අපරාධකාරයන් පෝරකයට | දිනමිණ

අපරාධකාරයන් පෝරකයට

ජනාධිපතිවරයා විසින් නම් කරන ලද දිනක නම් කරන ලද ස්ථානයකදී ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මැරීමට අදාළ තීන්දුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අත්සන් කරන ලදී. එම අවස්ථාවේදී අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි.

ශිවලෝගනාදන් විද්‍යා ඝාතනයට ලක්වන්නේ 2015 මැයි මස 13 දාය. මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගකීම පවරනු ලබන්නේ මැයි මස 19 දාය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම, අධිකරණ ක්‍රියාවලිය සැකකරුවන්ට පක්ෂග්‍රාහීවීම ආදිය හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125වන වගන්තිය අනුව අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කොට සියලුම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් පවරාගනු ලබන්නේ මැයි මස 21 දාය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ යාපනය මහාධිකරණයේදී දෛනිකව විභාගයට ගැනුණු පළමු නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ 2017 සැප්තැම්බර් 27 දාය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

එදින පෙරවරු 10.00ට පමණ මෙම නඩුවේ කටයුතු ආරම්භ වූ අතර එහි කටයුතු දහවල් 1. 20ට පමණ අවසන් විය. දහවල් 12.35ට පමණ සැකකරුවන් නව දෙනකුගෙන් අපරාධකරුවන් හත් දෙනකුට මරණ දඬුවම ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සිදුවුවද, පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගලාගෙන යද්දී විත්තිකරුවන් 9 දෙනකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර විමර්ශන කටයුතු සිදුකෙරිණි. පළමු විත්තිකරු-පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, දෙවන විත්තිකරු-පූබාලසිංහම් ජෙයක්කුමාර්, තෙවැනි විත්තිකරු-පූබාලසිංහම් තවක්කුමාර්, හතරවැනි විත්තිකරු-මහාලිංගම් ශෂීන්ද්‍රන්, පස්වැනි විත්තිකරු-තිල්‍ලේනාදන් චන්ද්‍රහාසන්, හයවැනි විත්තිකරු-සිවදේෂන් දුෂාන්තන් (පෙරියම්බි), හත්වැනි විත්තිකරු-පලනි රූපසිංහම් කුගදාසන්, අටවැනි විත්තිකරු-ජෙයතරන් කෝකිලන්, නවවැනි විත්තිකරු-මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් යන පිරිස එකී නවදෙනා වූහ.

වවුනියාව බන්ධනාගාරයේදී හමුවූ මොහොමඩ් ඉෆ්ලාර් විසින් කොළඹ, අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී අනාවරණය කළ පරිදිම මෙම ඝාතනය මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් යන අය සැලසුම් කරන ලද බැව් පරීක්ෂණවලදී තහවුරු විය. ඒ අනුව දෙවන, තෙවන, හතරවන, පස්වන, හය, අට සහ නමවන විත්තිකරුවන් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් බව වවුනියාව මහාධිකරණ විනිසුරු බා‍ලේන්ද්‍ර ශෂී මහේන්ද්‍රන් මහතා පළමුව ප්‍රකාශයට පත්කළේය. එම තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්‍ලේ අනෙකුත් සමාජිකයින් වන යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන මහත්වරුද ඒකමතිකව අනුමත කළහ.

පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරන ලදී. එබැවින් මෙම නඩු තීන්දුවේදී අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් යන අය සහ පලනි රූපසිංහම් කුගදාසන් යන දෙදෙනාට විරුද්ධව චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අ‍පොහොසත් වී යැයි තීරණය කළ අධිකරණය ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කළේය. මෙහිදී යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මෙම ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු ස්විස් කුමාර් බව කිසිදු සැකයකින් තොරව තහවුරු වන බවයි. පැහැරගැනීමට තැත් කිරීම, අපයෝජනයට තැත් කිරීම, ඝාතනය සැලසුම් කිරීම, පැහැර ගැනීම, අපයෝජනය කිරීම, ඝාතනය කිරීම, ‍පොදු අරමුණකින් යුතුව අපරාධයක් සිදු කිරීම යන චෝදනාවලට පළමු සහ හත්වන විත්තිකරුවන් හැර අනෙක් විත්තිකරුවන් හත්දෙනා වරදකරුවන් බවද මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේය.

