගතවූවන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූවන් නම් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිරිපත්වන බව ද?

එහෙම නෙවෙයි, අපි දෙපැත්තම වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න මැදිහත් වෙනවා. අපි කියන්නේ විශාල වශයෙන් සමාජයට හානියක් කරලා තියෙන අය ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. ඒත් සමහර සිරගත වූවන්ගේ ඥාතින් ඉන්නවා සිරගත වූවන් වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන්නෙ කොහොම ද කියලා දන්නේ නැති අය. ඒ අයට අපි සාධාරණය ඉටුකර ගන්න අවශ්‍ය මාර්ගය හදලා දෙනවා. ඒ වගේම තමයි බන්ධනාගාර තුළ විවිධ වද බන්ධනයන්ට ලක් වෙන අය ඉන්නවා, ඒ වගේ අවස්ථාවලදීත් අපි මැදිහත් වෙනවා.

සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය කියලා සඳහන්. ඒ මානුෂීය මෙහෙවරට ඔබ සංවිධානය කැපවෙනවා කියලා කියනවා. මේ සම්බන්ධයෙන් ඔබ සංවිධානය ආණ්ඩුවට මොනව ද කියන්නේ?

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කරන්න අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න අපේ සංවිධානය දිනයක් ඉල්ලලා තියෙනවා. බන්ධනාගාර තුළ දැනටත් ක්‍රියාත්මක වෙන්නේ හතළිස් ගණන්වල සම්මත වුණ නීති. ඒ අනුව බන්ධනාගාර තුළත් ගැටලු රැසක් තියෙනවා. රැඳවියන්ට ආහාර හරියට ලැබෙන්නේ නෑ, එක ඇඳුමයි දෙන්නේ. ඒ වගේම ඥාතීන් හම්බ වෙන්න නීතියෙන් මාසයකට විනාඩි විස්සක් දීලා තියෙනවා. ඒත් විනාඩි විස්සක් ලැබෙන්නෙ නෑ, විනාඩි දෙක තුනයි ලැබෙන්නේ. මේ රැඳවියන් තම ඥාතීන්ගෙන් උපරිම ඈත් කරලයි තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ මූලික වශයෙන් මේ පුද්ගලයන්ට සමාජගත වෙන්න මාර්ගයක් හදලා දෙන්න කියලයි. තවමත් ඔවුන් ලණු අඹරනවා, රෙදි වියනවා. ඔවුන් එතැනින් එළියට එනවිට යහපත් පුද්ගලයන් විදිහට සමාජගත වෙන්න අවශ්‍ය වටපිටාව හදන්න ඕන. ඒ වගේම මේ රැඳවියන් සමාජගත කළාම ඔවුන්ට ජීවත් වෙන්න හොඳ වෘත්තිය පුහුණුවක් දෙන්න ඕන.

අපේ රටේ සමස්ත රැඳවියන් ප්‍රමාණය මේ රටේ ජාතික ආර්ථිකයට දායක කරගැනීමේ ක්‍රමවේදයක් නැද්ද?

අද රට පුරාම බන්ධනාගාරවල තිස් දහසක් පමණ රැඳවියෝ ඉන්නවා. මේ රටේ ශ්‍රමය තමයි ඒ සිරගත වෙලා ඉන්නේ. අද මේ රටත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනවා. තොරතුරු තාක්ෂණය දියුණුයි. මේ රැඳවියන් තිස් දහස හරිහැටි පාවිච්චි කළා නම් මේ රටේ ජාතික ආර්ථිකයට, රටේ සංවර්ධනයට වැදගත්. සිරගතවූ එක් අයකු වෙනුවෙන් දිනකට රුපියල් දෙසීයක් වැය කරන එකත් ආණ්ඩුව දරන්න ඕන. එහෙම නැතුව බන්ධනාගාරය තුළින්ම ඒ මුදල හොයා ගන්න වැඩපිළිවෙළක් සකස් කළා නම් ගැටලුවක් නෑ.

අපේ රටේ නඩු විභාග සම්බන්ධයෙන් ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

කනගාටුයි කියන්න, අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය ඉතාමත් ප්‍රමාදයි. ඒ වගේම දැන් පැහැදිලිවම පේනවා අධිකරණ ක්‍රියාවලිය මේ රටේ ජන කොටස් වෙන්කරගෙන දෙයාකාරයකට කටයුතු කරනවා කියලා. අපේ උපකාර බලාගෙන ආපු ඇතැම් රැඳවියෝ රජයේ දේපළ විදිහට රුපියල් හතළිස් දහසක වංචාවකට අවුරුදු තුනක් පුරා ඇප නොදී තබාගෙන ඉන්නවා. ඒත් දේශපාලකයන් සතියෙන් දෙකෙන් එළියට එනවා. මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ. රැඳවියන්ටත් මේ ගැන කළකිරීමක් ඇති වෙනවා. ඇති නැති අයට දෙවිදිහකට මේ රටේ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න බෑ. රටේ එක නීතියක් තියෙන්න ඕන. මේ සිදුවන අසාධාරණ ක්‍රියාවලිය නිසා සමාජ විරෝධී ක්‍රියා නැවත නැවතත් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ පද්ධතිය නිවැරැදි කරන්න ඕන කියලයි.

