ව්‍යාපාරයක් කියන්නේ ගේම් එකක් | දිනමිණ

ව්‍යාපාරයක් කියන්නේ ගේම් එකක්

අජිත් ගුණ­ව­ර්ධන - සභා­පති Pick Me

නුවන් මහේෂ් ජයවික්‍රම

අභි­යෝග මතින්ම නැඟී සිටිය මට ඒවා නැති ව්‍යාපා­රික ලෝක­යක් පිළි­බඳ සිතා ගැනී­ම­ටත් අප­හ­සුයි. ඇත්ත­ටම ගේම් එකක් විදි­යට ව්‍යාපාර දකින මං අද­ටත් විසි වයසේ තරු­ණ­යකු තරම් ජව­යක් ඇති­වයි බිස්නස් ලෝකය දිහා  බලන්නේ

අදින් අවුරුදු කිහිපයකට කලින් දිනෙක එක් උදෑසනක එක් ව්‍යාපාරික අදහසක් පමණක් සිතැතිව අජිත් ගුණවර්ධන හමුවන්නට පැමිණියේ අමුත්තෙක්. සාවධානව ඔහුට සවන් දෙන අජිත්, මේ අමුත්තා අදහස් කළ සිහින කුලී ගමන් රථ සේවාවට Pick Me විදියට නමක් දෙනවා පමණක් නොවෙයි, එය අලුත්ම ආරකින් ශ්‍රී ලාංකිකයන් අතරට ගෙන යන්නත් කැපවෙනවා.

අද වන විට ශ්‍රී ලාංකේය කුලී ගමන් රථ සේවා අතර අග්‍රගන්‍ය ස්ථානයක වැජඹෙන Pick Me එතැනට ඔසවා තබන්නට Pick Me සමාගමේ සභාපතිවරයා වන අජිත් ඇතුළු එහි සෙසු දේශීය ව්‍යවසායක මඬුල්ල සමඟ සියලුම Pick Me සේවක සේවිකාවන් කළ කැපකිරීම් එමටයි. ඒ කර්තව්‍යයට උරදෙමින්ම අජිත් ජෝන් කීල්ස් ව්‍යාපාර සමූහයේ උප සභාපතිත්වයේ ‍භාරධුර වගකීම ඉටුකිරීමත්, ව්‍යවසායකයෙක් සහ ව්‍යාපාර පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයකු විදියටත් අජිත් ගුණවර්ධන නම රටේ ප්‍රකට වන්නට හේතුවක්.

භීෂණ, කලකෝලාහල සහ යුද කාලවලදීවත් ශ්‍රී ලංකාව හැර නොගිය විද්වතෙක් වන අජිත් ගුණවර්ධන, ඔටාරා ගුණවර්ධන ඇතුළු ගුණවර්ධන පවුලේ සෙසු සහෝදර සහෝදරියන් සමඟින් ව්‍යාපාරික මෙන්ම විවිධ සමාජ සේවා කටයුතුවල නිරතවෙමින් ශ්‍රී ලංකාවට සම්පත් වූ පුද්ගලයන් ලෙස ශ්‍රී ලාංකිකයන් අතර ගෞරවාදරයට පත්ව සිටිනවා.

එහෙත් අඩුවෙන් කතා කරන්නටත්, වැඩිපුර වැඩ කරන්නටත් තිබෙන අජිත් ගුණවර්ධනගේ පුරුද්දට බාධා කරමින් මේ කතාබහට පිවිසෙද්දී අජිත් අපට කියන්නට වූයේ බාධා අවහිරතා සහ කෙනහිලිකම් සැමදාමත් තමන්ට ජයග්‍රහණය කරා ඉක්මනින් ළඟාවීමට පන්නරය සපනයන බවයි. ඉතින් Pick Me නියමුවාණන් විදියටත්, ජෝන් කීල්ස් ව්‍යාපාර සමූහයේ උප සභාපති විදියටත් ඔහු සතු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැනුම් සම්භාරය දැවැන්තයි. ඉඳින් මේ වෑයම ඉන් ඇබිත්තකින්වත් පාඨක ඔබේ ජීවිතයටත් ආලෝකයක් සපයන්නයි.

 

ඉතින් අජිත් ආයුබෝවන් ඔබට. අපි කැමතියි රටම ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකවරයෙක් විදියට හඳුන්වන ඔබව ඔබ විසින් හඳුන්වා ගන්නේ කොහොමද කියා මුලින්ම දැනගන්න?

ක්‍රීඩකයෙක්. එහෙම නැතිව මං තුන් හිතකින්වත් ව්‍යාපාරිකයෙක් වෙන්න සිතූ කෙනෙක් නෙවෙයි. මං අහම්බෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණි කෙනෙක් කීවොත් හරියට හරි.

