සංහිඳියා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියා අගමැතිගේ ප්‍රසාදය | දිනමිණ

සංහිඳියා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියා අගමැතිගේ ප්‍රසාදය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ මහත් පැසසුමට ලක් වෙයි.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඊයේ (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර එහිදී මේ බව සඳහන් කර ඇත.

මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන ක්‍රියාමාර්ග ද මෙහිදී ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට ඔවුන්ගේ ජාවාරම් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීමට උත්සාහ දැරීම විශාල ගැටලුවක් වී ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් ස්ටැබික්‍රාෆ්ට් වර්ගයේ මුර යාත්‍රා තුනක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් සිටින බවත්, ඉතා වේගයෙන් ගමන් කළ හැකි එම මුර යාත්‍රා ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතුවලට ඉමහත් පිටිවහළක් සපයනු ඇති බවත්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයක් පිහිටුවීමට සහ එහි පරිපාලන සහ විෂය නිර්දේශ සම්පාදනය කිරීමට වසර දෙකක කාලයක් සඳහා ඔස්ට්‍රේලියා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් මෙරටට එවීමට සිය රජය සූදානමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර අද පෙරවරුවේ අස්සන් තැබුණු වෙළෙඳ හා ආයෝජන ගිවිසුමෙන් දෙරටේ ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාට තම ස්තූතිය පිරිනැමීය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න