පරීක්ෂණ නොමඟ යවන උත්සාහයක් | දිනමිණ

පරීක්ෂණ නොමඟ යවන උත්සාහයක්

විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය

නම-මහලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර්. ගම- පුංකුඩතිව්, කයිට්ස්.

"සිද්ධියට අදාළව මීට කලින් අත්අඩංගුවට ගත් අය අඳුරනවද?

"ඔව්. ශිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බි කියන්නේ මගේ මස්සිනා. එයාගේ අක්කා තමයි මං බැඳලා ඉන්නේ. ඊට කලින් මට එහෙදි විවාහයක් තිබ්බා. මේ මගේ දෙවෙනි විවාහය."

"කොයි කාලෙද රටින් පනින්නේ?

"අසූ ගණන්වල අග තමයි. මුහුදු මාර්ගයෙන් ගිහින් නීති විරෝධී විදිහට තමයි ගියේ. දේශපාලන රැකවරණ ඉල්ලුවා. ඒක ලැබුණා. "

"මොකක්ද කරපු රස්සාව?

"මං හෝටල්වල උයන පිහින වැඩ තමයි කළේ. ලංකාවෙ මුදලින් මාසෙකට හත් ලක්ෂයක් විතර හම්බ කළා. කාලා බීලා යාළුවොත් එක්ක හොඳට සතුටින් හිටියා. මෙහේ ආවම එහෙමත් අත දිගෑරලා වියදම් කරලා සතුටින් හිටියා. මේ සිද්ධියට අපේ කිසිම සම්බන්ධයක් නෑ. අපි සතුටින් ඉන්නවට අකමැති මිනිස්සු ඊර්ශ්‍යාවට තමයි අපිව පටලවන්න හදන්නේ"

"හරි වැරදි පරීක්ෂණවලින් පස්සේ අධිකරණයේදී එළිවෙයි. දැනට මං අහන දේට හරියට උත්තර දෙන්න ඕන? පො.ප නිශාන්ත අවධාරණය කළේය.

"මේ අනිත් අය කවුද?

"මීට කලින් කෝවිල ළඟදි අත්අඩංගුවට ගත්තු මහලිංගම් ශෂිකරන් කියන්නෙ මගෙ මල්ලි. එයත් මේකට සම්බන්ධ නෑ සර්. ඔය සිද්ධිය වෙද්දි අපි හිටියෙ කොළඹ. මමයි, ශෂියි, නිශාන්තන්, කෝකිලන් අපි හැමෝම හිටියේ කොළඹ. අපි නැවතිලා හිටියේ අහවල් ලොජ් එකේ. එතකොට අපි අහවල් සමාජ ශළාවට ගියා. ඒවායේ සී.සී.ටී.වී බලන්න පුළුවන්"

කට උත්තරය ලියාගනු ලැබුවද, පොලිස් පරීක්ෂකවරයාට හිතට වද දුන් ප්‍රශ්නයක් ඉතිරිව තිබුණි. මීට පෙරාතුව මැයි මස 17 වන දින යාපනයේදී කෝවිලක් අසළදී අත්අඩංගුවට ගනු ලැබූ පස් දෙනාගෙන් තිදෙනෙකුම රක්ෂිත බන්ධනාගාරය වෙත ගෙනියනු ලබද්දී කියා සිටියේද, තමන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව හා ඒ පිළිබඳ සැකයක් ඇත්නම් කොළඹ නම් කරනු ලැබූ ස්ථාන කිහිපයක සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කර බලන ලෙසයි. සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නම් දරා ඇති ස්විස් කුමාර්ද, කියන්නේ තමන් මෙන්ම කෝවිල අසළ අත්අඩංගුවට ගනු ලැබූ අය අතුරින් තිදෙනෙකු තමන් සමග කොළඹ සිටි බවයි. එනම් මෙම සිව්දෙනාම ඒ වෙද්දි කොළඹ ප්‍රදේශයේ රැඳී සිටි බවයි.

