විමල්ගේ ප්‍රකාශය වැරැදියි | දිනමිණ

විමල්ගේ ප්‍රකාශය වැරැදියි

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක සහ ගම්පහ අතිරේක

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි කළ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම වැරදි ප්‍රකාශයක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යක්කල (ඊයේ 25) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා,

මම ජාතික සංවිධායක ලෙස පක්ෂයේ මහලේකම් වරයාගෙන් විමසා සිටිය, මධ්‍යම කාරක සභාව මඟින්වත් නොගත් තීරණයක් ප්‍රකාශයට පත්කරල තිබෙනවා. මෙය කුමක්ද කියල? මහලේකම්වරයා කියා සිටියා එවන් තීරණයක් ගෙන නැති බව. එනිසා විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කර ඇති බෝම්බ ගැසීමේ ප්‍රකාශය ඇත්තටම වැරදි ප්‍රකාශයක්. මෙය ජාතික නිදහස් පෙරමුණේ මතයක් නොවෙයි. ජාතික නිදහස් පෙරුමණේ තීන්දුවකුත් නොවෙයි. එය එතුමාගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්.

මේ සාමකාමී රටක පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ අවුලක්. ප්‍රජාතන්ත්‍රවාදයට අවුලක් වෙන මේ ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා විදියට ප්‍රකාශ කරනව මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. මෙය පක්ෂයේ ප්‍රකාශයක් නොවන බව.

ඒ වගේම අපි මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රකාශය ගැන අපේ කනගාටුව පිළිගන්නා ලෙසට. මේ ප්‍රකාශය පක්ෂයේ ප්‍රකාශයක් නොවෙයි.

ඒ වාගේම අපි ගත්තොත් රටේ මේ අතවනන්නෙ මොකටද? නැවතත් ත්‍රස්තවාදී ක්‍රියා සඳහායි. අපි අවුරුදු අටක් සාමාජිකයින් එකතුකර ගනිමින් මැතිවරණවලට ඉදිරිපත්ව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්ව පක්ෂය ගොඩනඟා තිබෙනවා. මෙය සන්නද්ධ ව්‍යාපාරයකට යන පක්ෂයක් නොවෙයි. ත්‍රස්තවාදී ක්‍රියා කරන පක්ෂයක් නොවෙයි. මේ ප්‍රකාශය ත්‍රස්තවාදී ක්‍රියාවලට අතවැනීමක්.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පියසිරි විජේනායක මහතා මෙසේ පිළිතුරු දෙනු ලැබීය.

ප්‍රශ්නය - මෙය පක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් නේද?

පිළිතුර - මෙය අභ්‍යන්තර කරුණක්. නායකයා කළ ප්‍රකාශය ජාතියට හානියක් නම් එය නිවැරදි කිරීම ජාතික සංවිධායක ලෙස මගේ මූලික කටයුත්තක්. මේ පක්ෂය ගොඩනැගූ සාමාජිකයෙකු ලෙසත් මගේ වගකීමක්. ඒ වාගේම මේ සම්බන්ධයෙන් පක්ෂය මධ්‍යම කාරක සභාවේදීත් ගැඹුරින් සාකච්ඡා කරල ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ලබනවා.

ප්‍රශ්නය - විමල් වීරවංශ මහතා මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?

පිළිතුර - මෙය ජාතියෙන් සමාවගත යුතු කරුණක්. මෙය පක්ෂය විසින් එයාට තීරණය කරයි ඉදිරි මධ්‍යම සභා හා දේශාපලන මණ්ඩලයේදී. පක්ෂයක නායකයෙකු අතින් බැරිවීමකින් හෝ වරදක් වී නම් හෝ වෙනත් අර්ථ ගන්වන කරුණක් වී නම් විමල් වීරවංශ මහත්තය මේ ගැන සමාවගත යුතුමයි. ඒ ගැන අපි ජනතාවට හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කළ යුතුයි.

ප්‍රශ්නය - ඔබතුමාලගෙ පක්ෂ නායකයා ත්‍රස්තවාදයකට නම් අතවනන්නේ, එවන් නායකයෙකු සමඟ ඔබලාට තවදුරටත් ඉදිරියට‍ යා හැකිද?

පිළිතුර - ප්‍රකාශ නිකුත් කරනවා. ඒ වගෙ අඩුපාඩු වෙනවා. එවැන්නක් නිවැරදි කර ගැනීම තමයි පක්ෂයක දේශපාලන මණ්ඩලයේ වගකීම. අඩුපාඩුවක් වැරැද්දක් වුනාම එය නිවැරදි කරනවා. නමුත් මෙය රටට කීම ඒක වගකීමක්.

ප්‍රශ්නය - මෙලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන පක්ෂ නායක විමල් වීරවංශ මහත්තය සමඟ කතා කළාද?

පිළිතුර - මේ ගැන ප්‍රකාශ වුනේ ඊයේයි. අද අපි මෙහි නිවැරදි කිරීම කරනවා. ඊට පස්සෙ මේ සම්බන්ධයෙන් කතා බහකොට ඉදිරි පියවර ගනු ලබනවා.

නව අදහස දක්වන්න