 

අහම්බයක්?

ඔව්. පාසල් කාලේ ඉඳලා මගේ ජීවිතේ රගර් ක්‍රීඩාවට වඩා දෙයක් තිබුණේ නැතිම තරම්. මට මගේ ඒ උත්සාහයට මදි නොකියන්න ප්‍රතිඵලත් ලැබුණා. ශ්‍රී ලංකා ජාතික පාසල් රගර් කණ්ඩායම නියෝජනය දක්වාම ගිය ගමනක් ඒක. ඒත්...

 

ඔබ බොහොම සංවේදී මතකයක් ළඟ නැවතිලා වගේ?

නමුත් රගර් ක්‍රීඩාවේදී ඒක එච්චර අමුතු දෙයක් නොවෙයිනේ. Òදණිස්ස ගියානේÓ කියලා එදා ඉඳන් රගර් පට්ටනියෙන් එළියේ ඉඳන් කීවාට රගර් ක්‍රීඩකයකුට ඒ බිඳුණු දණහිසේ වේදනාවට වඩා ලොකු සිත් වේදනාවක් රගර් පිට්ටනියට සමුදෙන්නට සිදුවීම පිළිබඳ තියෙන්නේ. මං ඒ සිත් වේදනාව නව යොවුන් වයසේදීම වින්ද කෙනෙක්.

 

කොහොමද ඔබ ඒ වේදනාව තුනීකර ගත්තේ?

බිස්නස්වලින්. ගේම් එකක් විදියටයි මං එදා ඉඳන් බිස්නස් දිහා බලන්නේ. මං ඒ ගමන අවුරුදු 35 කට කලින් අලියා සිසිල්බීම සමාගමෙන් ඇරඹුවේ.

කොහොමද ඒ ඇරඹුමේ ඉඳන් වර්තමානය දිහා බලද්දී ලැබූ අත්දැකීම් ඔබට දැනෙන්නේ?

අත්දැකීම් බොහොමයි. අද අලුත් පරම්පරාවට අත්විඳින්න සිදු නොවන තරම් කටුක ගමනකයි මං පැමිණියේ. ජීවිත තර්ජන සහ මරණය පෙනි පෙනී මේ ගමනේ යෙදුණු නිසා අදටත් මට බාධකවල නම් අමුත්තක් ඇත්තේම නැහැ.

 

ඔබ කිව්වා ජීවිත තර්ජන පවා පැමිණියා කියලා?

වහාම වැඩ නවත්වන්න. හෙට වැඩට පැමිණෙන අයට දඬුවම මරණයයිÓ 1988 - 89 භීෂණ කාලේ ඔය වගේ Notice දැකලායි මං සවස වැඩ නිමවී ආයතනයෙන් නිවෙස බලා යන්නේ. ඒත් අවදානම පෙනි පෙනී පහුවදාත් කොළඹ ග්ලෙන් ස්ට්‍රීට් එකේ තිබිච්ච සිලෝන් කෝල්ඩ් එකට වැඩට එනවා. එවකට සභාපතිව සිටිය බාලේන්ද්‍ර මහතාත් එහෙමමයි. ඒ විදියට මරණ වරෙන්තු දැක දැකත් මං මාස ගණනාවක්ම ශ්‍රී ලංකාවේම සිටියත් ඒ කාලේ අපේ සමකාලීන ව්‍යාපාරික මිතුරන් බොහෝදෙනෙක් පවුල් පිටින්මයි විදේශගත වුණා. ඒත් අපි පවුල පිටින්ම එක ස්ථාවරයක සිටියා. ඒ අපි ආදරය කරන මේ රට හැර යන්නේ නැහැ කියලා.

ඒ භීෂණ යුගයෙන් පස්සේ ඔබටත් මරණ බයින් තොරව වැඩ කරන්න ඉඩ ලැබෙන්න ඇති?

ඔව්. ඒත් පුංචි කාලයකට විතරයි. වර්ෂ 1991 දී දිනක් මහා බෝම්බයක් පුපුරා ගියේ මා සිටි තැනට ආසන්නයේමයි. ඊට කලින් රටේ ඉතිරිව සිටිය ව්‍යාපාරික ප්‍රජාවගෙන් තවත් සෑහෙන පිරිසක් පිටරට පදිංචියට ගිය කාලයක් ඒ. මට මතකයි මටත් ඒ කාලේ නවසීලන්තයට යාමට ගුවන් ටිකට්පත පවා ඥාති පිරිසක් ගෙනැවිත් දුන්නා. ඒත් එවේලේවත් මට එහෙම අදහසක් ඇතිවුණේ නැහැ.

 

දැන් අපි නැවතත් හැරෙන්නේ Pick Me දිහාට?

