සයිටම් විසැඳුම! | දිනමිණ

සයිටම් විසැඳුම!

සයිටම් ගැටලුව විසැඳීමට අවශ්‍ය ධනාත්මක පසුබිමක් සකස් වෙමින් පවතී. පළමුවරට වෛද්‍ය සංගමය රජයේ යෝජනා සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇත. එහෙත් තවදුරටත් අපැහැදිලි තැන් ඇති බව ද, ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බව ද වෛද්‍ය සංගමය කියා සිටී. සයිටම් විරෝධය මූලික වශයෙන් ගොඩනැඟී ඇත්තේ වෛද්‍යවරුන්ගේ සංගමය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ඔස්සේ යැයි කියන්නට පුළුවන. මේ පාර්ශ්ව දෙකම මුලින් පසු වූයේ ෂයිලොක්ගේ න්‍යාය තුළ යැයි කියන්නට පුළුවන. වහා ම සයිටම් අහෝසි කරනු යන්න ඔවුන්ගේ මතය වී තිබිණි. රජයේ යෝජනාවල සඳහන් වන්නේ එහි අයිතිය වෙනස්කොට ස්වාධීන ආයතනයක් හැටියට මෙය පවත්වාගෙන යෑම සුදුසු බව ය.

වෛද්‍ය සංගමයේ මතය වී ඇත්තේ මේ ආයතනය පවත්වාගෙන යන්නේ නම්; එහි ප්‍රමිතිය උදෙසා වෛද්‍ය සභාවේ අනුමැතිය ගත යුතු බව ය. තව ද එය රාජ්‍ය ආයතනයක් හැටියට පවත්වාගෙන යා යුතු බව ය. මීට අමතරව එම සංගමයේ ඉල්ලීම් වන්නේ සයිටම් ආයතනයේ කළමනාකාරිත්වය ගෙන ඇති වැරැදි පියවර සම්බන්ධයෙන් කිසියම් සොයා බැලීමක් සිදු කළ යුතු බව ය. කෙසේ වුව රජයේ යෝජනාවලිය අවසන් තීරණයක් හෝ අවසන් වාර්තාවක් හෝ නොවන බැවින් විවිධ පාර්ශ්වවලට මේ සම්බන්ධයෙන් සංවාද පවත්වා නිවැරැදි තීරණයකට එළැඹිය හැකි ය. එයම සාධනීය තත්ත්වයක් සේ සැලැකිය හැකි ය.

ඇතැම් ගැටලු විසැඳීම සඳහා කාලය හොඳ උත්තේජකයක් සපයන බව අපි ඊයේ ද මේ තීරුව ඔස්සේ පෙන්වා දුන්නෙමු. හරියට ම කිවහොත් ව්‍යවස්ථා අර්බුදය මෙන් ය. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැ’යි දැඩි ලෙස විරෝධය පෑ සමහරුන් මේ වනවිට තම මතය වෙනස් කරගෙන තිබේ. ඔව්හු ම ජනාධිපතිවරයා නිවැරැදි බව ද, ජනවාර්ගික ගැටුම විසැඳිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් යැයි ද කියති. කාලයට ඉඩ දී ඉවසිල්ලෙන් බලා සිටියහොත් ඇතැම් ගැටලු විසැඳීමේ උපාය මාර්ග පහළවීමට පුළුවන. එහි අදහස වන්නේ ගැටලුවල තත්ත්වය ඔඩු දුවන තෙක් බලා සිටිය යුතුය යන්න නොවේ. ඇතැම් දැඩි මතධාරීන් වෙනස්වීමට කාලයක් ගතවෙයි. කාලයත් සමඟ යථාර්ථය වටහා ගැනීමට අවකාශ සැලසෙනු ඇත.

සයිටම් විරෝධයේ එක් පැතිකඩකින් පෙනී යන්නේ පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් රටේ පවතින විරෝධය යි. එහෙත් පෞද්ගලික අධ්‍යාපනය යනු යථාර්ථයකි. එය කිසි කලෙකත් ප්‍රතික්ෂේප කළ නොහැකි ය. රටේ කඩඉම් විභාග සියල්ල සඳහා පෞද්ගලික අධ්‍යාපනය මැදිහත් වී ඇත. මේ හැරෙන්නට ජාත්‍යන්තර පාසල් රට පුරාම ව්‍යාප්ත වී ඇත. ඊට අදාළ එක ආයතනයක් හෝ වසා දැමිය නොහැකි ය. නිදසුනක් ගතහොත් ඉරිදා දහම් පාසල් පැවැත්වීම සඳහා සියලු ටියුෂන් එදිනට වසා දැමිය යුතු යැයි යෝජනාවක් වරින් - වර ඉදිරිපත් වුව එය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැත. එක අතෙකින් එබඳු යෝජනාවක් ඉදිරිපත් කිරීම පවා අයුක්ති සහගත යැයි කියන්නට පුළුවන.

සයිටම් ගැටලුව සමඟ ගැට ගැසී පවතින ප්‍රධාන අර්බුදයක් වන්නේ; එහි අධ්‍යාපනය ලබන සිසුනට සිදුවන්නේ කුමක් ද යන්න ය. එහි අධ්‍යාපනය ලබන කිසිවකු සුදුසුකම් නැති අය නොවෙති. ඒ හැරෙන්නට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඔවුන් සැලැකිය යුතු මුදලක් ද වැය කර තිබේ. මේ සිසුනට අයුක්තියක් සිදු නොවිය යුතුය යන්න බොහෝ දෙනාගේ සාධාරණ මතය වේ. මේ ආයතනය තුළ වෛද්‍ය නොවන තවත් සිසූහු පිරිසක් සිටිති. ඔවුහු බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු කරගෙන යති. ගැටලුව මතු වී ඇත්තේ වෛද්‍ය පීඨයට පමණි. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා දෛව්‍ය සභාව මේ සිසුනට අයුක්තියක් සිදු නොවන අයුරින් ගැටලුව විසඳාගැනීමට හවුල් විය යුතුව තිබේ.

