ගීතා ඉවතට | දිනමිණ

ගීතා ඉවතට

නෙල්කා මැදගෙදර

* තවදුරටත් මන්ත්‍රීකම බෑ
* පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කරයි

ස්විස්ටර්ලන්ත පුරවැසියකු වන ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඒකමතිකව ඊයේ (2) තීන්දු කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිව්රුම්දීමට සහ එම ධූරයෙහි කටයුතු කිරීමට ද්විත්ව පුරවැසිභාවය දරන ඇය නුසුදුසු බවට තීරණය කර ක්වො වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලදී.

ඉකුත් මැයි මස 3 දින දෙන ලද අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචන පෙත්සම  විභාගයට ගෙන අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශ කරමින් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මේ බව ප්‍රකාශ කරන ලදී. එම අභියාචනා පෙත්සම ගාස්තුවට යටත්කොට නිෂ්ප්‍රභ කරන ලදී.

මෙම තීන්දුවෙහි ‍පිටපත් වහාම ක්‍රියාත්මක වනපරිදි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත දන්වා යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියට නියම කෙරිණි.

එම අභියාචනා පෙත්සම විභාගයට ගත් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, නලීන් පෙරේරා යන පංචපුද්ගල විනිසුරු මඬුල්ලෙහි ඒකමතික තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතා විසින් විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කරන ලදී.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 91 (1) (1) (13) වගන්තිය අනුව වෙනත් රටක පුරවැසිභාවය දරන මෙරට ඕනෑම පුරවැසියකු මැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා භාරදෙන අවස්ථාවේ දී හෝ ‍මන්ත්‍රී ධුරයෙහි දිව්රුම් දෙන අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය දරයි නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි පත්වීම, දිව්රුම් දීම සහ කටයුතු කිරීම නීතිවිරෝධී සහ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

එබැවින් නාමයෝජනා භාරදෙන අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය දැරූ ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිව්රුම් දීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම නීතිවිරෝධී සහ බල රහිත බවට එම තීන්දුවෙහි සඳහන් වේ.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ගීතා කුමාරසිංහ මහත්මිය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය දැරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට තීරණය කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයෙහි ඡන්ද දායකයන් පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසු නැති බවට තීරණය කරමින් ක්වො වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කෙළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කෙළේය.

එම අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක බහුතර තීන්දුව මත අවසර ලැබුණු අතර අදාළ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

එම අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරුවන් වූ ගාල්ල දිස්ත්‍රික්කයෙහි ඡන්ද දායකයන් මෙම පෙත්සම ‍පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, නලීන් පෙරේරා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් කරන ලදී. එහි තින්දුව මෙලෙස ඊයේ (2) ප්‍රකාශ කරන ලදි. මෙම නඩුතීන්දුව සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර තීන්දුව මත ලබාදී තිබූ අතුරු තහනම් නියෝගය අවසන් වන බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.

පෝල් රත්නායක නීතිඥ සමාගමෙහි උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර අභියාචක ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා සමඟ ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා වගඋත්තරකාර ඡන්ද දායකයන් වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා සහ නීතිඥ පුලස්ති ‍රූපසිංහ වගඋත්තරකාර පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා වෙනුවෙන් ද, නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පියසේන ගමගේ මහතා වෙනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එන්. පුල්ලේ මහතා සහ රජයේ නීතිඥ සුරේන් ඥානරාජ් වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න