යුද්ධයක් නැවත ඇති නොවීමේ ස්ථිර විසඳුමක් ලෙස රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සෑදිය යුතුයි | දිනමිණ

යුද්ධයක් නැවත ඇති නොවීමේ ස්ථිර විසඳුමක් ලෙස රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සෑදිය යුතුයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා‍වේ අනන්‍යතාව ‍ලොවට ‍පෙ‍නෙන ආකාර‍යෙන් අපි කටයුතු කළයුතුයි
- ඇමැති ෆයිසර් මුස්තාෆා

සෑම ජන කොටසකටම සාධාරණය ඉටුවන වැඩපිළිවෙළක් ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුයි
- මහින්ද යාපා අබේවර්ධන

සුළු ජාතීන් සියල්ල සිංහල ජාතීන් සමඟ බද්ධව යන තත්ත්වයක් නිර්මාණය වියයුතුයි
- රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්නන්

ජනවාර්ගික අර්බුදයක්, යුද්ධයක් නැවත ඇති නොවීමට ස්ථිර විසඳුමක් ලෙස රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ප්‍රතිනිර්මාණය කළයුතු බවත් ඒ සඳහා සද්භාවයෙන් එක්වන ලෙසත් කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.‍ජේ ‍සෙ‍නෙවිරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල සභාව අමතමින් ඊයේ (02) ප්‍රකාශ කළේය.

සියලු ජනවර්ගවල අයිතිවාසිකම් රකින පුළුල් බලතල බෙදීමකින් යුතු ඒකීය රටක් නව ව්‍යවස්ථා සම්පාදනය තුළ බිහිවිය යුතු බව පෙන්වාදුන් ඒ මහතා එම ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපතිවරයා පත්කිරීම ජනතා ඡන්දයෙන් කළයුතු බවද පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරු 10.30 ට ආරම්භ විය.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කෝඩීෂ්වරන් මහතා (දෙ.ජා.ස),- මේ යහපාලන රජය ප්‍රධාන පක්ෂ දෙකක් එකතු කරගෙන අනෙකුත් පක්ෂවල සහාය ඇතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් සකස්කර තිබෙනවා. මෙය රටේ තිරසාර සංවර්ධනයට හේතු වෙනවා. හැම අයෙකුගේම අයිතීන් ආරක්ෂා කරන්න වගකීමක් තිබෙනවා.

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා,- රටේ අපරාධ රැල්ලක් පැමිණීම, ආර්ථික වශෙයන් රට කඩාවැටී තිබෙනවා. අද ඇතැමුන් ජනතාවට බලය බෙදන්න කියනවා. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න මීට මාස 20 ට පෙර පටන් ගත්තා. විවිධ යෝජනා ඇතුළත් අනු කමිටු 6ක් පත්කළා. අවංකව මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අපි සහභාගි වුණා. එදත් අපි ඊට සහභාගි වුණා. එදා එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. අපි සැලැස්මක් අනුව යුද්ධය අවසන් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මේ රට තුළ යුද්ධය අවසන් කළා. එයින් අනතුරුව උතුරේ සංවර්ධනය ආරම්භ කළා. මේ සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පවසා අපි සාකච්ඡා ආරම්භ කරමු කීවා. නමුත් ඊට විශාල පිරිසක් විරුද්ධ වුණා. තේරීම් කමිටුවක් ද පත්කළා. නමුත් ඊට සහභාගි වුණේ නැ. අපි අවංකව කටයුතු කළා. අවංකව කටයුතු නොකළේ එක්සත් ජාතික පක්ෂයයි.

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනාවක් ගෙන එනවිට මේ සභාව තුළ ගිනි තිබ්බා. ඒ අය වීරයන් වුණා. ඔවුන් හැසිරුණේ එහෙමයි. අපි ඒකාබද්ධ විපක්ෂ්‍ය ලෙස අපේ අදහස් ඉදිරිපත් කළා. අපි ඒ කමිටු සඳහා සහභාගි වුණා. මේ ව්‍යවස්ථා සම්පාදක සභාව සම්බන්ධයෙන් අපිට සැක තිබුණා. ඒ සැක තිබුණත් අපි සහභාගි වුණා. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. අපි මේ ක්‍රියාවලියට ඉදිරිපත් වුණේ රට ජාතිය ගැන හිතලයි මේ ව්‍යවස්ථා යෝජනා සාධාරණීකරණය කරන්න අලුත් ව්‍යවස්ථාවක් ගැන මඟේ යෝජනාවන් ද ඉදිරිපත් කළා.

