සාමකාමී ලොවක් ගොඩනැඟීමට ආගමික දර්ශනවල මඟපෙන්වීම වැදගත් | දිනමිණ

සාමකාමී ලොවක් ගොඩනැඟීමට ආගමික දර්ශනවල මඟපෙන්වීම වැදගත්

සාමකාමී ලොවක් ගොඩනැඟීමට ආගමික දර්ශනවලින් ලබාදෙන මඟපෙන්වීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47ක ප්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිති.

‘ලෝක සාමය උදෙසා බුදු දහම‘ යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුව ඊයේ සිට 07 වනදා දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 02 සහ 03 දෙදින එය අරලියගහ මන්දිරයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී ද, නොවැම්බර් 04 වන දින සමාප්ති උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ද පැවැත්වේ.

ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සඳහාත්, ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වන ප්‍රකාශයක් එළිදැක්වීමට ද නියමිතය.

මෙම සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝකයේ පවතින විවිධ අර්බුද සහ ගැටුම්කාරී තත්ත්ව අවම කරමින්, සාමකාමී ලෝකයක් ගොඩනැඟීමේදී ආගමික දර්ශන තුළින් සිදු කෙරෙන මඟපෙන්වීම ඉතා වැදගත් බවයි.

බුදු දහමින් පෝෂණ වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් වන ශ්‍රී ලංකාවේදී මෙවර මෙම බෞද්ධ සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ලැබීම පිළිබඳ මෙහිදී සිය සතුට පළකළ ජනාධිපතිවරයා මෙම බෞද්ධ සමුළුව තුළින් ලෝකයට ලබාදෙන පණිවිඩය කාලානූරූපිව ඉතාමත් සුවිශේෂී බව ද කියා සිටියේය.

බෞද්ධ සමුළුවේ සභාපති කම්බා ලාමා ගබ්ජු ස්වාමින් වහන්සේ විසින් සමුළුවේ ආරම්භක දේශනය සිදු කළහ.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුව නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරු ද දෙස්, විදෙස් ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න