දමිළ ජාතික සිරකරුවන් නිදහස් කරන්න කියලා පසුගියදා හර්තාල් ව්‍යාපාරයක් දියත් කළා. ඒ සිද්ධියත් එක්ක ඔබ සංගමයත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඒ අයගේ ඉල්ලීම් සමග අපේ ඉල්ලීම් කළ යුතුයි කියන තැන ද ඔබ සංගමය ඉන්නේ?

ඒ අය දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලයි හර්තාල් කළේ. හැබැයි සිරගත වෙලා ඉන්නේ එල්ටීටීඊ එකට සම්බන්ධ වෙලා මිනී මැරුම් චෝදනා තියෙන පිරිසක්. එහෙම නැතිව දේශපාලන සිරකරුවෝ කියලා පිරිසක් නෑ. මෙතැන ඔවුන්ගේ ඉල්ලීම්වලට දිය හැකි හොඳම විසඳුම තමයි නඩු විභාග කඩිනම් කිරීම. ඔය චෝදනා දකුණේ සිරගත වෙලා ඉන්න අයටත් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කළ යුතු හොඳම දේ තමයි, ඉක්මනට නඩු විභාග කරලා මේ ගැටලුව විසඳන එක.

කොහොම නමුත් දෙමළ ජන සමාජය තුළ එවැනි නිදහස් කරගැනීමකට පෙළඹීමක් ඇති වුණත්, සිංහල ජන සමාජය තුළ එවැන්නක් දක්නට ලැබෙන්නේ නෑ නේද?

අපේ ජනතාවට සිරගත වෙලා ඉන්න පිරිස ගැන ඇත්තටම තැකීමක් නෑ. හැබැයි දමිළ ජනතාව ඔවුන්ගේ සාමාජිකයන් වෙනුවෙන් යම් හැඟීමකින් කටයුතු කරනවා. අපේ අය කරන දේ තමයි යම් පුද්ගලයකු බන්ධනාගාරගත වුණාට පසු තව තවත් ඔවුන් කොන් කර තැබීම. එහෙම නැතුව ඒ පුද්ගලයාට මොකද වුණේ, සිදුවීම සාධාරණ ද, අසාධාරණ ද කියලා කවුරුත් හොයා බලන්නේ නෑ. බන්ධනාගාරගත වු ගමන් හිරකාරයා කියලා ලේබලය අලවනවා. ඔවුන් එළියට ආවත් පිළිගැනීමක් නෑ. නැවත නැවතත් හිරකරුවකු ලෙස හංවඩු ගහනවා. එතකොට එළියට ආවම ඔහුට හෝ ඇයට විශාල මානසික පීඩනයක් එල්ල වෙනවා. ඒ තුළම ඔවුන් යළිත් අසරණ වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. මේ හැම දේකින්ම පේන්නේ අපේ ජනතාව මේවා නිවැරැදි කරගන්න උත්සාහ කරන්නේ නෑ කියන එකයි.

අපේ රටේ දේශපාලන සිරකරුවන් නිදහස් කරව් කියලා ඇතැම් දේශපාලන පක්ෂ උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනවා. සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් නොවන්නේ ඇයි?

අපේ රටේ දේශපාලනඥයන්ට මේ රටේ පුරවැසියන් ගැන හැඟීමක් නෑ. ඒක තමයි මම කලින් කිව්වේ මේ රටේ නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ අනුව තමයි මේ රටේ මහජනතාවගේ ධනය කොල්ලකාපු අය දවසෙන් දෙකෙන් ඇප ලබාගෙන එළියට එන්නේ. අනෙක් කාරණය තමයි සාමාන්‍ය පුරවැසියන් සිරගත වුණාම ඔවුන් ගැන ජනතාවට තියෙන ආකල්පය වෙනස්. දේශපාලන සිරකරුවෝ කියන්නේ කවුද?, පසුගියදා හම්බන්තොට සිදුවීම, ඒ දිහා බැලුවාම ඔවුන් සිරගත කළාම දේශපාලන සිරකරුවෝ වෙනවා, එතැන වරදේ ස්වභාවය දිහා බැලුව නම් ඔවුන් අපරාධකරුවෝ. මෙන්න මේ දේ තමයි කවුරුත් හිතන්නේ නැත්තේ. එදා ඔවුන් අධිකරණ නියෝග කඩ කළා. ඔවුන් දේශපාලනය කරන්නේ මේ රටේ මහාධිකරණ නීති කඩ කරලා. ඔවුන් නිදහස් කරන්නෙත් මේ අධිකරණ පද්ධතියමයි. ඔය දේ සාමාන්‍ය පුරවැසියෙක් කළා නම් ඔහු තාමත් සිරගත කරලා, ඔහුට ඇප තියා ඥාතියෙක් දකින්නවත් ඉඩක් දෙන්නේ නෑ. මෙන්න මේ දේවල් නිවැරැදි වනතුරු මේ රටේ සිරගතවන පිරිස අවම කරන්නත් අමාරුයි.

