හරක් ලොරිය මිනී මරයි! | දිනමිණ

හරක් ලොරිය මිනී මරයි!

අනුරාධපුරය - පුත්තලම මාර්ගයේ ධාවනය වූ හරක් පටවාගත් ලොරියක් තරුණියන් දෙදෙනකු මරුමුවට පත් කර තිබේ. මියගිය දෙදෙනා ම උපාධිධාරීහු වෙති. එක් තැනැත්තියක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරයි. අනෙක් තැනැත්තිය ගුරුවරියක ලෙස සේවය කරයි. දෙදෙනා සහෝදරියන් වීම සිද්ධියේ අනුවේදනීය බව වැඩිකර තිබේ. දෙදෙනා අනතුර සිදු වූ උදෑසන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අතර; විරුද්ධ පැත්තෙන් ධාවනය වූ හරක් ලොරිය තවත් කැබ් රථයක ද ගැටී යතුරු පැදිය යට කරගෙන ගොස් තිබේ. ලොරි රථය අධික ‍වේගයෙන් ධාවනය වී ඇති බව කියති.

වටිනා ජීවිත දෙකක් විනාශ වී ඇත. දේපොළ හානි ද සිදු වී ඇත. සම්පූර්ණ වරද ලොරි රථ රියදුරා ළඟ යැයි බැලූ - බැල්මට පෙනී යයි. හරක් පටවාගත් ලොරිය මේ තරම් වේගයකින් ධාවනය වූයේ ඇයි? එකවර ම හැඟී යන්නේ මෙය හොර හරක් ලොරියක් බව ය. එහෙත් පසුව කරන ලද පරීක්ෂණවල දී හෙළිදරව් වී ඇත්තේ; මෙය අවසර පත්‍ර සහිතව එළහරක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් බව ය. ලොරි රථය අධික වේගයෙන් ධාවනය වී ඇත්තේ පොලිස් රියක් ලොරිය පසු පස හඹා එමින් තිබූ නිසා යැයි ද කියති. මෙය හරියට ම සරා ගොයියාගේ කතාව වැනි සිද්ධියක් බව පෙනී යයි.

මහාමාර්ගයෙහි නිල රාජකාරියෙහි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ලොරි රථයට නවත්වන ලෙස සංඥාවක් ලබා දී ඇත. එහෙත් ‍ලොරි රථ රියැදුරා එම අණ නොතකා රථය වේගයෙන් ධාවනය කර තිබේ. මේ ගැන සැක සිතූ පොලිස් නිලධාරීන් කැබ් රථයකින් ලොරිය හඹා ගොස් තිබේ. අනතුර සිදු වී ඇත්තේ මේ අතරය. සැක කටයුතු දේවල් පරීක්ෂා කිරීම පොලීසියේ රාජකාරියකි. පොලිස් අණ නොතකා ධාවනය වන රථයක් ගැන තවදුරටත් සැක ඇතිකර ගත හැකි ය. එහෙත් අනතුර සිදුවීමෙන් පසු පොලිස් රථය මඟහැර ගොස් තිබේ. එය බලවත් වරදකි.

ලොරි රථය පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් රාජකාරිය හරි හැටි සිදුකරන්නේ නම්; පළමුව ලොරි රථ රියැදුරා අත්අඩංගුවට ගත යුතුය. දෙවනුව අනතුරෙහි තුවාලකාරයන් රෝහල වෙත යැවීමට කටයුතු සිදුකළ යුතුය. පොලිස් නිලධාරීන් ඒ කිසිවක් ගැන නොබලා ආපසු ගොස් තිබේ. ඔවුන් ලොරිය පසුපස හඹා ගියේ කවර හේතුවකටදැ’යි ප්‍රශ්න කරන්නට සිදුවේ. අනතුරක් සිදු වූ විට මහජනයා කලබල වන බව සැබෑ ය. පොලීසියේ රාජකාරිය වන්නේ එබඳු කලබලවලට මුහුණ දී තත්ත්වය සන්සුන් කොට නීතිමය ක්‍රියාදාමයට අවශ්‍ය පසුබිම සකස් කර දීම ය. මෙතැන දී ඒ කිසිවක් සිදු වී නැත.

