සාධාරණය ඉටු වුණා | දිනමිණ

සාධාරණය ඉටු වුණා

නෙල්කා මැදගෙදර
නඩු තීන්දුවෙන් පසු පියසේන ගමගේ මහතා අධිකරණයෙන් පිටව යමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරන තමන්ට අධිකරණයෙන් සාධාරණය ඉටු වූ බව හිටපු ඇමැති පියසේන ගමගේ මහතා සඳහන් කෙළේය. ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පියසේන ගමගේ මහතා මේ බව කීය. ඒ මහතා මෙසේද කීය. නීතිය අද සාධාරණව ක්‍රියාත්මක වන බවට මෙම නඩු තීන්දුව හොඳ උදාහරණයක්. කිසිදු බලපෑමක් නැතිව රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වන බව රටේ ජනතාවට මෙන්ම අපට ද අද තහවුරු වුණා. මේ නඩු තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවට යාමට මා බලාපොරොත්තු වෙනවා. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති කිසිදු අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂයට එක්වීමේ බලාපොරොත්තුවක් නැහැ.

ඒ නිසා දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරනවා.

රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා මට සාධාරණයක් ඉටු වුණා. දැන් ඉතින් පාර්ලිමේන්තු යන්න වෙනවානේ. ගිහින් අපේ ජනතාවට සේවයක් කිරීම අරමුණයි. ඇමැතිකමක් ලැබුණොත් කරනවා. නමුත් මම කවදාවත් පස්සෙන් ගිහින් ඇමැතිකම් ඉල්ලලා නෑ. වසර 17ක යු.එන්.පී. පාලනය නැති කරන්න දකුණේ ප්‍රමුඛතාව ගත්තේ රිචඩ්, දොඩංගොඩට පස්සේ මම. නමුත් රාජපක්ෂ මහත්මයා මම ජ්‍යෙෂ්ඨ ඇමැති කරා. නමුත් මම පස්සෙන් ගිහින් ඇමැතිකම් ඉල්ලුවේ නෑ. එහෙම කරන මිනිස්සු නොවේ අපි. දුන්න දේ කරගෙන මම හිටියා. දුන්න ඇමැතිකමෙන් ගාල්ලට, රටට වැඩ කළා. ඒ වගේම ඉතින් මේ සැරෙත් ඇමැතිකමක් ලැබුණොත් හොඳට වැඩ කරනවා.

අපේ ඡන්ද දායකයා වැඩ කරාට ඡන්දෙ දෙන අය නොවේ. පසුගිය මැතිවරණය වෙලාවේ ආපු රැල්ලට මම හසුවුණා. මම මිනිස්සුන්ට දොස් කියන්නේ නෑ. ඔය දැන් යහපාලනයට එකතුවෙලා ඉන්න අයත් එදා කිව්වේ පනින පියසේනට දෙන්න එපා කියලා. තව අය එකතු වෙලා මට වට කරලා ගැහුවා. ගැහුවා විතරක් නෙවේ මාව සමුල ඝාතනය කරා. ඇත්තටම එදා වුණ දේ ගැන මට තියෙන්නේ කනගාටුවක්. අද ඇමැතිකම් අරගෙන ඉන්න අයත් මට කෙණෙහිලිකම් කළා. ඔය සියලු දේට අහුවුණ මම පැරදුණා. පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ හිනිඳුමට මන්ත්‍රී කෙනෙක් නෑ කියලා. එතකොට පරක්කු වැඩියි. දැන් යළිත් සාධාරණය ඉටු වෙලා තියෙනවා.

ඒ අනුව පසුගිය මැතිවරණයේ දී මනාප ඡන්ද 63955ක් ලබාගනිමින් එජනිස ලයිස්තුවේ 5 වන ස්ථානය දිනාගත් ගීතා කුමාරසිංහ මහත්මියට සිය පාර්ලිමේන්තු ‍අසුන අහිමි වන අතර පසුගිය මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස යටතේ තරග කර හත්වන ස්ථානය දිනාගත් හිටපු ඇමැති පියසේන ගමගේ මහතාට එයින් හිස්වන පාර්ලිමේන්තු අසුන හිමිවීමට නියමිතව ඇත. පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 47248ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ හත්වන ස්ථානයට පත් වූයේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතායි.

 

 


නව අදහස දක්වන්න