අද රට විතරක් නොව ජාතීන් වශයෙන් සමඟිය ඇතිවිය යුතු වෙනවා. ජනතා වරමක් නොමැතිව මේ දේ කරන්න යනවා. මධ්‍යම ආණ්ඩුවේ සෑම යෝජනාවක්ම පළාත් සභාවලට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ක්‍රියාදාමයෙන් පසුව සෑම දෙයක්ම පළාත් සභාවට යොමු කරන්න පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයට පළාත් වලට බලය පැවරූ පසුව පාර්ලිමේන්තුවේ බලයෙන් හෝ ජනමත විචාරණයකින් ඒ බලතල පවරා ගත නොහැකි පරිදි විධිවිධාන සකසා තිබෙනවා. මේ ඉදිරිපත්කර තිබෙන යෝජනා ක්‍රියාත්මක වුණොත් මෙතන ඉන්න මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරයි. උතුරේ කණ්ඩායම් බලය බෙදාහැරීම ඉල්ලා සිටින විට ඇතැම් දේශපාලනඥයන් ඊට ඔළුව වනන ප්‍රවේශයක් දක්නට ලැබුණා. දැන් දංගෙඩියට බෙල්ල තියන මොහොත පැමිණ තිබෙනවා. අපිට සිදුවන අනතුර ගැන කල්පනා කරනවා. මාස 20ක සාකච්ඡාවලින් පසුව යෝජනාවලියක් හැරෙන්නට තවදුරටත් ඉදිරියට ගොස් නැහැ. ශ්‍රී ලංකාවේ දේශසීමා නිර්ණය කිරීමේ බලය ජාත්‍යන්තරයට බාරයි. මෙය හොඳ දෙයක් නොවේ. අටෙප් දේශ සීම නිර්ණ්‍ය කිරීම අපි විසින් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා.

බලය බෙදීම පිළිබඳ තිබෙන සංකල්පය මම පිළිගන්නවා. එය ප්‍රයෝජනවත් වෙයි. උතුරු හැ නැගෙනහිර පළාත් එක් කිරීම සඳහා මුස්ලිම් ජනතාව එක්වෙනවා ද මම දන්නේ නැහැ. මුස්ලිම් කොංග්‍රසය බිහිවුණේ උතුරු හා නැගෙනහිර වෙන් කිරීමටයි. බලය බෙදීමෙන් සිදුවන්නේ සුගතියක් ද යන්න ඒ ජනතාවගෙන් ඇසිය යුතු වෙනවා. වතුකරයේ දෙමල ජනතාව වෙනුවෙන් ආරවුල් ඇතිකළ යුතු නැහැ. මේ ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තුවට බලතල අහිමි වෙනවා. උතුරේ දකුණේ සියලු ජනතාවට අසාධාරණයක් නොවන ලෙස විසඳුමක් දෙන්න අපිට අවශ්‍ය වුණා. ඒ වගේම යුද්ධය අවසන් කර නැවත පදිංචි කිරීම, යටිතල පහසුකම් දෙන්න අපිට සිදුවුණා. අපි 12500ක් එල්.ටී.ටී.ඊ පුනරුත්ථාපනය කර එළියට දැම්මා. අපි ජාතිවාදි ආගම්වාදී නැහැ. ඒ ගනයට අපිව දාන්න එපා. සෑම ජනකොටසකම අයිතිවාසිකම් පිළිබඳ මධ්‍යම ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කළයුතු වෙනවා. අපිට දැක්මක් තිබුණා. ලංකාවේ දෙමල ජනතාව වැඩියෙන් උතුරු හැ නැගෙනහිර නොව එයින් පිටත සිටිනවා. මේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමකින් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමෙන් එක් එක් ජනකොටස්වලට හානි සිදුවෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ රජයේ සාමුහික අදහස ඉදිරිපත් කළපසු මැතිවරණ ක්‍රමය ඉදිරිපත් කළයුතු වෙනවා. ආණ්ඩුවක් ලෙස එක ස්ථාවරයකට පැමිණිය යුතු වෙනවා. හාමුදුරුවරු, කාදිනල්තුමා ඇතුළු ජනතාවට මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සැක තිබෙනවා. පාර්ලිමේන්තුවේ මෙවැනි වැදගත් අවස්ථාවක තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලනවා. අපේ පැත්තේ 55ක් සිටිනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු මේ විපක්ෂයේ සියලු දෙනා තමන්ගේ ඡන්දය බුද්ධිමත්ව රට ගැන සිතා පාවිච්චි කරනවා. හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති ශෙල්වම් අඩේකලනාදන් මහතා කාරක සභා මුලසුනට පැමිණියේය.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා, - විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න එකඟ වී නැහැ. පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සිටිය යුතු වෙනවා. සන්නද්ධ අරඟලයක් සඳහා යළි ඉඩක් දියයුතු නැහැ. බලය බෙදීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා සිංහල දේශපාලන පක්ෂවල අවධානය යොමු වියයුතු වෙනවා. මේ සම්බන්ධයෙන් රවටනවා ද යන්න සැකයක් දෙමල ජනතාව තුළ තිබෙනවා.