සිද්ධියට සම්බන්ධ රියැදුරා හිතුවක්කාරී තැනැත්තකු යැයි කියන්නට පුළුවන. එක අතෙකින් ඔහු පොලීසියේ සංඥාවට අනුව තම රථය නවත්වා නැත. තව අතෙකින් අධික වේගයෙන් රථය ධාවනයකොට මාරාන්තික අනතුරක් සිදුකර තිබේ. අවසර පත්‍ර ඇති කෙනකු හරක් ප්‍රවාහනයට බිය වන්නේ ඇයි? ඔහු පොලීසිය සමඟ විහිළු කිරීමට උත්සාහ කළා ද? රියැදුරකුට වගකීම් විරහිත ලෙස රථය ධාවනය කිරීමේ හැකියාවක් නැත. එක අතෙකින් ඔහු නීතිගරුක විය යුතුය. තව අතෙකින් ඔහු තම රාජකාරිය පරෙස්සමෙන් ඉටුකළ යුතුය. ඒ එකක්වත් මෙතැනදී සිදු වී නැත. රියැදුරා සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුව තිබේ.

මේ සිද්ධියේ දී මහජනයා බෙහෙවින් කැලඹී ඇති බව වාර්තා වී ඇත. ඔවුන් ලොරි රථ රියැදුරාට අමානුෂික ලෙස පහර දී ඇත. ලොරි රථයට ගිනි තැබීමට උත්සාහ දරා ඇත. පොලීසිය සමඟ ගැටුමක් ද ඇති කරගෙන ඇත. මේ එකක්වත් යහපත් දේවල් නොවේ. සිදු වී ඇත්තේ අපරාධයක් බව සැබෑවකි. එම අපරාධයට දඬුවම් ලබා දිය යුත්තේ නීතිය මගින් ය. මහජනයා නීතිය අතටගැනීමටත්, දඬුවම් තීරණය කිරීමටත් ගියහොත් සිදුවන්නේ බලවත් අකරතැබ්බයකි. මෙබඳු අනතුරුවලදී මහජනයා කලබල කිරීම නිසා නීතියට අවශ්‍ය සාක්ෂි විනාශ වන්නට පුළුවන. තවත් විනාශයන් සිදුවන්නටත් පුළුවන.

ශ්‍රී ලංකාව හැඳින්විය හැක්කේ රථවාහන අනතුරු බහුල රාජ්‍යයක් හැටියට ය. දිනකට මාරාන්තික රිය අනතුරු පහක් - හතක් අතර ප්‍රමාණයක් සිදුවන බව වාර්තා වී ඇත. බොහෝ අනතුරුවලට හේතුව නොසැලකිල්ලය. සමහරු මාර්ග නීති නොසලකති. සමහරු පදිකයන් හා අනෙකුත් වාහන නොසලකති. මහාමාර්ගයකට ගියහොත් දකින්නට ලැබෙන්නේ පුදුමාකාර තරගයකි. අනෙකා පරයා ඉදිරියට යෑමේ පුදුම ආශාවක් අපේ රියැදුරන් ළඟ පවතී. මේ තරගය නිසා ඔවුනට ලැබෙන ප්‍රතිලාභයක් ද නැත. අපේ රියැදුරන්ගේ පමණක් නොව; පදිකයන්ගේ පවා මානසික තත්ත්වය යහපත් කළ යුතුව තිබේ.එහෙත් එය කළ හැකි මාර්ගය කවරේ ද යනු පැහැදිලි නැත.

මේ අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරාගේ මානසික තත්ත්වය ද පරීක්ෂා කර බැලීම වැදගත් ය. ඔහු මත්පැන් පානයකොට රිය ධාවනය කළ බවක් හෙළි වී නැත. රියැදුරා පොලිස් නිලධාරීන්ට වෙට්ටුවක් දමා යන්නට ඇතැ’යි සිතන්නට පුළුවන. පොලිස් නිලධාරීන් නොසලකා හැරීම ද වරදකි. ලොරි රථ රියැදුරා පොලිස් නිලධාරීන් ගැන සැලකිල්ල යොමුකොට රථය නවතා ‘ලයිසන්’ ඉදිරිපත් කළේ නම්; මේ කිසිදු අනතුරක් සිදුවන්නේ නැතැ’යි කිව හැකි ය. පොලීසිය ඔහු පසුපස හඹා ගියේ ද රියැදුරාගේ හිතුවක්කාරී ක්‍රියාව නිසාය. එක අතෙකින් රියැදුරන් තම වගකීම් ගැන බැලිය යුතුය. තව අතෙකින් පොලිස් නිලධාරීන් ද තම වගකීම් ගැන බැලිය යුතුය.

අපේ සමාජය වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ සැලැකිය යුතු කාලයක සිට ය. සමහරු සමාජය ගැන පමණක් නොව තමන් ගැනවත් කල්පනා නොකොට යම් - යම් දේවල් සිදු කරති. බොහෝ අය සිහියෙන් වැඩ කරන බවක් පෙනෙන්නට නැත. එබඳු සමාජයක් ගමන් කරන ඉලක්කය සිතාගත නොහැකි ය. ඉහත අනතුරත් ඊට සාක්ෂියකි. 

නව අදහස දක්වන්න