මගේ සොහොයුරා මට සම්බන්ධ කර දුන්නු පුද්ගලයාගේ මනසේනේ මේ අදහස ඇතිවුණේ. ඔහු වුල්ෆර්. ඔහුට වුවමනා කළේ ව්‍යවසායකයන්. ඉතින් මමත් සොහොයුරාත් මුලින් ඊට එක්වුණා. අපි යොදවන මුදලේ ප්‍රගතිය කෙටි කාලෙන් කාලෙට ගණන් බැලුවා. ඒ විදියට ක්‍රමානුකූලව ලාබ පාඩු බලමින් එන ගමනේදී තවත් ව්‍යවසායකයන් ගණනාවක්ම Pick Me වටා එක්රොක් වුණා. හර්ෂ අ‍මරසේකර, අනුමාල් ද සොයිසා වගේම එම්. ඒ. එස්, එල්. ඕ. එල්. සී. වැනි සමාගම් පවා Pick Me සමඟ අත්වැල් බැඳගත්තා. Pick Me පණගන්වන ව්‍යවසායක ප්‍රජාව ඔවුන්.

 

Pick Me රථ මහමඟදී අප නිතර දකිනවා. නමුත් තිරයෙන් පිටුපස සිටින සෑහෙන පිරිසක් ඊට පණ පොවනවා?‍‍

ඔව්. අප සතුව ලෝකයේ දියුණුම ආයතනවල අත්දැකීම් සහිත මෘදුකාංග ඉංජිනේරුවරු 45 දෙනෙක් දැනට සිටිනවා. ඒ මෘදුකාංග ඉංජිනේරු අංශයේ පමණයි. ඒ හැරෙන්නට ලෝකයේ දියුණුම තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ට තව තවත් සමීපවන්නට නිරන්තරයෙන් කැප වී සිටින බොහෝ පිරිසක් වෙනවා. ඇත්තෙන්ම ලබන වසර වන විට සේවා පුළුල් කිරීමත් සමඟ මෘදුකාංග ඉංජිනේරුවරු පමණක් 70 දෙනෙකුවත් අප සමඟ එක්ව සිටීවි. ඒ සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන්.

 

Pick MeÓ අරඹා දෙවසරක් ගතවන විටත් එහි රියැදුරන්ගේ සංචිතය පමණක් දසදහස ඉක්මවා තිබුණා. ඒ සේවා කොළඹින් පිට පළාත්වලටත් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ. ඉතින් ඉදිරියේදී Pick Me තවත් අලුත් වේවිද?

දවසින් දවස වැඩිවන Pick Me පවුලේ රියැදුරන් වෙනුවෙන් දැනටමත් අප අසමසම රක්ෂණාවරණයක් LOLC හරහා සලසා හමාරයි. ඒ හැරෙන්නට සේවක සුබසාධන කටයුතුවලට වගේම ඔවුන් වෙනුවෙන්ම පවත්වන පුහුණු පාඨමාලා ඔස්සේ වඩාත් විනයගරුක සහ වඩාත් විශ්වාසවන්ත, ආචාරශීලී ත්‍රිරෝද රථ ප්‍රජාවක් රටට උරුමකර දෙන්නට Pick Me කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපට ලැබෙන පැසසුම් බොහොමයි. ඒ වගේම ඔන්ලයින්ම (Online) අපට Pick Me සම්බන්ධව පැමිණිලි කරන්නත් පාරිභෝගිකයන්ට ඉඩ ලැබෙනවා. ඒ පැමිණිලිවලට අපෙන් ක්ෂණික ප්‍රතිචාර හිමිවෙනවා. රියැදුරන් අතින් යම් යම් අතපසුවීම් හෝ වැරදි සිදුවී තිබු‍ණහොත් අපි ඒවා යළි සිදු නොවන්නට වගබලා ගන්නවා. අදාළ රියැදුරන්ටත් ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුවයි අප ඔහු නැවත සේවයට යවන්නේ. දිගින් දිගට වැරදි කරන ත්‍රිරෝද රථ රියැදුරන් Pick Me පවුලේ නැත්තේ ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීම දක්වාම අප රියැදුරන්ගේ විනය ඉහළින්ම සලකා බලන නිසාමයි.

 

Pick Me එවැනි සාමූහිකයක්. එහි ප්‍රධානියා විදියට ඔබට තිබෙන ඉලක්කය?

මට ඕනෑ කරන්නේ මටම කියලා පුද්ගලිකව රථවාහන අනවශ්‍ය යුගයක්. මට ව‍ාගේම සියලු ශ්‍රී ලාංකිකයන් ඒ ඕනෑකම Pick Me ලවා ඉටුකරගන්නා දවස එළඹෙනතුරුම අප ඒ ඉලක්කය කරා හඹා යනවා.