පාර්ලි‍මේන්තු‍වේ සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, - හිටපු ජනාධිපතිවරයා‍ගේ කතා‍වේ දී ආණ්ඩුවට වැඩි ‍වේලාවක් ‍වෙන්කර බව පැවසුවා. නමුත් විපක්ෂයට වැඩිම ‍‍වේලාවක් ‍වෙන්කර ති‍බෙනවා. ඒකාබද්ධ විපක්ෂයට විනාඩි 228 ක් ‍වෙන්කර ති‍බෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා (ජ.වි.‍පෙ), -. ‍මේක ඒකීය රාජ්‍යයක් ‍වෙනවා. ලංකාව තුළ මුලින්ම ස්ථාපිත කළ 1972 ව්‍යවස්ථාව ජනතා කැමැත්තකින් ‍‍තොරව බිහිවී ති‍බෙනවා. අ‍පේ ව්‍යවස්ථාව ‍මේ වනවිට අවස්ථා 20ක දී සං‍ශෝධනය කර ති‍බෙනවා. අද වනවිට එක්සත් ජාතික පක්ෂය ඇඟ ‍බේරා ගැනී‍මේ ප්‍රතිපත්තියක නිරතව සිටිනවා. අපි එය පිළිකුලෙන් යුතුව ‍හෙළා දකිනවා.

කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.‍ජේ ‍සෙ‍නෙවිරත්න මහතා, - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ‍යෙන් අද වනවිට රටපුරා සාකච්ඡා කරනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ‍නො‍ව පවතින ව්‍යවස්ථාව සං‍ශෝධනය ප්‍රමාණවත් බවට ඇතැමුන් පවසනවා. නමුත් අපිට වගකීමක් ති‍බෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළා 1978 වස‍රේ දී තව එකක් සකස් කළා. ‍මේ ව්‍යවස්ථා ‍දෙකම සකස් ක‍ළේ ජනතා අනුමැතියකින් ‍තො‍රවයි. ‍මේ ව්‍යවස්ථා සකස්කරන විට සුළු ජාතීන් ඉවත් වුණා. නමුත් ‍මේ අවස්ථා‍වේ ර‍ටේ සෑම ජන ‍කොටසකටම අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දී ති‍බෙනවා. ජනමත විචාරණයකට යායුතු නැති සං‍ශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ‍ගෙනඑන බවට පැවසුවා. වත්මන් ආණ්ඩුව ව්‍යවස්ථාවට සං‍ශෝධනයක් ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකව බලය ‍බෙදීමට එකඟයි..

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පී.දිගම්බරම් මහතා,- සියලු ‍දේශපාලන පක්ෂ එක්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ‍මේ අවස්ථා‍වේ ගන්නා උත්සාහය ඉතා වැදගත්. ‍මේ රට ‍බෙදිය ‍නොහැකි සහ ඒකීය රාජ්‍යයක් වශ‍යෙන් පවත්වා‍ගෙන යායුතු ‍වෙනවා. නමුත් පසුගිය දශක කිහිප‍යේ දී විවිධ ගැටළුවලට මුහුණ ‍දෙන්න සිදුවුණා. කඳුරට ජනතාව ‍මේ සම්බන්ධ‍යෙන් විමසිලිමත් ‍වෙනවා. වත්මන් රජය යට‍තේ ‍දෙමල ජනතාවට තමන්ගේම ඉඩම් කැබැල්ලක හිමිකම ලබාදී ති‍බෙනවා. රට ‍බෙදීම සම්බන්ධ‍යෙන් අපි කිසිම ඉල්ලීමක් කර නැහැ. බුද්ධාගමට ති‍බෙන ප්‍රමුඛස්ථානය අපිට ගැටළුවක් නැහැ. එ‍හෙත් අ‍නෙක් ආගම්වලට ද සම බලතල ලබාදිය යුතු ‍වෙනවා.

රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කාරක සභා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය (එ.ජ.නි.ස),- රටක ව්‍යවස්ථාව ඉතාම වැදගත් ලියවිල්ලක්. ‍මෙය සම්පාදනය කරන ‍ජයම්පති වික්‍රමරත්න මහතාට අනුව ඩොලර් සහ පවුම් මවන යන්ත්‍රයක් ‍වෙනවා. ‍දෙමල ඊළාම්වාදීන් සිතන්නේ ඊළාම් සිහිනය ජයගත හැකි ‍නෛතික ලියවිල්ලක් ‍වෙනවා. ‍අපි ස්වෛරී රටක් දිනා ගන්න එදා සටන් කළ වීරවරුන්ගේ ‍ලෙයින් ‍තෙත් වුණු මාතෘභූමි‍යේ අපි සිට‍ගෙන ඉන්නවා. අ‍පේ ව්‍යවස්ථාව ජාත්‍යන්තර නීතියක් ‍නෙ‍වෙයි. පාර්ලි‍මේන්තුවට ති‍බෙන ව්‍යවස්ථාදායක බලය පළා‍තේ අභිමතයට යටකර දාන්න උත්සාහ ගන්නවා. ‍මෙවැනි නීති සම්මත කරන්න හැකිනම් ජනතාව ලබාදුන් පරමාධිපත්‍යයට සිදුවන්නේ කුමක් ද. නව සං‍ශෝධන හරහා පාර්ලි‍මේන්තු‍වේ බලය පළාත් සභාවට පවරා ති‍බෙනවා. ‍මෙවැනි සං‍ශෝධන සඳහා අත උස්සන්න ජනතාව ඡන්දය දී නැහැ.

පත්කළ මන්ත්‍රී අලී සහීර් මවුලානා මහතා (මු.‍කො‍),-ප්‍රජාතන්ත්‍රවාදී සන්ධිස්ථානයක අද අ‍පේ රට ඉන්නවා. ප්‍රගතිශීලී ජනතාවක් ‍ලෙස අපි ඉදිරියට යන්න ඕන. ව්‍යවස්ථාදායක ‍මෙ‍හෙයුම් කමිටුවල ඉන්න සාමාජිකයන් යම් උත්සාහයක් ‍ගෙන ති‍බෙනවා ර‍ටේ ජනතාවට අභිමාන‍යෙන් ඉන්නට හැකි අනාගතයක් සඳහා සහතිකයක් ලබාදී ති‍බෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ‍කෙ‍හෙළිය රඹුක්වැල්ල මහතා (එ.ජ.නි.ස),- මේ වැඩපිලි‍වෙ‍ලේ ආරම්භ‍යේ සිටම ‍නො‍යෙක් වාද විවාද ඇතිවුණා. කාරක සභාව 73 වරක් මුණගැසී ති‍බෙනවා. එයින් පසුව ‍දේශපාලන පක්ෂ 6ක් වාර්තා 6ක් ඉදිරිපත්කර ති‍බෙනවා. නමුත් තවත් වාර්තාවක් ඉදිරිපත්කර ති‍බෙනවා. එයි අයිතිකරු කවුද. ‍මේ ව්‍යවස්ථාව සම්බන්ධ‍යෙන් කටයුතු කළ ලාල් වි‍ජේනායක මහතා මුල සිටම ‍ෆෙඩරල් මතයක සිටියා. අ‍නෙක් අතර ආචාර්ය ජයම්පති වික්‍රමනායක මහතා ‍මේකට සම්බන්ධ ‍වෙනවා. ඔහු සමසමාජ පක්ෂ‍යේ ප්‍රබල සාමාජික‍යෙක්. ඔහු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු‍වෙන් ‍ගෙනත් ‍මේ කාර්යය බාර‍දෙනවා. ‍මෙතන සැකයක් සි‍තෙනවා