එය විය හැක්කක්ද? අනෙක් අතට සාමාන්‍ය දින චරියාවේදී කිසිවෙකුත් තම දෛනික කටයුතු කරගෙන යාමට කුමන ස්ථානයට ගියද, එම ස්ථානයට ගිය වේලාව, ඒ අවට සී.සී.ටී.වී සවිකර ඇත්ද?යන්න කෙරෙහි අවධානය යොමු නොකරයි. අවට බොහෝ දෑ සිදුවිය හැකි නිසා ඒ සියල්ල ඉතා තදින් මතක‍යේ තබා ගැනීම අසීරු වනවා මෙන්ම එසේ තබාගැනීමේ අවශ්‍යතාවක්ද, නොපවතී. එහෙත් යම් කිසි අයෙකු සැකකටයුතු හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුකරන්නට යන්නේනම් තමන් පිළිබඳ සාක්ෂි ඉතිරි නොකිරීමට ඔවුන් උත්සාහ ගනියි.

එසේත් නැතිනම් පරීක්ෂණ නොමග යැවීමට අන් තැනක වෙනත් විදිහක සාක්ෂි හෝ මතක සටහන් ඉතිරි කිරීමට වෑයම් කරයි. ඒ නිසාම සැලසුම් සහගතව සිදුකරන අපරාධයකදී එවැනි ඕනෑම දෙයක් සිදුවිය හැකි බව ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයා සිය අත්දැකීමෙන් දනියි. ඒ නිසාම සැකකරුවන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගනු පිණිස ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී සිටි බව කියන ස්ථාන පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිශාන්ත ද සිල්වා, උ.පො.ප සම්පත්ට දැනුම් දුන්නේය.

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් මෙහෙයවන ලෙස උපදෙස් ලබාදුන්නද, කයිට්ස් හා යාපනය පොලීසිය විසින් සිදුකරමින් පැවති පොලිස් පරීක්ෂණද ඒ ආකාරයෙන්ම ඉදිරියට යමින් තිබිණි. ඒ අනුව සිද්ධියට අදාළව විභාග වෙමින් පැවති නඩුවලදී පෙනී සිටිය යුතු වූයේද, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වූයේද, කයිටස් හෝ යාපනය පොලිසිය විසිනි. එබැවින් ස්විස් කුමාර‍ගේ කටඋත්තරය, පෙර දින රාත්‍රීයේ නිශාන්ත ද සිල්වා මහතා විසින් ලියාගනු ලැබුවද, සැකකරු පසු දින උදයේ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබිණි. එය කයිටස් පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ක්වින්ටන් පෙරෙයිරා මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

තමාට පැවරුණු වෙනත් බාරදූර රාජකාරියක් හේතුවෙන් එදින කයිට්ස් වෙත යාමට හැකියාවක් නොමැති බැවින් ස්විස් කුමාර් අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුත්ත වෙනත් පොලිස් නිලධාරියෙකුට පවරන ලෙස පෙරෙයිරා ඉල්ලා තිබිණි. ඔහුට පැවරී තිබුණු බාරදූර කාර්යය පසුව අනාවරණය විය. එය නම් කසිප්පු නඩුවකට අදාළව වීදි වාර්තා ඉදිරිපත් කිරීමට මහර අධිකරණයට පැමිණීම ය.

රටේම ආන්දෝලනයට තුඩුදුන් අපරාධ නඩුවක සැකකරුවෙකු අධිකරණයට දිරිපත් කිරීමට වඩා කසිප්පු නඩුවකට වීදි වාර්තා ඉදිරිපත් කිරීම බාරදූර වූයේ මන්ද යන්නද, අධිකරණයේදී තහවුරු වූ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක ක්වින්ටන් පෙරෙයිරා වැන්නන් හරහා ශ්‍රී ගජන් වැන්නන් දක්වාම අධිකරණයෙන් දෝෂ දර්ශනයට ලක්වන්නට සිදුවූයේ ඒ නිසාය.

