කුරුඳු හා ගම්මිරිස් අපනයන ආදායම වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා | දිනමිණ

කුරුඳු හා ගම්මිරිස් අපනයන ආදායම වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා

බෝග වශයෙන් කුරුඳු සහ ගම්මිරිස් අපනයන ආදායම වශයෙන් ඩොලර් මිලියන 289ක ආදායමක් රටට ලැබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ හරහා අප බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර පහක තුළදී ආදායම ඩොලර් මිලියන 1500ක් දක්වා වැඩි කිරීමට යැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා ඒ බව පැවැසුවේ පසුගිය 01 වැනිදාට යෙදුණු ලෝක සකසුරුවම් දිනය නිමිති කොටගෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ එක්ව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය දියත් කළ ‘වවමු ඉතිරි කරමු’ ජාතික සංවර්ධන වැඩසටහන වෙනුවෙන් කොල්ලුපිටිය ඉතිරි කිරීමේ බැංකු මූලස්ථානයේ පැවැති ගනුදෙනුකරුවන් සඳහා කෘෂි බෝග පැළ ලබාදීමේ නිල උත්සවයේදීය. එම උත්සවයට සමගාමීව ලංකාව පුරා ව්‍යාප්තව තිබෙන සියලුම ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවලදී කෘෂි බෝග පැළ ලබාදීමේ වැඩසටහනක් එදින දියත් කෙරිණි.

එම උත්සව සභාව අමතා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, සකසුරුවම් දිනය නිමිතිකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුව වසර ගණනක් තිස්සේ ගෙන ගිය වැඩපිළිවෙළට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් අපටත් යම් දායකත්වයක් ලබාදීමට හැකිවීම ගැන මම බොහෝම සතුටු වෙනවා.

ඇත්තටම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරීන් අපගේ නිලධාරීන්ට කතා කොට පැළ ලබාදීමේ වැඩපිළිවෙළට දායක වීමට ඉල්ලා සිටි අවස්ථාවේ පැළවල තිබෙන හිඟතාව නිසා යම් යම් ගැටලු මතු වුණත් ‘දිරිය කාන්තා’ දසලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ මේ පැළ ලබාදීමට අපි සැලැසුම් කළා. මොකද ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්වීම ලොකු ශක්තියක් ලෙසයි අප සැලැකුවේ. එසේම සතරදිග්භාගයේම සිටින විශාල ගනුදෙනුකරුවන් පිරිසක් මේ බැංකුව වටා එක්වී සිටිනුයේ ලොකු විශ්වාසයකින්. ඒ අනුව එම ගනුදෙනුකරුවන් අප අමාත්‍යාංශයටත් ලොකු ශක්තියක් අප දියත් කරන වැඩපිළිවෙළ සඳහා.

අද දිනයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 251 තුළින්ම ගනුදෙනුකරුවන්ට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබාදෙන මේ ගම්මිරිස් පැළවලින් නියම පලදාවක් ලබා ගැනීම ගනුදෙනුකරුවන්ගේ යුතුකමක්. ඒ වගේම අපි මේ හැම කෙනෙක්ගේම නම් ලියාපදිංචි කොට අපගේ ‘ධනසවිය’ වැඩසටහනට එක්කරගැනීමට කටයුතු කරනවා. ඒ තුළින් අපි බලාපෙරොත්තු වෙනවා අපනයන ආදායමට දායකත්වයක් ලබාගැනීමට මේ වැඩපිළිවෙළ හරහා. මට අවශ්‍ය කරන්නෙ එක දෙයක්. වර්තමානයේ අප රටට වැඩිම අපනයන ආදායමක් ගෙන එන්නෙ ඇඟලුම්වලින්. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාට කොයිතරම් බැණ වැදුණත් අදත් අප රටට 43%ක අපනයන ආදායමක් ගෙන එන්නෙ ඇඟලුම් කර්මාන්තයෙන්. ඊට පසුව සුද්දා ඇතිකළ තේ, පොල්, රබර්වලින් තමයි වැඩිම අපනයන ආදායමක් මෙරටට ගෙන එන්නෙ. මට අවශ්‍යයි කුළුබඩුවලිනුත් ඩොලර් මිලියන 1500ක් ඉහළ ආදායමක් මෙරටට ගෙන්වා දීමට අපගේ අමාත්‍යාංශය හරහා. අද ගම්මිරිස් කියන්නෙ ඉතාම පහසුවෙන් පොඩි ළමයකුට වුවත් වගා කළ හැකි ඉහළ ආදායමක් ලැබෙන බෝගයක්. ඒ නිසා මං හැමෝටම කියන්නෙ මෙවැනි වගාවන් වැඩි වැඩියෙන් ඉහළ දමා අපගේ අපනයන ආදායම ඉහළ දැමීමට එක්වන්නැයි කියා. මොකද අප අපනයන ආදායම ඉහළට ඔසවා තබන්නෙ නැතිව අනාගතයක් නොමැති බව ද ඇමැතිවරයා අවධාරණය කොට සිටියේය. 

අමිල මලවිසූරිය

නව අදහස දක්වන්න