මාත‍ලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී ‍රෝහිණී කුමාරි වි‍ජේරත්න මහත්මිය (එ.ජා.ප),- විවිධ අවස්ථාවල අ‍පේ රටට ව්‍යවස්ථාවන් ‍ගෙනැවිත් ති‍බෙනවා. 1978 ව්‍යවස්ථා‍වේ අඩුපා‍ඩු ති‍බෙනවා. සං‍ශෝධන 20ක් ඉදිරිපත්කර ති‍බෙනවා. අපි ‍මේ වනවිට හදුනා‍ගෙන ති‍බෙන ගැටළුවලට විසඳුම් දියහැකි නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ‍වෙනවා. වචන හරඹයකට එහාගිය ව්‍යවස්ථාවක් නිර්මාණ්‍ය කිරීම ‍වෙනු‍වෙන් සියලු ‍දෙනාම එක්විය යුතු ‍වෙනවා. ජාතික ගීය ද්‍රවිඩ බසින් ගායනා කළ පමණින් ජාතික සංහිඳියාව නිර්මාණය වන්නේ නැහැ.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා,- ශ්‍රී ලංකා‍වේ අනන්‍යතාවය ‍ලොවට ‍පෙ‍නෙන ආකාර‍යෙන් අපි කටයුතු කළයුතු ‍වෙනවා. සියලු ජනතාව සමඟ විවිධත්ව‍යෙන් යුතුව ඉදිරියට යන්න අවශ්‍ය ‍වෙනවා. ශ්‍රී ලංකා‍වේ ‍දේශපාලනය වර්ගවාදය, ජාතිවාදීව සිදු‍වෙනවා. ඒ තත්ත්ව‍යෙන් ඉවත් වියයුතු ‍වෙනවා. සෑම ‍දෙයක්ම කතා කරන්නේ තමන්ගේ ‍දේශපාලන අරමුණු ‍වෙනු‍වෙන්. පැලැස්තර එකතු කිරීම ‍වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කළයුතු ‍වෙනවා. ‍මේ අවස්ථාව වනවිට සමස්ත පාර්ලි‍මේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්ව ති‍බෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සම්බන්ධ‍යෙන් ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා ‍පො‍රොන්දුවක් ලබාදී ති‍බෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්.

‍මෛත්‍රීපාල සිරි‍සේන මහතාට ස්වාධීන තීරණ ගන්න බැහැ. ඒකීය යන වචනය සම්බන්ධ‍යෙන් ඇතැමුන් ප්‍රශ්න නඟනවා. ලංකා‍වේ ස්වෛරීභාවයට හානි වන වගන්ති ඉදිරිපත් කිරීමට අපි විරුද්ධයි.

කතානායක කරූ ජයසූරිය මහතා කාරක සභා මුලසුනට පැමිණියේය.

නියෝජ්‍ය කාරක සභා සභාපති ශෙල්වම් අඩේකලනාදන් මහතා, - පසුගිය කාල‍යේ ආයුධ සන්නද්ධ අරඟල තිබුණා. ‍ ‍ වසර 30ක යුද්ධයක් තිබුණා. ‍මේ ආයුධ සන්නද්ධ සටන අවසන් වූ පසුව අද යම් ගමනක් පැමිණ ති‍බෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ කටයුතු කරනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කාරක සභා මුලසුනට පැමිණියේය.

‍ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා (එ.ජා.ප), - ‍මේ ර‍ටේ අපි අතර ‍බෙදීමක් ති‍බෙනවා. ඒ සමඟයි ‍මේ සාකච්ඡාව ආරම්භකර ති‍බෙනවා. අපි විවිධ ආකාරයට ‍බෙදිලා ඒකීය රටක් අ‍පේක්ෂා කරන්නේ ‍කො‍හොමද. අපි හදවතින් විවෘත වියයුතු ‍වෙනවා. අපි මනසින් හැ‍දෙන්න අවශ්‍ය ‍වෙනවා. පසුගිය ව්‍යවස්ථාවන් ‍ගෙ‍නෙන අවස්ථාවල ජනතාව‍ගේ අනුමැතිය ලබා‍ගෙන නැහැ.

සියලු ජනතාවට එකා ‍මෙන් ජීවත් වීමට අවශ්‍ය ‍වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස), - ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ති‍බෙනවා. නමුත් එය කුමටද අවශ්‍ය වී ති‍බෙන්නේ. ‍මේවා සිදුවිය යුත්තේ කා ‍වෙනු‍වෙන් ද. ර‍ටේ ජනතාව‍ ‍වෙනු‍වෙන් ‍මේවා සිදුවිය යුතු ‍වෙනවා. අද සියයට ගණනක ජනතාවට කන්න නැති තත්ත්වයක් ති‍බෙනවා. දුප්පත්කම නැති කරන්න අවශ්‍ය ‍වෙනවා. කිසි‍වෙකු ‍නොව ර‍ටේ ජනතාව සතුටු කරන ව්‍යවස්ථාවක් අවශ්‍ය‍ ‍වෙන්නේ. සැප විදින ‍වෙනත් රටවල ‍දෙමල ඩයස් ‍පෝරාව සතුටු කරන්න ‍දෙමල ජාතික සන්ධානය උත්සාහ කරනවා. නමුත් ර‍ටේ ජනතාව ඉල්ලන්නේ තමන්ගේ දරුවන්ට ‍හොඳ අනාගතයක් නිර්මාණය කරන්නයි. පංති පරතරය ‍වෙනස් වියයුතු ‍වෙනවා. වසර 30ක යුද්ධය අවසන්කර උතුරට ප්‍රායෝගික වැඩපිළි‍වෙලක් මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන්නා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එ.ජා.ප),- ප්‍රධාන පක්ෂ ‍දෙකක් අද වනවිට එකතු වී ආණ්ඩුව ‍ගෙන යනවා. ‍මේ සියලු පක්ෂ ර‍ටේ ගැටළුවලට විසඳුමක් ‍දෙන්න එක්ව සිටිනවා. ‍මෙවැනි තත්ත්වයක් යළි උදා‍වෙයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. විවිධ අදහස් ති‍බෙන්න පුළුවන්. ‍මේ ර‍ටේ ජනතාව‍ගේ අදහස් ලබා‍ගෙන පාර්ලි‍මේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කොට එහි කමිටු 6 ක්ද පත්කර ති‍බෙනවා.