වත්මන් සමාජයේ බොහොමයක් වැරැදිවලට දඬුවම් විඳින්නේ අධ්‍යාපන මට්ටම අඩු පුද්ගලයන් යැයි සඳහන්. එවැනි කාරණා පිළිබඳ ඔබ සංවිධානය අවධානය යොමු කළා ද?

අද වෙන කොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රමයක්. අතීතයේ තිබුණ සාහිත්‍ය පිළිබඳ, ඉතිහාසය පිළිබඳ උනන්දුව අද නෑ. එදා අධ්‍යාපනය ලබපු ගොඩක් අය සමාජ මට්ටම් හිමිකරගෙන යහපත් විදියට ජීවත් වෙනවා. බන්ධනාගාරගත වූවන් සමීක්ෂණයකට ලක් කළොත්, එතැන සියයට අනූ ගණනකම ඉන්නේ සාක්ෂරතාවය අඩු පුද්ගලයෝ. මේ හැම දේකටම බලපාලා තියෙන්නේ පවතින අධ්‍යාපනයේ අක්‍රමිකතාවය. අධ්‍යාපනය අපේ සාරධර්ම රැකෙන ආකාරයට සකසලා දැනුමත් සමඟ පැවතුණා නම් මේ තරම් හානියක් වෙන්නේ නෑ.

ඉතිහාසය පුරා සිවිල් අරගල, තරුණ කැරැලි වගේම කලබල කිරීම් රාශියක් සිදු වුණා. ඒ හැම දෙයකින්ම පීඩාවලට ලක් වුණේ මහජනතාව. ඒ ගැන මොකක් ද කියන්නේ?

ඒ නිසා තමයි මේ රටට අලුත් නීති පද්ධතියක් හා අලුත් ක්‍රමවේදයක් ඕන කියන්නේ. ඒ වගේම මේ රටේ යම් පුද්ගලයකු වරදකරුවකු ලෙස අත්අඩංගුවට ගත්තාම ඉක්මනින් නඩු අහන්න ඕන. වසර ගණන් ඒවා පසු කිරීම යහපත් නෑ. නඩු ප්‍රමාද වෙන්න වෙන්න ජනතාව පිරිහෙනවා වගේම රටේ ආර්ථිකයටත් හොඳ නෑ. නීතිපති දෙපාර්තමේන්තුවත් කාර්යක්ෂම වෙන්න ඕන. අනෙක් කාරණය තමයි බරපතළ වංචා, දූෂණ කිරීමට ඇති අවස්ථා අහිමි කරන්න ඕන. මේ කාරණා හරිහැටි සිදු වෙනවා නම් අතීතයේ වගේ කැරැලි, කෝලාහල අනාගතයේ ඇති වෙන එකක් නෑ.

ඔබ පවසන සියලු කාරණාවලට ආණ්ඩුව ගෙනෙන්නට හදන නව ව්‍යවස්ථාවෙන් අවස්ථාව හිමි වෙයි කියලා විශ්වාස කරනවා ද?

ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ පාලකයන්ට විතරක් නෙමෙයි. මේ රටේ මහජනතාවටත් ඒක අවශ්‍යයි. අපි ආණ්ඩුවට කියනවා ගේන්න හදන ව්‍යවස්ථාවෙන් බන්ධනාගාරගත වෙන අය ගැනත් හිතන්න ඉඩක් දෙන්න කියල. ඒ වගේම පවතින ව්‍යවස්ථාව අනිවාර්යයෙන් වෙනස් කළ යුතුයි. මේ තියෙන ව්‍යවස්ථාව අපරාධකරුවන්ට තෝතැන්නක්. ඒ වගේම අපරාධ කරලා නිදහසේ ජීවත් වෙන්න මේ ව්‍යවස්ථාව තුළින්ම අවස්ථාව තියෙනවා. බලය පුද්ගලයන් වටා කේන්ද්‍රගතවීමෙන් දුෂණ, වංචාකරුවන්, ඇතුළු විවිධ අපරාධකරුවන් ඒකරාශි වෙලා නීතිය ක්‍රියාත්මකවීම වළක්වනවා. ඒ නිසා එවැනි දේට ඉඩක් නොලැබෙන ශක්තිමත් ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි.

මේ රජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය‍ටතේ පෙන්නල තියෙනව චෝදනාවක් ආපුවම පුළුවන් ඉහළම තත්ත්වයෙන් විමර්ශනය කරනව කියල බැඳුම්කර කොමිසම එයට උදාහරණයක් වෙන්න මේ වගේ වෙනසක් ව්‍යවස්ථාවට එකතු වෙන්න ඕන‍.

සටහන
දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න