වෛද්‍යවරුන්ගේ සංගමය මඟින් ප්‍රකාශයට පත්කර ඇත්තේ සයිටම් ආයතනයේ නම පමණක් වෙනස් කිරීම ගැටලුවට විසැඳුමක් නොවේ යන්න ය. අප දන්නා පරිදි රජයේ උත්සාහය වන්නේ මේ ආයතනය ප්‍රමිතිගත ආයතනයක් බවට පත්කොට එය පවත්වාගෙන යෑම ය. එහිදී මෙය තනිකර රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යා හැකි ය. නැතහොත් ප්‍රමිතිගත ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යා හැකි ය. දෙවන ක්‍රමයට උසස් අධ්‍යාපනය ලබාදෙන හා උපාධි - ඩිප්ලෝමා පිරිනමන ආයතන ගණනාවක් දැනට ම රට තුළ තිබේ. සයිටම් රෝහල ද එබඳු ආයතනයක් බවට පත් කිරීමේ කිසිදු වරදක් අපට නම්; පෙනෙන්නේ නැත. වෛද්‍ය සංගමය මෙන් ම වෛද්‍ය සභාව ද මෙහිලා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි අපට සිතේ.

ඉදිරි සාකච්ඡාවලදී සයිටම් සිසුන් සඳහා තීරණයක් ගැනීමට අන්තර්වාර කමිටුවක් පත් කළ යුතු යැයි වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා කර තිබේ. එම යෝජනාව නරක නැතැ’යි කිව හැකි ය. එබඳු කමිටුවකට යුක්තිසහගත තීන්දුවක් ගත හැකි ව තිබේ. මේ ආයතනයේ ප්‍රමිතිය සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය ගත යුතු යැයි ද ප්‍රකාශ වී ඇත. ප්‍රායෝගික තත්ත්වය ගතහොත් මීට පෙර සයිටම් ආයතනය ගැන මෙන් ම එහි ප්‍රමිතිය ගැන ද වෛද්‍ය සභාව එකඟතාව පළ කළ අවස්ථා තිබේ. කෙසේ වුව වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් වරින් - වර විවිධ පියවර ගෙන ඇති බව පැහැදිලි ය. ඒ අනුව වෛද්‍ය සභාවට එක මතයක් නැතැ’යි කෙනකු තර්ක කරන්නට ද පුළුවන. වෛද්‍ය සභාව ස්ථාවර ප්‍රතිපත්තියක පසුවීම මෙහිදී වැදගත් ය.

විවිධ දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා වෛද්‍යවරුන්ගේ සංගමය වරින් - වර සයිටම් පිළිබඳ දැඩි තීන්දු ගෙන තිබේ. අදත් ශිෂ්‍ය සංගම් බොහොමයක මතය වන්නේ වහා ම සයිටම් අහෝසි කළ යුතු බව ය. එහෙත් එය පහසුවෙන් කළ හැක්කක් නොවේ. මේ ආයතනය අහෝසි කළහොත් විවිධ ක්ෂේත්‍රවලට අයත් ඉගැන්වීම්වලට සිදුවන්නේ කුමක් ද? ඊළඟට සිසුන්ගේ අනාගතයට සිදු වන්නේ කුමක් ද? වගකිවයුතු රජයක් හැටියට මේ ශිෂ්‍යයන් ගැන බැලීමට ආණ්ඩුවට සිදු වී ඇත. නීතිය වුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙනු ඇත. රජය ගැටලුව විසැඳීමට අවශ්‍ය සුදුසුම පියවර ගෙන ඇතැ’යි සිතන්නට පුළුවන. ඒ අනුව යෝජනාවලිය හොඳින් අධ්‍යයනය කොට අවශ්‍ය පියවර ගත හැකි ය.

සයිටම් ආයතනය මූලික කොට මතු වූ අර්බුදය නිසා මෙතෙක් රටට සිදු වී ඇති අලාභය කිසිවකු ගණනය කර නැත. මෙතෙක් පැවැත් වූ උද්ඝෝෂණ, විරෝධතා හා පෙළපාලි නිසා සැලැකිය යුතු ආර්ථික පාඩුවක් රජය දරාගෙන ඇත. එයත් හරියට අපේ ණය උගුල වගේ යැයි සිතන්නට පුළුවන. කුමක් වුව රජය සමඟ සාධනීය සාකච්ඡා ආරම්භ කිරීමට වෛද්‍ය සංගමය සූදානම් බව ප්‍රකාශයට පත් වී තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. මීට පෙර මෙබඳු ප්‍රශ්නවලදී යෝජනා ඉදිරිපත් වන්නේ නැත. පාලකයන්ගේ මතය බලහත්කාරයෙන් හෝ ක්‍රියාත්මක කිරීම එදා සිරිත විය. එලෙස ම මෙබඳු ගැටලුවලදී දිගින් - දිගටම විරෝධතා දැක්වීමටද පිරිස ඒකරාශී වූයේ නැත. ඒ අනුව බලනවිට පෙනී යන්නේ අලුත් වෙනසක් උදා වී ඇති බව ය. එම වෙනස සාධනීය තීන්දු ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරයි.

නව අදහස දක්වන්න