‍පත්කළ මන්ත්‍රී කේ. තු‍රෙයිරත්නසිංහම් මහතා (‍දෙ.ජා.ස)-නිදහස් අරඟල‍යේ දී සියලු ජාතීන් සමඟි‍යෙන් සටන් ‍කොට රට නිදහස් කර ගන්නට පියවර ගත්තා‍. එදා ‍බෙදුම්වාදය තිබු‍ණේ නැහැ. ආගම් ‍භේදය අමතක කර කටයුතු කළා. ‍මේ ර‍ටේ පාලන ක්‍රමයේ තිබූ යම් යම් අඩුපාඩු ‍හේතු‍වෙන් යම් යම් ගැටළු ඇතිවුණා. එයින් පසුව දිඟින් දිඟටම ‍බෙදුම්වාදී සටන් පාඨ සහ ‍සෙසු සටන් පාඨ නිසා ජාතීන් අතර විරසක වුණා. ‍දෙමල ජාතිය තමන්ගේ විමුක්තිය ‍වෙනු‍වෙන් සටන් කළා.

පත්කළ මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එ.ජා.ප),-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී අපේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සියලු ජාතීන් ජීවත්වන රටක් ශ්‍රී ලංකාව. බහු වාර්ගික, බහු ආගමික තත්ත්වයන් හදුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ජාතීන් හතරකින් ශ්‍රී ලාංකිකයන් සමන්විත වෙනවා. මේවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වියයුතු වෙනවා. ජනවාර්ගික අර්බුදය විසඳන්නට උත්සාහ කරන අවස්ථාවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාවෙන් යෝජනා ඉදිරිපත්කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා (එ.ජ.නි.ස),- පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හානි වන්නේ නම් රට හානියට පත් වෙනවා. ඒ වඟේම ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක්කළ යුතු නැහැ. රටේ සෑම ජන කොටසකටම සාධාරණය ඉටුවන වැඩපිළිවෙලක් ව්‍යවස්ථාවේ ඇතුළත් වියයුතු වෙනවා. සිංහල ජනතාව කිසිදා ජාතිවාදී ලෙස කටයුතු කර නැහැ. අනෙක් ජනතාව සමඟ සමඟියෙන් සිටියා. නමුත් ජාතිවාදය ඇති කළේ දේශපාලඥයින්. මේ රටේ ප්‍රශ්න විසඳන්න අපි සියලු දෙනාම සහාය ලබාදෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කාරක සභා මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් නවාවි මහතා (එ.ජා.ප),-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය වන්නේ රටේ ජනතාවට හිතකර ලෙසයි. ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව බෙදිය නොහැකි රටක් වෙනවා. මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කළයුතු වෙනවා. ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න විසඳන්නට යනවිට අමාත්‍යාංශ 4ක් 5ක් පමණ ඊට මැදිහත් වෙන්න වෙනවා. අපට ලැබී තිබෙන මේ මහඟු අවස්ථාවේ සියලු දෙනාම එක් රටක් ලෙස ජීවත් වන්නට කටයුතු කළයුතු වෙනවා.

ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී ඒකනායක මහතා,- උතුරේ හා නැගෙනහිර ප්‍රශ්න විසදන්න සෑම ආණ්ඩුවක්ම පියවර ගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුව විසින් විවිධ සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කළා. යම් අවස්ථාවක සංවර්ධනය නොවුණා නම් ඒ යුද්ධය නිසා සිදුව තිබෙනවා. අද සෑම දේශපාලන පක්ෂයකම සහයෝඟයෙන් උතුරේ සංවර්ධන කටයුතු කරගෙන යනවා.

