නව ව්‍යවස්ථාව ගැන පවතින දුර්මත නිවැරදි කිරීමට සර්වපාක්ෂික සමුළුවක් | දිනමිණ

නව ව්‍යවස්ථාව ගැන පවතින දුර්මත නිවැරදි කිරීමට සර්වපාක්ෂික සමුළුවක්

* ජනතා සහයෝගයෙන් සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම ජනපතිගේ ප්‍රතිපත්තියයි
* ආණ්ඩුවේ සිටින එජාපයට හා ශ්‍රීලනිපයට එක් ස්ථාවරයකට ආ හැකියි. මේ අවස්ථාව අප අත් නොහළ යුතුයි

ලෝක ප්‍රජාවගේ සහයෝගය ද දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ස්ථාපිත කෙරෙන සංවර්ධනාත්මක වැඩපිළිවෙළක් ජනතා සහයෝගයෙන් ක්‍රියාවට නැංවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිය බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

රටේ ගැටලු විසඳීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් හෝ ගෙන ආ යුතු බවත් ඒ අනුව රටේ භෞමික අඛණ්ඩතාව හා ඒකීයත්වය රැක ගැනීමට විධායකය ලෙස ජනාධිපති හෝ අගමැති කෙනකු ද අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී විජිත් විජයමුණි සොයිසා මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කෙ‍ළේ ය.

මෙරට ඇති ආගම් තුනම ආසියාවේ බිහි වූ ඒවා. බුද දහම ආගමක් නොවේ දර්ශනයක්. එය සිංහල බෞද්ධ කියන වචනයට පමණක් ලඝු කරන්න බැහැ.

එංගලන්තයේ ලිඛිත ව්‍යවස්ථාවක් නොවේ ක්‍රියාත්මක වෙන්නේ. එරට සම්ප්‍රදායටයි මූලිකත්ව තිබෙන්නෙ.

ඉන්දියානු කොඩියේ මධ්‍යයේ තිබෙන්නෙ ධර්ම චක්‍රය, එරට රාජ්‍ය ලාංඡනය සිංහයෝ සිව් දෙනා. ඒ ධර්මාශෝක අධිරාජ්‍යයා ස්ථාපිත කළ බෞද්ධ වටපිටාව නිසා එරට ඇති වූ දෙයක්. එරට අද සැබෑවටම බොදු දහම තිබෙනවාද යන්න ගැටලුවක් වුවත් එදා ස්ථාපිත වූ දේ තවමත් තිබෙනවා. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට මුල් තැන දිය යුතුයි යන්න කියනවාට වඩා වැදගත් වන්නේ එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි. රාජ්‍ය පාලකයා, මහා සංඝරත්නය, උපාසක, උපාසිකා යන මේ චතුර් බලවේග එක්ව බුදු දහම ආරක්ෂාකර ගැනීමට ක්‍රියා කළ යුතුයි.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින දුර්මත නිවැරදි කිරීම සඳහා ආගමික නායකයින් උගතුන් ඇතුළු රටේ වගකිව යුතු උගතුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට තීරණය කර තිබෙන්නෙ. මහා සංඝරත්නයේ අනුශාසනාවට ඇහුම්කන් දෙමින් සියලු ආගමික පූජක පක්ෂය ඇතුලු උගත් බුද්ධිමත් ජනතාවගේ අදහස් අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවාද නැතිනම් සංශෝධන ගෙන එනවාද යන්න තීරණය කෙරෙන්නෙ‍.

අපි නිකාය භේදයකින් තොරව කහ සිවුරට මහා සංඝරත්නයට ගරු කරන්නෙ. බෙදා වෙන් කිරිමක් නැහැ. සිංහල බෞද්ධ ගෞරවය ආරක්ෂාකරගෙන වගකීමකින් කටයුතු කිරිමට අද මහා සංඝරත්නයට මෙන්ම මැති ඇමැතිවරුන්ට කටයුතු කිරීමට සිදුව තිබෙන බවක් පෙනී යන්නෙ. ඒ අනුව කාලෝචිත සාකච්ඡාවක් ඒ සඳහා අවශ්‍ය යුගයක් පැමිණ තිබෙනවා.

මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසන පරිදි අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ එවැනි කිසිදු ලියැවිල්ලක් නොමැතිව එවැනි දෙයක් ඇති බවට කියමින් ගැටලු ඇති කරන අය එදා චන්ද්‍රිකා මැතිනියගෙ කාලෙ පැකේජය ගෙනා අය. පොහොට්ටු පක්ෂයේ නායකයතා ජී. එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ‍එදා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසුවේ. එය ඉරා දැමුවේ එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය‍.

ජි. එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරු සමගාමී ලැයිස්තුව ගැන කතා කර තිබෙනවා. 13+ දෙන්න කතා කළේ පො‍රොන්දු දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. එසේ කටයුතු කළ අයගේ තිප්පලට අද ශ්‍රීලනිපය කඩන්න හදන සියලු දෙනා එක් වෙනවා. මේ අය ජාතිවාදය අවුස්සන රට කඩන තැනට ගෙන ඒමට උත්සහ කරනවා.