රාජකාරිය නිසි ලෙස ඉටුනොකිරීම, පරීක්ෂණ නොමග යැවීමට සහාය වීම මෙන්ම සැකකරුවන්ට පක්ෂපාති ලෙස කටයුතු කිරීම ආදී චෝදනා රැසක් මොවුන්ට එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන්ද, විමර්ශන ක්‍රියාත්මකය. කෙසේ වෙතත් අවසානයේ කොඩිකාමම් පොලීසියේ ස්ථාන භාර නිලධාරී චින්තක බණ්ඩාර මහතා විසින් ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනා කයිටස් ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනලදුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

" සර්. ස්විස් කුමාර් උසාවියට ඉදිරිපත් කරපු වෙලාවෙ සීනියර් ඩී.අයි.ජී ලලිත් ජයසිංහ මහත්තයත් ඇවිල්ලා හිටියා."

"හ්ම්. අපි දැනගෙන හිටියා නොව."

අධිකරණ ක්‍රියාවලියක් තුළ නඩුවක් විභාග වෙමින් පවතිද්දී සැකකරුවන්ට පක්ෂපාතිත්වය දක්වා ඔවුන් පිළිබඳ සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු උසාවි බිමේ රස්තියාදු වීම කෙතරම් නින්දනීය තත්ත්වයක්ද? ඊටත් වඩා මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනයාමට මෙන්ම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් විසින් බාධා එල්ල කරනු ලැබීමට ඉඩ ප්‍රස්ථාව පවතින බැවින් වහාම තීරණයක් ගත යුතුව තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නාගහමුල්ල හා සහකාර පොලිස් අධිකාරී තිසේරා යන මහත්වරුන් එක්ව පොලිසපතිවරයාගේ උපදෙස් අනුව අවසන් තීරණයක් ගත්හ.

" අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය අනුව සම්පූර්ණ විමර්ශන ඔයා බාරගන්න" ඔවුහු පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්හ.

පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා විසින් එදිනම අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිස්පති නියෝග මත මින්පසු සියලුම විමර්ශන තමා යටතට ගන්නා බව කයිටස් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර මහතා අභිමුව දැනුම්දුන්නේය.

සියලුම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමෙන් පසු ඒ වන විට සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා උතුරට ගොස් සිටින අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් රැස් වී පවත්නා තත්ත්වය පිළිබඳ යළි සාකච්ඡා කරන ලදී. එතෙක් කයිටස් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවල උධෘත මෙම පිරිසගේ අවධානයට ලක්විය. නඩු වාර්තා, සාක්ෂි සටහන්, නඩු භාණ්ඩ, අධිකරණ ක්‍රියාවලිය ආදී සියල්ල කෙරෙහි සැලකිලිමත් වෙමින් විමර්ශනවල ප්‍රගතිය, අඩුපාඩු, අවධානයට ලක් නොවූ පැතිකඩ පිළිබඳ විශේෂ අවධානයට ලක්කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මැයි මස 22 දා කයිටස් පොලීසියේම නිලධාරීන් පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් පුංකුඩතිව් ගමට ගියහ. ඒ අපරාධ ස්ථානය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට හා විද්‍යා දැරියගේ මව, පියා, සොයුරා, සොයුරිය, අසල්වැසියන්, අධිකරණ වෛද්‍ය නිලධාරි, හදිසි මරණ පරීක්ෂක ආදීන්ගෙන් කටඋත්තර ලබා ගැනීමටය.

කයිටස් පොලීසියේ සිට විද්‍යාගේ මළ සිරුර හමු වූ සින්නආලඩි ප්‍රදේශයට කි.මී 26ක දුරකි. එතැන් සිට කි.මී 2ක් පමණ දුරකින් නාවික හමුදා ගෝඨයිම්බර කඳවුර පිහිටියේය. සිද්ධිය මූලාරම්භයේ සිට මෙම අපරාධය සිදුකරනු ලැබුවේ නාවික හමුදාවේ පිරිසක් විසින් බව ඇතැම් ගම්මුන් අතර කටකතාවක් පැතිරී තිබිණි. සිද්ධිය ආසන්නයේ නාවික හමුදා කඳවුර පිහිටීමත්, ආරක්ෂක අංශ කෙරෙහි උතු‍රේ වැසියන්ගේ එතරම් ප්‍රසාදයක් නොවීමත් මෙම කටකතාවට පාදක වී තිබිණි. මේ අතර සැකකරුවන්ගෙන් මූලික කට උත්තර ගැනීමේදී තමන් මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෙය නාවික හමුදා භටයින් විසින් සිදුකොට තමන් පිට පැටවීමට දැරූ උත්සාහයක් බවත් පැවසූ අවස්ථාවන්ද තිබිණි.