පසුගිය කාලයේ උතුරේ තිබූ බිම්බෝම්බ ඉවත්කර සංවර්ධනය කරන්න සිදුව තිබෙනවා. වාර්ගික අර්බුදයක් ඇති නොවන ලෙස අපි කටයුතු කළයුතු වෙනවා. ජාතිවාදී උන්මත්තකයන් විසින් මේ රටේ අර්බුද ඇතිකරන්න උත්සාහ ගන්නවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එ.ජා.ප), - අද වනවිට ඉතා වැදගත් සන්ධිස්ථානයකට අපේ රට පැමිණ තිබෙනවා. අපි වසර 69ක් පුරා ප්‍රාර්ථනා කළේ ඒකයි. අද ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වෙන්න හැකියාව ලැබී තිබෙනවා. අපි එකිනෙකා අතර වෛරයෙන් කටයුතු කළා. ඒ නිසාම බෙදී වෙන්ව කටයුතු කළා. නමුත් අද රටේ සෑම නායකයෙකුටම එක් තැනකට පැමිණ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් ඊට විරුද්ධ පිරිසක් ඉන්නවා. දකුණේ වගේන උතුරේ අන්තවාදීන් පිරිසක් ඉන්නවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා (එ.ජ.නි.ස),- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල අනුකමිටුවක සාමාජිකයෙකු ලෙස මම මේ සඳහා දායකත්වය ලබාදුන්නා. අලුත් ව්‍යවස්ථාවක් හනද විට ඒ තුළ අනුකමිටු වාර්තාව එලෙසින්ම සමන්විත වන්නේ නම් විමල් වීරවංශ මහතා දැක්වූ අදහසට මඟේ විරෝධයක් නැහැ. ඒ හරහා අපේ රට විනාශ වීම කිසිවෙකුට නතර කරන්න බැහැ. නව යෝජනාව හරහා ජාතීන් අතර ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කළයුතු වෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති ශෙල්වම් අඩේකලනාදන් මහතා කාරක සභා මුලසුනට පැමිණියේය.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඉබ්‍රහිම් මන්සූර් මහතා (එ.ජා.ප),- ජනතාව අතර සමඟියෙන් සාමයෙන් කටයුතු කරන්නේ නම් ස්ථිරසාර සාමයක් රටට ළඟාකර ගන්න පුළුවන්. අපිට පිටුපසින් සිටි රටවල් විශාල ප්‍රමාණයක් අද අපේ රටට වඩා ඉදිරියේ ඉන්නවා. සංවර්ධනයට බාධාවක් ලෙස පැවැති කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජාතිවාදය, ආගම්වාදය ඊට මුල් වී තිබෙනවා. පසුගිය කාලයේ පැවැති යුද්ධය අවසන් කරන්නට දහස් ගණන් ජීවිත බිලිදී තිබෙනවා. කෝටි ගණනින් මුදල් වැයකර තිබෙනවා. යළි එවැනි තත්ත්වයන් ඇති නොවන ලෙස කටයුතු කළයුතු වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එ.ජ.නි.ස), - අද ව්‍යවස්ථා සම්පාදනය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නැහැ. මේ ක්‍රියාවලිය මීට වඩා පාරිදෘෂ්‍ය ආකාරයෙන් සිදුවිය යුතු වෙනවා. මමත් මෙහි අනුකමිටුවක් නියෝජනය කරනවා. අපේ අදහස් මෙහි සදහන් නොවීම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව දැනුවත්කර තිබෙනවා. අපි ලිඛිතව අදහස් බාරදී තිබෙනවා. නමුත් මේ දක්වා මෙහෙයුම් කමිටුවෙන් පිළිතුරක් ලබාදී නැහැ. රාජ්‍ය නොවන සංවිධාන මේ නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමෙහිලා පෙරගමන්කරුවන් ලෙස කටයුතු කරනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපි ජාතිවාදී නැහැ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා (එ.ජා.ප),- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිඳු බෙදීමක් අපේක්ෂා කරන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාත් එක්කිරීම සම්බන්ධයෙන් ද මෙහි සදහන් වෙනවා. එම පළාත් දෙක එක් කිරීමෙන් මුස්ලිම් ජාතීන්ට සිදුවන්නේ කුමක් ද යන්න කල්පනා කළයුතු වෙනවා. දෙමල ජනතාව අතර මුස්ලිම් විරෝධී තත්ත්වයක් තිබෙන විට මේ පළාත් දෙක එක්කිරීම ගැටළුවක් වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එ.