පාතාලය මට්ටු කිරීම! | දිනමිණ

පාතාලය මට්ටු කිරීම!

මෙක්සිකෝවේ පාතාල කල්ලි එරට ආණ්ඩුවේ හමුදා සමඟ හරි - හරියට සටන් කළහ. එක කාලයක ආණ්ඩුවේ හමුදා හා පොලීසිය පාතාල කල්ලිවලට පසුබා සිටියහ. පාතාල කල්ලි සමඟ ආණ්ඩු කිරීමේ හැකියාවක් නැත. එක්කෝ පාතාලය ශුද්ධ කළ යුතුය. නැතහොත් පාලක පන්තිය ද පාතාලය සමඟ ඒකාබද්ධ විය යුත්තෝ ය. එහෙත් මහජනයාගේ ඡන්දයෙන් බලයට පත් වූ සාධාරණ ආණ්ඩුවකට එය කළ නො හැකි ය. කුමන තත්ත්වයක් යටතේ වුව මෙක්සිකෝ ආණ්ඩුව පාතාලය මර්දනය කිරීමට තීන්දුවක් ගත්තේ ය. දැන් එය සිදුවෙමින් පවතී. අද එරට පාතාලය සිටින්නේ හමුදාව හා පොලීසිය මඟහැර යන තැනෙක ය. මේ කතාන්දරය ශ්‍රී ලංකාවට ද කදිම ආදර්ශයක් සේ ගත හැකි ය.

දිවුලපිටියේ - දූනගහ නම් ප්‍රදේශය තුළ දී සිදු වූ ගැටුම අද වන විට මුළු රටේ ම සංවාදයට ලක්වෙමින් පවතී. රජය පාතාලයට ඉඩ නොතබන බව ද, පොලීසිය පාතාලයට බය නැති බව ද එම සිද්ධියෙන් පැහැදිලි වෙයි. ආයුධ සන්නද්ධව කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා වෑන් රථයකින් ගමන් කළ දහදෙනෙක් මේ සිද්ධියේ දී අත්අඩංගුවට පත් වූහ. දෙදෙනකු පැනගොස් තිබුණ ද පසුව අත්අඩංගුවට ගෙන ඇත. සිදු කරන්නට ගිය අපරාධය කුමක් ද? දේශපාලනයෙහි සම්බන්ධතාවක් ඊට තිබේ ද යනු ඊළඟ ප්‍රශ්නය යි. මේ ප්‍රශ්නවලට ද විද්‍යාත්මක සාක්ෂි දැනට කෙරෙන පරීක්ෂණවලින් සොයා ගත හැකි ය.

අපරාධයක් සිදුවීමට යන බව පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත. එය ද අප ලැබූ ජයග්‍රහණයක් සේ සඳහන් කළ හැකි ය. මඟ රැක සිටි පොලිස් කණ්ඩායමට පාතාල කල්ලිය වෙඩි තබා ඇත. පොලිස් කණ්ඩායමේ ප්‍රති-ප්‍රහාරවලින් පාතාල කල්ලිය මුළුමනින් ම පාහේ අඩපණ වී ඇත. සියලු දෙනා මෙල්ල කරගැනීමට ලැබීම ද ජයග්‍රහණයකි. පාතාල කල්ලි පොලීසියට ද වෙඩි තබා අලාභ - හානි සිදුකොට පැන යන්නේ නම්; පොලීසියෙන් ද, පොලීසියට ලබාදෙන පුහුණුවෙන් ද පලක් නැත. මීට පෙර එබඳු සිදුවීම් වාර්තා වී ඇත. මෙහි දී පොලීසිය ලබාගෙන ඇත්තේ ජයග්‍රහණයකි. ඒ ගැන ද සතුටු විය හැකිය. මහජනයාට බියෙන් හා සැකයෙන් තොර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බව දැන් තහවුරු වෙයි.

මේ සිද්ධියට ප්‍රාදේශීය දේශපාලකයකුගේ සම්බන්ධයක් ඇතැ’යි හෙළිදරව් වී ඇත. ඔහු ද ඔහුගේ බිරිය ද අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රාදේශීය දේශපාලකයාගේ නිවස ද පරීක්ෂාවට ලක් කර ඇත. මෙයින් එක් කරුණක් පැහැදිලි වෙයි. එනම්; ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක වීමට බාධා නොකරන බව හා වැරැදිකරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන බවය. මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ ඇතැම් අපරාධවලට දේශපාලකයන්ගේ නම් ගෑවී තිබිණි. එම අපරාධ ගැන නියමිත පරීක්ෂණ සිදු වූයේ නැත. එලෙස ම අදාළ අපරාධවලට සම්බන්ධ වැරැදිකරුවන්ට කිසිදු දඬුවමක් ලබා දුන්නේ ද නැත. එදා පැවැතියේ තමාගේ හිත - මිත්‍ර හා පක්ෂපාතී අපරාධකරුවන් ආරක්ෂා කරන ක්‍රමවේදයකි.