මේ රටේ වසර තිහක් යුද්ධයක් පැවතුණා. 1971 වසරේ 88-89 යුගයේ රටේ ගැටලු පැවතුණා. මේ රටේ ‍හොඳ නරක සියලු දේ සිදුවුණේ ලේ වැගිරීම් මතින්.

එදා ජේ. ආර්. ජයවර්ධන යුගයේ 13 සංශෝධනය ගෙන එන විට අපේ පවුලෙ පිරිස පස් දෙනාම බෝධිය යට වාඩි වුණා. ‍ජවිපෙ ඡන්දය දමන අයගෙ අත් කැපුවා.

මා මහ ඇමැති වුණේ ප්‍රදේශයේ ප්‍රශ්න විසඳන්න. අපට එය කරන්න බලය ලැබුණෙ නැහැ. බලය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නැහැ. එදා අධ්‍යාපන අමාත්‍යංශයේ බඳවා ගැනීම් කරන්න සූදානම් වන විට එය පෞද්ගලික අංශයට ලබා දී තිබුණා. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තරම් මේ රටේ ගැටලුවක් නැහැ කියා සමහරු කියනවා. නමුත් දිගටම තිබුණෙ ගැටලු. ඒවා තවමත් නිරාකරණය වී නැහැ. 77 ව්‍යවස්ථාව මගින් හෝ එයට එක් වූ සංශෝධන මගින් ගැටලු විසඳී නැහැ.

යුද්ධය නිසා දහස් ගණනක් ජීවිත අහිමි වුණා. ආබාධිත වුණා. බිරින්දෑවරු වැන්දඹුවන් වුණා. දරුවන්ට පියවරු අහිමි වුණා. මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට රටේ ආරක්ෂාව ස්ථාපිත කළ යුතුයි . ඒ සඳහා නව ව්‍යවස්ථාවක් හෝ නව ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යයි.

මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් නැහැ කියන්නෙ උන්මත්තකයො. මහ ජාතිය ලෙස අප ඒ අයට නෛතික පිළිතුරු ලබා දිය යුතුයි. මේ ආණ්ඩුව ව්‍යවස්ථාවට මණ්ඩපයක් ඇරලා තිබෙනවා. ජේ ආර් ජයවර්ධන මහතා ව්‍යවස්ථාවක් හැදුවේ මහින්ද රාජපක්ෂ මහතා 18 සංශෝධනය ගෙනාවෙ ජනතාවගේ අයිතිය අසුරලා. 18 සංශෝධනය ගෙනාවේ තනි පවුලකට බලය ලබා ගැනීමට.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරන්නෙ විවෘතව, සාමකාමි රටක් ස්ථාපිත කිරීමට.

මේ කරුණු සමඟ පළාත් පාලන ඡන්දය කල් දැමීමට අපි කැමති නැහැ. එය කල් දැමිමට අවශ්‍ය වන්නේත් නැහැ. එහි දී අපට බලා ගැනීමට හැකියි ශ්‍රීලනිපය ප්‍රමුඛ කණ්ඩායමේ ජයග්‍රහණය. නිල් පාට අත ලකුණෙන් අපේ කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් වන්නෙ. මේ පක්ෂයේ ඉදිරි අනාගතය අප මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා තිබෙන්නෙ. එතුමා ඒ වගකීම කරට ගෙන තිබෙන්නෙ.

සයිටම් ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දී තිබෙන බව දැකිය හැකියි. මෙරට විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය, ඡන්ද අයිතිය හා මානව හිමිකම් යන පහ ජනතා පරමාධිපත්‍ය ලෙස සැලකෙන්නෙ. මෙය අභිබවා සුළු පිරිසක් නිරන්තරයෙන් අරගල කරන බවක් දැකිය හැකියි.

දිලිප් විජේසේකර මහතා ආණ්ඩුවෙන් යනවා කියා ඇදි ඇදි සිටියේ. ඒ අයට දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය නැහැ. ජයගෙන පාර්ලිමේන්තුවට එන්නයි උත්සාහ කරන්නෙ.

කෙසේ වුවත් මේ වන විට ඉදිරි මැතිවරණය ජය ගැනීමට ශ්‍රීලනිපය සූදානම් වී සිටින්නෙ. ශාඛා සමිති සිට ජාතික සම්මේලන දක්වා ක්‍රියාත්මක කරමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී අවසන්.

