හිටපු ධීවර නි. අැමැති ඇතුළු 6කට අධිචෝදනා | දිනමිණ

හිටපු ධීවර නි. අැමැති ඇතුළු 6කට අධිචෝදනා

ජනාධිපතිවරණ සමයේ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරිමේ උලෙළ සඳහා ලක්ෂ 112 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාව ලද හිටපු ධිවර නියෝජ්‍ය අැමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් හයදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරිමට බලාපොරොත්තු වන බවට රහස් පොලිසිය ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.

සිද්ධිය ඊයේ (31) යළි කැදවු අවස්ථාවේ දි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය ඒ බව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

ජනපති කොමිසන් සභාව මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කැර නීතිපතිවරයා වෙත කරන ලද නිර්දේශ මත හිටපු අැමැතිවරයා හා සෙසු සැකකරුවන්ට පොදු දේපොළ පනතේ චෝදනාවන් යටතේ‍ චෝදනා ගොනු කර තිබිණ.

නීතිපතිවරයාගේ නියෝගයට අනුව සැකකරුවන් හයදෙනා රහස් පොලිසිය 2017 ජනවාරි 2 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කැර තිබිණ. ලංකා ධිවර වරාය නිතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කුමුදුමාල් චන්දන පැල්පිට,හිටපු සාමාන්‍යාධිකාරි ගලපිටිගේ ගෙදර පියල් අබේසේකර ,හිටපු සභාපති උපාලි ලියනගේ ,සැපයුම් කළමණාකරු ගාල්ල‍ගේ සර්දා ලක්මිණි මුනිදාස ,උපුල් චමින්ද පෙරේරා හා හි‍ටපු ධිවර නි‍යෝජ්‍ය අැමැති සරත් කුමාර ගුණරත්න යන අය මෙම සිද්ධියේ සැකකරුවන් වෙති.

මිගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරිමේ උළෙල සඳහා රුපියල් 11278000 මුදලක් සාවද්‍ය පරිහරණය ,එක්ව පරිහරණය සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදිම යන චෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 386,113,(ආ) 102 වගන්ති සමඟ 1982 පොදු දේපළ පනතේ චෝදනා සැකකරුවන්ට එරෙහිව රහස් පොලිසිය ගොනු කැර තිබිණ. සිද්ධිය නැවත කැඳවිම ලබන මාර්තු 22 වැනි දිනට කල් තැබිණ. 

සිරන්ජනි කුමාරි රිද්මි ආමෝදා

නව අදහස දක්වන්න