ජ.නි.ස), - දැනට ඉදිරිපත්ව තිබෙන අතුරු වාර්තාව පදනම් කරගෙන ව්‍යවස්ථාව ඉදිරිපත් කළයුතු නැහැ. දෙමල සන්ධාන මන්ත්‍රීවරුන් පවසන්නේ ඔවුන්ගේ ගැටලු විසඳන්න නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී කරුණු කිහිපයක් සැලකිල්ලට ගතයුතු වෙනවා. මේ ව්‍යවස්ථාව ගේන්න යන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු කළයුතු වෙනවා. අපි ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා (එ.ජා.ප),- එදා ඩී.එස් සේනානායක මහතා මේ රටේ සියලු ජාතීන් සමඟ එක්ව රටට නිදහස ලබාගන්න කටයුතු කළා. සංස්කෘති, ආර්ථික, දේශපාලනික වශයෙන් නිදහස ලබාගත්තා. ජාතියේ එකමුතු බව එදා ඉදිරියට ආවා. එයින් පසුව සිංහල රාජ්‍ය භාෂාව කරන්නට කටයුතු කළා. ඒ හේතුවෙන් මේ රටේ ප්‍රශ්න රැසක් ඇතිවුණා. යුද්ධය හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍ර විජිත බේරුගොඩ මහතා (එ.ජ.නි.ස)- ව්‍යවස්ථාව රටක් පාලනය කරන ලියවිල්ලක්.නව ව්‍යවස්ථාවක් පටු අරමුණු මත තවත් දේශපාලන කණ්ඩායමක් මර්ධනයට ගේනවනම් ඒක අනුමත කරන්න බෑ.සමාජ අසමානතා නිසා මේ රටේ තරුණ නැගිටීම් ඇතිවුනා. කොළඹට කිරි අපට කැකිරි කිව්වේ ඒ නිසයි.වසර 30ක යුද්ධයක් මේ රටේ තිබුණා.හිටපු ජනපති ඒක නැතිකලා.ප්‍රශ්න විසදන්න ආපු රජය මොකද කළේ. අද රැකියා නැ.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්නන් මහතා,-මේ රටේ කදුරට ජනතාව පීඩා වින්දා. ශ්‍රිමා සාස්ත්‍රි ගිවිසුමෙන් ඉන්දියාට පිටුවහල් කලා.හිටපු ජනපති ප්‍රේමදාස මහතා ඹවුන්ට පුරවැසි භාවය දීලා අයිතීන් සුරැකීම ගැන අපි ස්තූතිය පුද කරනවා. අනාගතයේ දී ජනතාව තෘප්තිමත් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. රටට සාමයක් ඇති කරන්න නම් අනිවාර්යයෙන් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙනවා. ගැටුම් ඇතිවන තත්ත්වයන් වෙනස් වියයුතු වෙනවා. සුළු ජතීන් සියල්ල සිංහල ජාතීන් සමඟ බද්ධව යන තත්ත්වයක් නිර්මාණය වියයුතු වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා (එ.ජ.නි.ස),- එදා ප්‍රභාකරන්ගේ ගැටලුව සුළුවෙන් පටන් ගන්නා විට එය අවසන් කරන්න එදා පාලකයාට බැරි වුණා. ඔවුන් මුලින්ම මරා දැම්මේ දෙමල දේශපාලඥයෙක්. අවුරුදු 30ක ප්‍රශ්නය ඇතිවුණේ එහෙමයි. එය ඉවර කරන්න අවස්ථාව ලැබුණුම පරිප්පු සහ බී ළුණු වලට බිය වී එයින් ඉවත්වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය අවසන් කරන්න පියවර ගත්තා. සිංහල ජනතාව ජාතිවාදි නැහැ. සිංහල ජනතාවට විරුද්ධව ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළත් සිංහල ජනතාව කිසිදාක දෙමල ජනතාවට එරෙහිව කටයුතු කර නැහැ. සියලු දෙනාටම සමානව තිබිය යුතු දේවල් දෙමල ජනතාවට ලබාදෙන්න සිංහල ජනතාව කැමැතියි. මේ ව්‍යවස්ථාවට එරෙහිව මහානායක හිමිවරු කතා කරන්නේ ඇයි. කුමක් හෝ ගැටළුවක් මෙතන තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාව ලබන (08) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතයි. 

නව අදහස දක්වන්න