අප විසින් මීට පෙර සාකච්ඡා කරන ලද පරිදි උදයසූරියන් සුරේෂ්කරන් යන අය සහ නඩරාජා කෝනේෂ්වරන් (මාපිල්‍ලේ) නමැත්තා දෑසින් දුටු සාක්ෂි අනුව සහ පාසල් සිසුවකු වන බාලචන්ද්‍රන්ගේ සාක්ෂි මෙම තීන්දුවට ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට තිබුණි. බාලචන්ද්‍රන් නමැති සිසුවා ලඳු කැලෑව මැද්දෙන් වැටී ඇති පාරේ පාපැදියේ නැඟී පාසලට යමින් සිටියදී පාදයේ සෙරෙප්පුවක් බිමට වැටී ඇත. එය ගැනීමට යන අවස්ථාවේදී කැලෑව තුළින් කෙඳිරිලි ශබ්දයක් ඇසුණු බවත්, බකමූණකු කෑගසන ආකාරයෙන් විලාප දෙන ශබ්දයක් ඇසුණු බවත් පවසා ඇත. අනෙක් අතට එම අවස්ථාවේදී ඔහු දෙවන විත්තිකරු දැක තිබේ. මේ පිළිබඳව පසුව විදුහල්පතිවරයාටද සිසුවා විසින් දැනුම්දී තිබිණි. ඒ අනුව දැරිය ඝාතනය කරන අවස්ථාවේ මෙම සිසුවා එම ස්ථානයෙන් ගිය බවට ‍පොලිස් පරීක්ෂණ වලින් තහවුරු කෙරිණි.

උදයසූරියන් සුරේෂ්වරන් යනු මාපිල්ලෙයිගේ කටඋත්තරය අනුව 10 වැනි විත්තිකරු ලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාය. නීතිපතිවරයා විසින් ඔහු කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කර රජයේ සාක්ෂිකරුවකු බවට පත් කළේය. නඩරාජා කෝනේෂ්වරන් යන අයද දැරිය ඝාතනය කරන අවස්ථාවේ සිටි අයෙකි. විද්‍යා සිසුවිය පාසලට යද්දී ඇය පැහැර ගැනීමට දෙවන, තෙවන, හතරවන සහ හයවන විත්තිකරුවන් සහභාගි වූ බව තහවුරු විය. ඔවුන් සමඟ උදයසූරියන් සුරේෂ්වරන් සහ නඩරාජා කෝනේෂ්වරන් යන දෙදෙනාද සිට ඇත. දැරියට අතවර කරන බව මේ දෙදෙනා නොදැන සිටි බව පැවසෙන අතර දැරිය, අසල තිබූ පාළු නිවසකට රැගෙන ගොස් අතවර කර ඝාතනය සිදුකර ඇත. එම සිද්ධිය රූගත කර තිබෙන බවද අධිකරණයේදී අනාවරණය විය. එම වීඩියෝ පටය සොයා ගැනීමට හැකියාවක් නොවුණද, එය විදේශයකට අලෙවි කළ බවට කරුණු තහවුරු කර ගැනීමට හැකිවී තිබුණි.

මෙහිදී යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා තම තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේ දෙක, තුන, පහ සහ හය යන විත්තිකරුවන් හතරදෙනා සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනය කර ඝාතනයට ලක්කර තිබෙන බවය. ඔවුන් මෙම ඝාතනය නාවික හමුදාව විසින් කරන ලද්දක් බවට ඔප්පු කිරීමට සූක්ෂ්ම ලෙස උත්සාහ කළ බවත්, ඔප්පු වූ සාක්ෂිවලට අනුව එම අපරාධය සිදු වූ දිනයේදී කිසිදු අයකු කිසිදු හමුදා සෙබළකු එම ප්‍රදේශයේ දැක නොමැති බවට අනාවරණය වී ඇති බවත් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේය. මෙම ඝාතනය මෙම විත්තිකරුවන් සිවුදෙනා විසින් කරන ලද බවට මින් තහවුරු වන බවත්, අපරාධයක් සිදුකර එය සැඟවීමට ස්විස් කුමාර් ඇතුළු පිරිස සැලසුම් කර ඇති බවත්, මෙම ඝාතනය සිදු නොකළ බවට තහවුරු කිරීම සඳහා සිසුවියගේ අවමංගල්‍ නිවෙසටද මෙම විත්තිකරුවන් සහභාගි වී ඇති බවත් මහාධිකරණ විනිසුරුවරයා විසින් සිහිපත් කරන ලදී.