මහලිංගම් ශෂිදරන් නමැති සැකකරු 2017 අගෝස්තු 28 දා වව්නියාව මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම ඝාතනය නාවික හමුදාව විසින් සිදුකර ඇති බවයි. යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේදී මීට පෙරාතුව අවස්ථා දෙකකදී සාරාදම්බල් හා දර්ශනී නමැති ස්ත්‍රීන් දෙදෙනෙකු දූෂණය කොට ඝාතනය කර තිබුණු බවත්, ඒවාට නාවික හමුදාව සම්බන්ධ බවටත් ඔහු චෝදනා කර තිබිණි. අනෙක් අතට අපරාධ සිද්ධියත් සමග නොසන්සුන් වූ ජනයා විරෝධතා දැක්වීමේදීත්, පුංකුඩතිව් සිට යාපනය දක්වා විරෝධතා පෙළපාලියෙන් පැමිණෙද්දීත් නාවික හමුදා කඳවුර ඇතුළු රජයේ ආයතන ඉදිරිපසදී කලහකාරී ලෙස හැසිරෙන්නටත්, ඇතැම් රජයේ ආයතන හා දේපළවලට පහර දී හානි සිදුකිරීමට පවා පෙළඹුණු අයුරු දැක ගත හැකිවිය.

 මේ අනුව ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකු තමන් අපරාධයට සම්බන්ධ නොවූ බව හා එදින රැඳී සිටියේ කොළඹ බව තහවුරු කරනු පිණිස සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරන ලෙස පවසන අතරේම මෙම අපරාධය සිදුකර ඇත්තේ නාවික හමුදා භට පිරිසක් ලෙසින් බව පවසමින් සිටියි. ඒ අනුව මෙය ඉතා සැලසුම් සහගතව සිදුකොට එහි වගකීම නාවික හමුදාව මත පැටවීමේ උත්සාහයක් තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පසුව අනාවරණය කරගත හැකිවිය.

සින්නආලඩි ප්‍රදේශයේ විද්‍යාගේ මළ සිරුර හමු වූ ස්ථානයට ළඟාවන විටත් වැසි බර කාලගුණය, අඳුරු වටපිටාව ඒ අයුරින්ම දැකබලා ගත හැකිවිය. මළ සිරුර ගැට ගසා තිබූ පඳුරු සහිත අත්තික්කා ගස ළඟ දිගු කාලයක් තිස්සේ කොළ හැලී, බිම එකතු වී ගොඩගැසී තිබිණි. මඩ සහිත බිමේ අපාරධකරුවන් සැරිසැරූ බවට යම් යම් ඉඟි ඉතිරිවී තිබිණි. වෛද්‍යවරයාගේ කටඋත්තරය අනුව මැයි මස 14 වන දින විද්‍යාගේ මළ සිරුර සොයා ගැනීමෙන් ඉක්බිතිව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ ඇයගේ කුසේ කිරි තේ මිලි ලීටර් 100ක ප්‍රමාණයක් පැවති බවයි. මෙවන් දියර ආහාරයක් දිරවීමට පැය 4ක පමණ කාලයක් යන බැව් වෛද්‍යවරයා සහතික කොට තිබිණි.

ඒ අනුව උදෑසන 7.30ට නිවසින් පැමිණි ඇය 7.35 වන විට කිලෝමීටරයක දුරක් ගෙවා මරණය සිදුවූ ස්ථානයට පැමිණ ඇති බවත්, උදෑසන කුසට එකතු කරගත් කිරි තේ දිරවීමට මත්තෙන් එනම් උදෑසන 7.35 ත් 9.00 ත් අතර කාලය තුළ මෙම මරණය සිදුවී ඇති බවත් නිගමනය කෙරිණි. ඒ අනුව එම කාලය තුළ ප්‍රදේශයේ ජංගම දුරකථන මගින් සිදුවූ කතා බස් පිළිබඳ තොරතුරු එක්රැස් කරගැනීමට හැකිවන්නේනම් අපරාධය පිළිබඳ තවත් වැදගත් මානයක් අනාවරණය කරගත හැකිවෙනු ඇති බව පොලිස් පරීක්ෂකවරයා තීරණය කළේය. ඒ අනුව ඔහු තම අවට සිටි නිලධාරීන් ළඟට කැඳවීය.