එදා 1956 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට භික්ෂූන් වහන්සේලා විරුද්ධ වූ නිසා ඉරා දමන්න සිදු වුණා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වූ විට ලෙයින් තෙත් වු කොඩිය ගෙන ඉදිරියට පක්ෂය ගෙන ඒමට සිරිමාවෝ මැතිනිය එඩිතර වුණා. එතුමියටත් පසුව ආ ඩඩ්ලි සේනානායක මහතාටත් ඉදිරියට යන්න දුන්නෙ නැහැ. චන්ද්‍රිකා මැතිනිය කාලෙ ගෙනා ව්‍යවස්ථාව පුච්චා දැමුවා.

යුද්ධයෙන් පසු බලයට පත් මෛත්‍රීපාල, රනිල් ‍මහත්වරු එක්ව උත්සහ කරනවා ජාතීන් අතර සාමය ඇති කරමින් සාමකාමී සංවර්ධනාත්මක රටක් ස්ථාපිත කරන්න. ඒ ප්‍රයත්නයට අකුල් හෙලන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. ගැටලු තිබේ නම් සාකච්ඡා මගින් විසඳා ගත හැකියි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම ගැන සඳහන් වෙනවා. එය ක්‍රියාවට නැංවීම වගකීමක්. තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති අවස්ථාවක මේ රට ‍වෙනුවෙන් නිසි තීරණ ගත යුතුයි. ඒ සඳහා අපේ දේශපාලනය කැප කිරීමට අපි සූදානම්‍.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතරු දෙමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

අද පවතින්නේ ජාතික ආණ්ඩුවක්. අපේ පක්ෂයේ මතය ව්‍යවස්ථා සංශෝධනයකින් ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන එමින් නීතිය හා සාමය ඇති කිරීමයි. ජනාධිපතිවරයාගේ සංවර්ධනාත්මක වැඩපිළිවෙළට ලෝක ප්‍රජාවගේ සහයෝගයද දිනාගෙන තිබෙනවා. ඒ විශ්වාසය රැක ගනිමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි .

බලය යම් ආකාරයකින් බෙදනවා නම් අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ධුරය හෝ නැතිනම් විධායක අගමැති ධුරය පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. මේ රටේ භෞමික අඛණ්ඩතාව, ඒකීයත්වය රැක ගැනීමට විධායකය ඒ අනුව තිබිය යුතුයි.

මේ ගැටලු දිගු කාලීනව තිබෙන දෙයක්. අපි සියලු ජාතීන් එක්ව රටට නිදහස ලබා ගත්තෙ. බහු පක්ෂ ක්‍රමය නිසා අපේ සමගිය නැති වුණේ. එය නැවත එක් කිරීම අපහසුයි. කෙසේ වුවත් ආණ්ඩුවේ සිටින එජාපයට හා ශ්‍රීලනිපයට එක් ස්ථාවරයකට ආ හැකියි. මේ අවස්ථාව අප අත් නොහළ යුතුයි. ඒ අනුව නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. සාකච්ඡා මගින් රටේ ගැටලුව විසඳීමට මේ දෙකෙන් එකක් ගෙන ඒම කළ යුතුයි. ඒ අනුව අවශ්‍ය කුමක්ද යන්න එකඟතාතවකට ආ හැකියි.

මතවාදී ප්‍රශ්නයක් තිබුණට හිටපු ජනාධිපති ඇතුළු පිරිස අතහැර නැහැ‍. ඒ අය නැවත පක්ෂයට ගැනීමට අපි උත්සාහ කරනවා. එසේ නොවුණොත් පළාත් පාලන ඡන්දයේ දී සමහර ප්‍රදේශවල අප එක්ව ක්‍රියා කිරිමට ද හැකියාව තිබෙනවා. කෙසේ වුවත් මේ ගැන තවම සාකච්ඡා කරනවා. අවසන් මොහොත දක්වාම සාකච්ඡා කරනවා. ඒ අනුව අස්කළ සංවිධායකයො නැවත ගැනීමටත් බැරිකමක් නැහැ.

අපේ ප්‍රමුඛතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විජයග්‍රහණය කරවීමයි. මහ ආණ්ඩුව එජාපය සමඟ වූවාට පළාත් සභා වෙනත් හවුලකින් ක්‍රියාත්මක වීමටත් හැකියි.

අද පාර්ලිමේන්තුවේ කලාකාරයො ගුරුවරු මරා දැමූ බව කියන අයත් සිටිනවා. ඒ අනුව ආනමඩුවේ ගුරුවරියක් දණ ගැස්සුවා කියා එය ඒතරම් සිතියි යුතු නැහැ. ඒ කාලෙ ඒ අවස්ථාව හා ප්‍රදේශය අනුව සිදුවූවක් එය. නමුත් ඔහු අද වෙනස් වී සිටිය හැකියි.

පළාත් පාලන නියෝජිතයන්ට මන්ත්‍රි නාමය දුන්නෙ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා. ඒ කවුරු වැරදි කළත් නීතිය එක සමානව ක්‍රියාත්මක කළ යුතුයි. 

චන්ද්‍රිකා පෙරේරා, නිමාෂා සඳරුවනි

නව අදහස දක්වන්න