ඉවසීම හඳුනා ගනිමු | දිනමිණ

ඉවසීම හඳුනා ගනිමු

අපි දන්නවා ඉවසීම කියල දෙයක් තියෙනව. නොඉවසිම කියල දෙයක් තියෙනව. මෙ කාරණා දෙකම අපට වැදගත්. ඉවසීමත් වැදගත්. නොඉවසීමත් වැදගත්. හැබැයි අපි තේරා බේරා ගත යුතු වන්නේ ඉවසිය යුත්තේ කොතෙන්දිද, කියන දේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර නොගත් කෙනෙක්ගේ ස්වභාවය තමයි. ඉවසිය යුතු තැන නො ඉවසනව. නොඉවසිය යුත තැන ඉවසනව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාව තමයි ඉවසිය යුතු තැන ඉවසීම. නොඉවසිය යුතුතැන නොඉවසීම.

එහෙනම් අපි ශ්‍රාවකයෙක් බවට පත්වුණොත් ඉවසිය යුතු තැන ඉවසන්න පුරුදුවෙනවා. ඉවසන්නේ නැති තැන ඉවසන් නැතිව ඉන්න පුරුදුවෙනවා. ඉවසිය යුතු තැන ඉවසන්න අපි කැමතිවෙන්ට ඕනෑ. එසේ කැමතිවන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන කෙනා. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව මේ මේ තැනදී ඉවසිය යුතුයි. මේ මේ තැනදි නොඉවසිය යුතුයි කියල. ඒ ධර්මය පිළිගන්න කෙනා, ඉවසිය යුතු තැන ඉවසනවා. නොඉවසිය යුතු තැන නොඉවසනවා. අන්න එතකොට තමයි ඒ ශ්‍රාවකත්වය දියුණුවෙලා යන්නෙ. පිරිහෙන්නැති විදිහට දියුණුවෙන්නෙ අන්න ඒ විදිහටයි.

දැන් බලන්න අපි ඉවසිය යුතු තැන ඉවසනවද නොඉවසිය යුතු තැන නොඉවසනවාද කියල අපි ගැන තෝරා බේරා ගත යුතුයි. මොකද අපේ ජීවිතය අපි විසින්මයි දියුණුකරගත යුත්තේ. අපේ ජීවිතය දියුණු කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? ශ්‍රාවකත්වය ඇති කරගන්නවා කියන එක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙලා. ශ්‍රාවකත්වය පරිපූර්ණ කර ගැනීමට කටයුතු කිරීම තමයි ශ්‍රාවකත්වය දියුණු කරගන්නවා කියල කියන්නෙ.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉවසන්ට කියල අපිට කිව්වෙ කොතනදීද? අපිට ඉවසන්ට කියල කිව්ව සීතල උණුසුම්, බඩගින්න, පිපාසය ඉවසන්ට කියල කිව්ව. මැසි මදුරු කරදර ඉවසන්ට කියල කිව්ව . ඊළඟට අපිට මේ සැරපරුෂ බැනුම්, කනට අමිහිරි සිත් වේදනා දෙන බැනුම්, චෝදනා ඒව ඉවසන්ට කියල කිව්ව. ඊළඟට කයට දැනෙන කර්කෂ දුක් වේදනා තියෙනව. ඒව ඉවසන්ට කියල කිව්ව. අන්න ඒව ඉවසුවොත් ඉවසන්ට දක්ෂකෙනා ඒව ඉවසීමෙන් එයාට යම් දැවිලි ඇතිවෙනව ආශ්‍රව තියෙනව නම් ඒ ආශ්‍රව දුරුවෙලා යනව කියල කිව්ව. ඒ කාරණා ඉවසන්ට බැරි කෙනාට නොඉවසීම නිසා දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නවා. එතකොට ඒ ආශ්‍රව වලින් නිදහස්වෙන්ට එයාට බෑ එයාට දුකෙන් නිදහස්වීමක් නෑ.

ඊලඟට අපි ඉවසන්නෙ නැතිව සිටිය යුත්තේ මොන වෙලාවෙද? අපිට යම් කාම සිතුවිල්ලක් ආවොත්, තරහ සිතුවිල්ලක් ආවෝත් ඒක ඉවසන් නෑ. හිංසා සිතුවිල්ලක් ආවොත් ඒක ඉවසන් නෑ. භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයා ඒක බැහැර කරනව. ඉවත් කරන්ට කල්පනා කරනවා. දුරු කරන්ට කල්පනා කරනවා. සම්පූර්ණයෙන් නැත්තට නැතිවෙනකල් ඒක දුරුකරන්ට මහන්සි වෙනවා. නැති කරල දානව. ඉතින් ඒ විදිහට ඒක බැහැර කරල යම් කලකදි ඒවගේ දුක් පීඩා ඇතිවන සිතුවිලි දැවිලි ඇතිකරන සිතුවිලි නැත්තට නැතිකරල දිනව. ඒක තමයි දියුණුව කියල කියන්නෙ.

දැන් බලන්න අපි එහෙම කටයුතු කරන්ට කැමතිද කියල. අපි එහෙම කටයුතු කරනවා නම් සතුටු සිතින් ඒක දියුණුකරගෙන යන්ට. අපි ඒ විදිහට කටයුතු කරන්නෙ නැත්නම්, ඒ විදිහට කටයුතු කරන්ට කැමැතිවෙන්ට, එතකොට අපි ශ්‍රාවකයෙක් වෙන්න කැමැතිවෙනවා. එයාට නිවන් මග පෑදෙනවා.

 

නව අදහස දක්වන්න