ඝාතන සිද්ධියේ අපරාධකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවුරුද්දයි මාස හතක් වැනි කාලයක් තුළදී අනාවරණය කරගත් බවත්, මෙම කටයුත්ත විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරී සිසිර තිසේරා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන දෙදෙනාගේ කැපවීම අගය කරන බවත්, විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එදින තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේදී ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා කියා සිටියේ මෙම විත්තිකරුවන් සිදුකර ඇත්තේ මරණ දඬුවමක් ලබාදිය යුතු වරදක් බවත්, එබැවින් මෙම විත්තිකරුවන් හත්දෙනාටම මරණ දඬුවම නියම වන බවත්, මරණ දඬුවමට විරුද්ධව යමක් ප්‍රකාශ කිරීමට ඇත්නම් පවසන ලෙසත්ය. එහිදී විත්තිකරුවන් කියා සිටියේ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට විරුද්ධව ගොතන ලද්දක් බවත්, ඒ නිසා නිදහස් කරන ලෙසත්ය. එහෙත් ඒ වන විට විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු වී ඇති බැවින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා විත්තිකරුවන්ට එරෙහි චෝදනා ප්‍රකාශ කර දඬුවම් නියම කළේය.

දෙවන විත්තිකරුට ‍පොදු අරමුණින් යුතුව පැහැර ගැනීම සහ අපරාධයක් සිදු කිරීම, අපයෝජනය කිරීම, ඝාතනය කිරීම යන චෝදනා යටතේ මරණ දඬුවම ලබාදුන් අතර, බරපතළ වැඩ සහිතව වසර තිහක සිරදඬුවමක්ද නියම කෙරුණි. රුපියල් 40,000ක දඩ මුදලක් නියමකර එය නොගෙවන්නේ නම් මාස හතරක සිර දඬුවමක්ද නියම කෙරිණි.

ඊට අමතරව විද්‍යා සිසුවියගේ මවට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය. තෙවැනි විත්තිකරුට චෝදනා හයක් යටතේද, හතරවැනි විත්තිකරුට චෝදනා නමයක් යටතේද, පස්වැනි විත්තිකරුට චෝදනා හයක් යටතේද, හයවැනි විත්තිකරුට චෝදනා හයක් යටතේද, අටවන විත්තිකරුට චෝදනා නමයක් යටතේද, නමවැනි විත්තිකරුට චෝදනා නමයක් යටතේද දඬුවම් නියම කෙරුණි. මරණ දඬුවමට අමතරව, විත්තිකරුවන් හත්දෙනාට එක් අයෙකුට බරපතළ වැඩ ඇතිව වසර 30 බැගින් සිර දඬුවමක්ද නියම කෙරිණි. එමෙන්ම ඝාතනයට ලක්වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මවට එක් විත්තිකරුවකු රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ගෙවන ලෙසද මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්ට නියෝග කෙරිණි. හතරවැනි සහ නවවැනි විත්තිකරුවන්ට රුපියල් 70,000 බැගින් දඩ මුදලක්ද නොගෙවන්නේ නම් මාස අටක සිර දඬුවම්ද නියම කෙරුණි. අනෙක් විත්තිකරුවන් පස්දෙනාට රුපියල් හතළිස්දහස බැගින් වූ දඩ මුදලක්ද නියම කෙරුණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නම් කරන ලද දිනක නම් කරන ලද ස්ථානයකදී ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මැරීමට අදාළ තීන්දුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අත්සන් කරන ලදී. එම අවස්ථාවේදී අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. යාපනය, කයිට්ස්, පුංකුඩිතිව් 09 වන පටුමඟ ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කර ඝාතනයට ලක්වූ ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තීන්දුව පිටු 332 කින් යුතුවිය.

මෙම නඩුවට සාක්ෂිකරුවන් 53 දෙනෙකු නම් කර තිබිණි. ඒ අතරින් නඩුවට ප්‍රමුඛවූ සාක්ෂි 43ක් සැලකිල්ලට ගන්නා ලදී. තීන්දුව ලබා දීමට කෙටි වේලාවකට පෙරදී එනම් විත්තිකරුවන්ගෙන් නිදහසට කරුණු විමසන අවස්ථාවේදී විද්‍යා සිසුවියගේ මව වන ශිවලෝගනාදන් සරස්වතී මහත්මිය අධිකරණය තුළදී සිහිසුන් වූවාය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරු වන නිශාන්ත් නාගරත්නම්, ලක්සි ද සිල්වා, මාලිනී විග්නේෂ්වරන් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. පළමු, දෙවැනි, තුන්වැනි, පස්වැනි සහ හයවැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ සහ නීතීඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුද, පස්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපතිපිල්‍ලේ මහතාද, හතරවැනි, හත්වැනි, අටවැනි සහ නවවැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරන් මහතාද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන් රජයේ නීතීඥ විග්නරාජා මහතාද පෙනී සිටියහ. තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු දිනයේ යාපනය මහාධිකරණය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබුණි.