"ඉස්සරලාම ඔය ගොල්ලො ළඟ තියෙන ඔයාලගෙම හෑන්ඩ් ෆෝන්වලින් කොළඹ අපේ අංශයට ඇමතුම් ගන්න"

"එහෙම කරලා? එක් නිලධාරියෙක් විමසුවේය.

"ඉස්සරලාම මං කීව වැඩේ කරන්නකො. ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, හච් ආදි වශයෙන් තියෙන හැම එකකින්ම කෝල් කරන්නකෝ'"

තම නිලධාරීන්ට එලෙස උපදෙස් දුන්නු පොලිස් පරීක්ෂකවරයා තමා අත ඇති තමාගේ දුරකථනයෙන්ම පළමු ඇමතුම කොළඹ තම කාර්යාලයේ, තම මේසය මත තබා ඇති දුරකථනයට ගත්තේය. කිසිවෙකු විසින් රිසීවරය අතට ගත්තේය.

"මේ කෝල් එක ඔයා ආන්සර් කරපු වෙලාවයි මගේ අංකයයි කොලේක සටහන් කරගන්න. දැන් අපේ අනිත් අයත් ඒ විදිහට ඔය අංකයටම කෝල් කරයි. ඒවත් ඒ ඒ අයගේ අංකයි වෙලාවයි ලියලා ලිස්ට් එකක් හදාගන්න. ඒ හැම‍ කෝල් එකක්ම ආන්සර් කරන්න ඕන. ඒකට කෙනෙක් යොදවන්න"

මේ අනුව තම තමන්ගේ ජංගම දුරකථනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවර දුරකථන අංකයට ලබාගත් ඇමතුම් පිළිබඳ ලැයිස්තුවක් සකස් කිරීමත්, එම ඇමතුම් පිළිබඳ අදාළ දුරකථන සමාගම් මගින් බිල් වාර්තා ලබා ගැනීමත් සිදුවිය. අධිකරණ නියෝග අනුව අදාළ බිල් වාර්තාවන්හි දැක්වෙන අංකවලට අදාළව ඇමතුම් හුවමාරු වූයේ කුමන සංඥා කුළුණු ඔස්සේද යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් කැඳවා ඒ පිළිබඳ විමර්ශනය කිරීමට කොළඹ නිලධාරීන් පිරිසකට උපදෙස් ලැබිණි.

ඒ අනුව අපරාධයට පෙර දින, අපරාධය සිදුවූ දින, අපරාධයට පසු දින එම සංඥා කුළුණු ඔස්සේ හුවමාරු වූ සියලුම ඇමතුම් පිළිබඳ විස්තර ලබාගෙන ඒවා කෙටි ලැයිස්තු ගතකරන ලෙසත්, එහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය ගැනත් පොලිස් පරීක්ෂකවරයා විසින් තම කාර්ය මණ්ඩලයට නිරන්තර උපදෙස් ලබා‍දුන්නේය. එකී කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරගෙන යද්දී යාපනයට ගොස් සිටින නිශාන්ත ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායම කටඋත්තර ලබා ගැනීම්, සාක්ෂි විමසීම්, සැකකරුවන් ගැන වැඩිදුර තොරතුරු සෙවීම් දිගටම කරගෙන ගියේය.

ඒ අනුව ඒ වනවිටත් වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන්ගෙන් අධිකරණ නියෝග මත ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලිස් පරීක්ෂකවරයා බන්ධනාගාරයට යමින් එමින් සිටියේය. මැයි මස 26 වන දින එලෙස වව්නියාව බන්ධනාගාරයට ගිය ඔහු ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එළියට බසිද්දී පිටුපසින් කිසිවෙක් කතා කළේය.

"සර්.. සර් නිශාන්ත සර්"

අඟහරුවාදා-වැදගත් සාක්ෂියක්

රංජිත් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...