ප්‍රවාහනයේ දහසකුත් එකක් වුවමනාකම් ජංගම දුරකතනයෙන් මහජනතාවගේ ඇඟිලි තුඩට සමීප වන්නේ ඒ අරමුණ ඉටුවුණුදාටයි. ඉතින් ඒ වෑයම සඵල වනදාට පාසල් සේවා ගමන් රථ, කොළඹින් පිට පළාත්වලට සහ ඒ පළාත්වලින් කොළඹට බඩු භාණ්ඩ ප්‍රවාහන සේවා ආදී විවිධ ප්‍රවාහන පහසුකම්වලට Pick Me නමම ඇසෙන්නට ගනීවි.

ඔබ ඒ කටයුත්තේදී ජංගම දුරකතනය ආදී නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරනවා.

අද වන විට මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් සයිබර් අවකාශයේ Pick Me සේවාලාභීන් වී හමාරයි. නව තාක්ෂණය ඔස්සේ ආදායම දෙගුණ තෙගුණ කරගත් රියැදුරන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ පුදුමාකාර සතුටකින් ජීවත්වෙනවා. ඒ දිනුම් අපි හැමෝම භුක්ති විඳිනවා. කොහොමටත් ඉදිරියේදී දැනටත් වඩා නවීන තාක්ෂණය ජංගම දුරකතනය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට සමීප වෙනවා නිසැකයි. දැනට 40% ක් තරම් වන ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන ශ්‍රී ලාංකික ප්‍රජාව 80% දක්වා වැඩිවන දිනයත් වැඩි ඈතක ‍නැහැ.

 

ඇත්තටම කොහොමද ඔබ ඔබේ අත්දැකීම් ඔස්සේ ශ්‍රී ලාංකිකයාව දකින්නේ?

ලෝකය පුරා විසිදහසකට අධික සේවක සේවිකා පිරිසක් ජෝන් කීල්ස් යටතේ සේවය කරනවා. ඔවුන් සමඟ සංසන්දනය කරද්දී මානව සම්පත අතින් ශ්‍රී ලාංකිකයන් ඉහළ තැනක සිටින්නේ. ධනාත්මකවම සිතන පතන තැනට අපේ මානව සම්පත පත්කරගත් විට ඇතිවන ආත්ම විශ්වාසය ඔස්සේ ලාංකිකයන්ට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළටම ඔසවා තැබීම ලොකු අභියෝගයක් නෙවෙයි. පුද්ගලික අංශයේ වුවත් රජයෙන් කිසිවක් අපේක්ෂා නොකරම දිගු කලෙක පටන්ම අප ඒ කර්තව්‍යය අපට හැකි උපරිමයෙන් ඉටු කරනවා.

 

දැන් ඔබ තවත් අලුත් අභියෝගයක් අභියස සිටින වගටත් ආරංචියි?

අභියෝග මතින්ම නැඟී සිටිය මට ඒවා නැති ව්‍යාපාරික ලෝකයක් පිළිබඳ සිතා ගැනීමටත් අපහසුයි. ඉතින් මං එළැඹෙන දෙසැම්බර් 31 වැනිදායින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දැනට දරන තනතුරෙන් විශ්‍රාම ලබන්නයි සූදානම. ඒ මට වයස අවුරුදු 60 සපුරා සිටියදීයි. ඒත් ඇත්තටම ගේම් එකක් විදියට ව්‍යාපාර දකින මං අදටත් විසි වයසේ තරුණයකු තරම් ජවයක් ඇතිවයි බිස්නස් ලෝකය දිහා බලන්නේ. ඒ දැක්මේ තවත් එක් මානයක් තමයි ඔබ විමසන බ්ලූ ස්ටෝන් (Blue Stone).

 

එය කෙබඳු හැඩහුරුකමක් ගනීවිද?

ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර විවිධ උපදේශන සේවා අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් ජාතික ධනය පිටරටට ගෙන්වන්නට පවා හුඟක් ව්‍යාපාර සූදානම්. ඇයි අපට ඒ හිඩැස පුරවන්න බැරි. මේ දිනවල මං ඒ කල්පනාවේ සිටින්නේ. ඉතින් ඒ ඔස්සේ බ්ලූ ස්ටෝන් (Blue Stone) විවිධ නවමු පැතිවලට පැතිරේවි.

 

කවදාද ඔබ ඒ අලුත් කටයුත්ත අරඹන්නේ?

මං ජෝන් කීල්ස් වෙතින් සමුගන්නා දිනට පසුදාම ඒ කියන්නේ එළැඹෙන ජනවාරි පළමුවැනිදා. 

 

නව අදහස දක්වන්න