දැනට ලැබෙන ආරංචිවලින් පෙනී යන්නේ සැකකරුවන් නිධන් වස්තු කොල්ලයක් සඳහා පැමිණ ඇති බව ය. කිසියම් පිරිසක විසින් නිධානයක් ලබාගෙන ඇති බව ද, එම පිරිසගෙන් නිධන් වස්තු කොල්ලකෑම සඳහා පිරිස ගොස් ඇති බව ද කියැවේ. ගැටුම සිදුවූයේ නම්; ඝාතන කිහිපයක් සිදුවීමට ඉඩ තිබිණි. නිධන් හෑරීම ආණ්ඩුවේ ද සහයෝගය මත සිදුවූයේ රාජපක්ෂ පාලන සමයේ ය. එය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබිණි. එහෙත් මේ ආණ්ඩුවේ නායකයන්ට නිධන් වස්තු පිළිබඳ තණ්හාවක් නැත. ජනාධිපතිවරයා රුසියාවෙන් තමාට ලැබුණ පෞරාණික කඩුකස්තානය ද කෞතුකාගාරයට පරිත්‍යාග කළේ ය. රාජපක්ෂ පාලන සමයේ කෞතුකාගාරයේ කඩු අස්ථාන ගත වූ බවට මහජන මතයක් පැවැතිණි.

පාතාලය මේ තරමට වර්ධනය වූයේ හිටපු පාලකයන්ගේ වැරැදි නිසා යැයි කියන්නට පුළුවන. එක අතෙකින් පාලකයන්ගේ දූෂිත වැඩ සඳහා පාතාලයේ සහයෝගය ලබා ගැනිණි. තව අතෙකින් පාතාල නායකයන් ආරක්ෂා කරන තැනක ඇතැම් පාලකයෝ පසු වූහ. පාතාල සාමාජිකයන් රිමාන්ඩ් ගත කළ විට ඔවුන්ගේ දුක-සැප සොයා බැලීම සඳහා බන්ධනාගාරයට ගිය පාලකයෝ ද සිටියෝ ය. පාතාලය සමඟ එකතු වී ජාවාරම් කරන දේශපාලකයෝ ද අපට සිටියෝ ය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ගැන මහජනයා දැන සිටියහ. ඒවා පාලකයෝ ද දැන සිටියහ. එහෙත් එම සිදුවීම් ප්‍රසිද්ධ රහස් ලෙස යට ගියේ ය. අපරාධ සිදුවීම් යට යන්නේ නීතියේ ආධිපත්‍යයක් නැතිකම නිසා ය.

පාතාල නායකයන්ගේ නම් කෙතරම් ප්‍රසිද්ධ ද? ඔවුන් කෙතරම් බලවත් ද යන්නට උදාහරණ ඕනෑ තරම් තිබේ. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක සිටි පාතාල නායකයකු බන්ධනාගාර රියක් තුළ දී වෙඩි තබා ඝාතනය කැරිණි. එම ඝාතනය මෙහෙයවා තිබුණේ ඉන්දියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික පාතාල නායකයකු බව හෙළිදරව් වී ඇත. ඉන්දියාවේ ජීවත්වන පාතාල නායකයා තවදුරටත් ඝාතන සිදුකිරීමට සූදානමින් සිටින බවට ද තොරතුරු හෙළිදරව් වී තිබේ. මෙරට පාතාලය මට්ටු කිරීමට නම්; සියලු පාතාල නායකයන් අත්අඩංගුවවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතුය. එය අපේ පොලීසියට කළ හැකි ය. පොලිස් විශේෂ කාර්ය බළකාය මෙබඳු සිද්ධි ගණනාවකට සම්බන්ධ වී ඒවා ජයග්‍රහණය කළේ ය.

රටේ පාතාල කල්ලි මර්දනය නොකොට කුඩු ජාවාරම නැවැත්විය නොහැකිය. පාතාලය මර්දනය නොකොට රටේ සිදුවන දරුණු ගණයේ අපරාධ නැවැත්විය නොහැකි ය. ආණ්ඩුව හා පාලකයන් මේ බව හොඳින් වටහාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. මෑතක දී ජනාධිපතිවරයා කියා සිටියේ කුඩු වෙළෙඳාමට අනියමින් සම්බන්ධ වී ඇති දේශපාලකයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බව ය. ජනාධිපතිවරයා මත්කුඩු උවදුරෙන් තරුණ පරම්පරාව බේරාගැනීම සඳහා විශාල කැපවීමක් සිදු කරයි. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් පවා පිහිටුවා තිබේ. පොලීසියට දේශපාලන බලපෑම් නොකොට සිය රාජකාරිය සඳහා නිදහස ලබාදීමෙන් අපරාධ අඩුකර ගත හැකි බව දැන් පෙනී ගොස් තිබේ.

දිවුලපිටිය සිද්ධිය ගැන මහජනයා සතුටු වන බව ඇතැම් මාධ්‍ය වාර්තාවලින් පෙනී යයි. සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම පහසු නැත. එහෙත් අපේ පොලීසියට එය කළ හැකි බව පොලිස් විශේෂ කාර්ය බළකාය පෙන්වා දී තිබේ. පාතාල කල්ලිවලට කොතැනකදීවත් මහජන සහයෝගය ලැබෙන්නේ නැත. තර්ජන නිසා මහජනයාගෙන් තොරතුරු ලබාගැනීම අපහසු වන්නට පුළුවන. එහෙත් මහජනයාට අවශ්‍ය ආරක්ෂාව හා විශ්වාසය ලබා දෙන්නේ නම්; පාතාලය පිළිබඳ ඇත්ත තොරතුරු මහජනයාගෙන් ද ලබාගත හැකි ය. එය පොලිස් විශේෂ කාර්ය බළකායට කළ හැකි බව දැන් පෙනී යයි. මේ බළකාය ගැන මහජන විශ්වාසයක් පවතී. දිවුලපිටියේ - දූනගහ සිද්ධිය පාතාලයට ද හොඳ පාඩමක් හා රතුඑළියක් බව කිව හැකි ය. 

නව අදහස දක්වන්න