“මේ අපරාධකාරයින්ගෙන් මට සත පහක්වත් වන්දි විදිහට එපා. මොකද මගේ දුව නැවත ලැබෙන්නේ නැහැනේ. වෙන කිසිම අම්මා කෙනකුට මට අත්වූ ඉරණම අත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං විඳින දුක වෙන අම්මා කෙනකුට විඳින්න ලැබෙන්න එපා.” ඝාතකයින්ට දඬුවම් ලැබීමෙන් ඉක්බිතිව ශිවලෝගනාදන් සරස්වතී මව පවසා සිටියාය.

ඇය එහිදී මෙසේද සඳහන් කළාය.

“දුවගේ මිනිය ගේන්න කලින් මේ අය කීප දෙනෙක් අපේ ගෙදරට ආවා. ගියා. ඒත් අපි හිතුවේ නෑ ඔවුන් මේක කළේ කියලා. දුව හදපු එළුවා ගාවට ඔවුන් ගියාම එළුවා ඒ එක්කෙනකුගේ නළලට ඇනලා තිබුණා. ඒ සැකකාරයාගේ නංගි කෑ ගහගෙන ආවා අපේ අයියට එළුවා අනිනවා කියලා. මම ගිහින් ඇහුවා ඇයි දුවගේ එළුවා ගාවට ගියේ කියලා. මෙයාලා ඉන් පස්සේ එළුවට කෝටුවලින් ගැහුවා. මම ඔවුන්ට බැන්නා එළුවට ගහන්න එපා කියලා. විද්‍යාගේ අයියා සැරෙන් සැරේ අසනීප වෙද්දි එයාගේ ඔළුව අතගගා සනසන්නත් සැකකාරයෝ ඇවිත් හිටියා. ස්විස් කුමාර් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නෑ. ඒත් එයත් මළගෙදර ඇවිත් තිබුණා.

විද්‍යා මැරුණු කණස්සල්ලට විද්‍යාගේ තාත්තාට කතා කර ගන්න බැරිව ගියා. තවම එයාට හරියට කතා කරන්න බැහැ. මේ සිද්ධිය කයිට්ස් පොලිසියෙන් හරියට විමර්ශනය කළේ නෑ. මිනිස්සු විරෝධතා දක්වද්දි රහස් පොලිසියට විමර්ශන බාර දීලා තිබ්බා. රහස් පොලිසියේ නිශාන්ත සිල්වා මහත්තයා, රහීම් මහත්තයා ඇතුළු කට්ටියක් ඇවිත් විමර්ශන පටන් ගත්තා. නිශාන්ත මහත්තයා පුදුම විදියට මේකට මහන්සි වුණා. සල්ලිවලට යට වුණේ නෑ. එයා මේ ගමේ හැම තැනම ඇවිදලා සාක්කි හෙව්වා. අවුරුදු දෙක්ක පුරාවට රහස් පොලිසිය මහන්සි වුණා.”

රටම හැඬවූ විද්‍යා ඝාතනයේ අපරාධකරුවන්ට මේ වන වි‍ට නිසි දඬුවම් ලැබී තිබේ. එසේම එකී අපරාධකරුවන් ආරක්ෂා කිරීමටත්, පරීක්ෂණ නොමඟ යැවීමටත් ක්‍රියා කළ එවක ප්‍රදේශය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට කයිට්ස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා දක්වා පොලිස් නිලධාරීන්ද, ඊට සහාය වුණු තවත් පිරිසක්ද, තවමත් නිදැ‍ල්ලේය.

ඔවුන් සම්බන්ධයෙන්ද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. අකලට මිහිදන් වූ විද්‍යාට සාධාරණයන් ඉටු කළ හැක්කේත්, යළි මෙවන් සාහසික අපරාධ සිදුනොවිය යුතු තැනට වගබලා ගත හැක්කේත් එවිටය.

කටුගෙයින් පැන්නූ කඩුවේ කතාව සඳුදා සිට කියවමු

රංජිත් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...