රාජ්‍ය ගිණුම්කාරක සභාව-පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්යක්ෂම වීම ජයග්‍රහණයක් | දිනමිණ


 

රාජ්‍ය ගිණුම්කාරක සභාව-පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්යක්ෂම වීම ජයග්‍රහණයක්

ස්වර්ණා විජේකෝන්

ඉතිහාසයේ කිසිදු යුගයක නොවූ තරම් රාජ්‍ය ගිණුම්කාරක සභාව (COPA) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) යන කාරක සභාවන් බල ගන්වා ඇති අතර, අද වන විට එම කාරක දෙක ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම අටවන පාර්ලිමේන්තුව ලද ජයග්‍රහණයක් බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසිය.

රාජ්‍ය ගිණුම්කාරක සභාව (COPA) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) යන කාරක සභාවන්ගෙන් ඉදිරිපත් වන වාර්තා ක්‍රියාවට නැංවීම පිළිබඳව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවේදී කතානායකවරයා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් කතානායකවරයා මෙසේද පැවසීය.

මෙම කාරක සභාවන් කැපවීමෙන් යුතුව ස්වකීය වගකීම ඉටු කරමින් සිටින අතර මේ වන විට රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) මගින් වාර්තා 3 ක් සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) මඟින් වාර්තා 5 ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්ව තිබෙනවා.

මහජන මුදල් අපයෝජනය නාස්තිය හා අකාර්යක්ෂම භාවිතය පිළිබඳ අවස්ථා ගණනාවක් මෙම වාර්තා මඟින් අනාවරණය කර තිබීම තම බෙහෙවින් අගය කරනවා.මෙම පාර්ලිමේන්තු සැසිවාරය තුළ එක්සත් ජනපද ආධාර වැඩ සටහන (USAID) හා එංගලන්තයේ වෙස්මිනිස්ටර් පදනම හරහා වැඩමුළු ගණනාවක් පවත්වා මෙම ක්‍රියාවලීන් පිළිබඳ මන්ත්‍රීවරු දැනුවත් කර ඇති බවත් යාන්ත්‍රණය සැකසීමේ දී අන්තර් ජාතික සහයෝගය ද ලබා ගත හැකියි.

මෙම සාකච්ඡාව සදහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති (COPA) ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති සුනිල් හදුන්නෙත්ති යන මැතිඇමැතිවරුන්ට අමතරව පාර්ලිමේන්තු මහලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, විගණකාධිපති, නීතිපති ඇතුලු මෙම විෂයයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පසුගිය දශක ගණනාවක් මෙම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ නමුත් කිසිදු පියවරක් ගැනීමට කටයුතු නොකිරීම පාප කර්මයක්.පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම වාර්තා සඳහා ඊළඟ පියවර ගැනීම භාණ්ඩාගාරය විසින් සිදු කළ යුතුයි කියා යෝජනා කරනවා.

මෙහිදී අදහස් දැක්වූ මුදල් ඇමති මංගල සමරවීර මහතා හා රාජ්‍ය අැමැතිවරයා සඳහන් කෙළේ මෙය ඉතා බැරෑරුම් කාර්යයක් වුවත්, එය ක්‍රියාත්මක කිරිමේ දී ලෝකයේ දියුණු රටවල පවතින ක්‍රමවේදයන්ද අධ්‍යයනය කර ඒ අනුව ක්‍රියා කිරීම යෝග්‍යයි.

පූර්ණ බලැති යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව විගණකාධිපතිවරයා හා නීතිපතිවරයා කරුණු දැක්වූ අතර සාකච්ජාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද දීර්ඝ ලෙස අදහස් ප්‍රකාශ කළ අතර, රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාදාමයක් ඇතත් පසුගිය අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන්නේය. 

නව අදහස දක්වන්න