දෙවන පෑතිස් යුවරජු නාගසේන කුමරු ඉදිකළ තොටගමු රජ මහා වෙහෙර | දිනමිණ

දෙවන පෑතිස් යුවරජු නාගසේන කුමරු ඉදිකළ තොටගමු රජ මහා වෙහෙර

ලෝ පතළ වෙහෙර විහාර අතර පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පහතරට ඇති පැරණිම පූජනීය ස්ථානය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙන මේ විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍ර‍දේශයට ආසන්නව ‍තෙල්වත්ත නම් ග්‍රාමයේ පිහිටා ඇත.

ගාල්ල, කොළඹ මහා මාර්ගයේ ගමන් ගන්නා අයකුට කොළඹ සිට ගමන් ගනිද්දී කහව ප්‍රදේශය පසු කොට කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යනවිට පුරාණ තොටගමු රජමහා වෙහෙර යනුවෙන් සඳහන් පුවරුවක් දකුණු පසින් දකින්නට ලැබේ. එතැනින් මීටර් 500ක් පමණ නැ‍ඟෙනහිරට පිහිටි මාර්ගයෙන් ගමන්ගත් විට මනරම් වාහල්කඩකින් යුත් ‘තොරගමු වෙහෙර හමුවේ.

තොටගමු විහාරයේ ආරම්භය, අප රට තුළ සංස්කෘතික මෙන්ම ආකල්පමය හා ආගමික වෙනසක් ඇති කළ අනුරාධපුර යුගය වෙත ඇදී යන්නේය. එවකට අනුරාධපුර රාජධානියේ මහරජු වූ දෙවන පෑතිස් රජු විසින් යුව රජු වූ නාගසේන ‍සොයුරු වෙත ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය සිදු කිරීමට භාරදුන් පසු නාගසේන යුව රජ විසින් ප්‍රථමයෙන්ම දකුණු පුරවරයේ ස්ථාපිත කළ විහාරය තොටගමු විහාරය තොටගමුව, විහාරය නමින් ඉතිහාස ගත වේ.

මිහිඳු හිමිගේ ධර්ම ප්‍රචාරයෙන් පසු දිවයි‍නේ විවිධ ප්‍රදේශයන්හි රහතුන් වහන්සේලා වැඩ සිටි අතර එවන් රහතුන් වහන්සේලා බිහිවූ එක් ස්ථානයක් ලෙසින් ‍තොටගමු විහාරය ද ප්‍රකටය. ඒ හේතුවෙන්ම තොටගමු විහාරයට “රත්පත්” නාමයද ඈදී තිබේ. ‘රහත් භාවයටපත්’ යන අරුත එයින් හැඟවෙන බව ඉතිහාසයේ සඳහන්ය. මේ පිළිබඳ ලිඛිත සාක්ෂි අපට හමුවන්නේ අනුරාධපුර යුගයේ ක්‍රි. පූ. 08 - 10 සියවස්වලට අයත් ශිලා ලේඛන මඟිනි. අදටත් මෙම විහාර භූමියේ නාථ දේවාලය වටා පිහිටි ශිලා ස්ථම්භ හත විහාරයේ පෞරාණිකත්වයට සාධක සපයයි.

ලංකාවේ දෙවන රාජධානිය වන ‍පොළොන්නරුවේ පළමු වන විජයබාහු (ක්‍රි. ව. 1051 - 1106) ‍තොටගමු විහාර භූමියේ හතළිස් පස්රියන් ප්‍රාසාදයක් කරවා ඇති බව මහා වංශය සඳහන් කරයි. එපමණක් නොව විජයබාහු රජතුමා විසින් ඇති කරන ලද ආගමික පුනරුදය නිසා විහාරය ප්‍රසිද්ධියට පත් වී ඇත. සොළොස්වන සියවසට අයත් ජින චරිතය විජයබාහු රජතුමා විසින් පිළිසකර කළ මෙම විහාරය රාජවංශයේ ධජයක් ලෙස හඳුන්වයි.

ඉන් පසු ලක්දිව පාලනය කළ රජ පරපුර විටින් විට මෙම විහාරය වෙත අවධානය යොමු කළ අතර ක්‍රි. ව. 1302 – 1326 දක්වා රජකම් කළ සිව්වන පරාක්‍රමබාහු රජතුමා ‍මෙම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ‍දෙමහල් ප්‍රාසාදයක්ද කරවා එතෙක් පැවැති විජයබා පිරිවෙන විශ්වවිද්‍යාලයක් මට්ටමට ගෙන එන ලදී. තුදුස්වන හා පසළොස්වන සියවස් කාලය තුළ මෙම මහා පිරිවෙනේ බහුශ්‍රැත මහ සඟපරපුරක් ඇති වූ බව පෙනේ. මොවුන් අතර ගලකුරුමුල මෛත්‍රීය මා හිමි සහ උත්තරමුල රාහුල මහ තෙර ආදී මහ පඬිවරු මෙහි අධිපතිත්වය දැරූ බව සඳහන් වේ.

ඉන්පසුව වෑත්තෑවේ හිමි සහ වීදාගම මෛත්‍රීය හිමි ද තොටගමු විහාරයේ භාරකාරත්වය දරමින් වැඩ සිටි අතර වීදාගම මෛත්‍රීය හිමිගේ ගෝලයකු ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, පෛසාමි, සෞරසේනි, අපභ්‍රංස යන භාෂා හයෙහි කෙළ පැමිණි උගතෙක් වූහ. එබැවින් උන්වහන්සේ ෂඩ් භාෂා පරමේශ්වර වූහ. කාව්‍ය කරණයේද කෙල පැමිණි රාහුල හිමි තොටගමු විහාරයේ විහාරාධිපතිත්වය දැරෑ අතර විජයබා පිරිවෙනේ පරිවේණාධිපතිධූරය ද දරන ලදී.

කෝට්ටේ යුගයේදී රාජ්‍යය මෙහෙයවු හය වැනි පැරකුම්බා රජුගේ නොමද සහාය හා රාජ්‍ය අනුග්‍රහයෙන්, ශ්‍රී රාහුල හිමිගේ හසල බුද්ධි ප්‍රභාවත් හේතුවෙන් පහ‍ළොස්වැනි ශත වර්ෂය වන විට තොටගමු රජමහා විහාර විජයබා පිරිවෙන ලෙස උසස් විද්‍යාස්ථානයක් බවට පත්ව තිබේ. එම විද්‍යාතනයේ බොහෝ දෙස්, විදෙස් ගිහි, පැවිදි සිසුන් අධ්‍යාපනය හැදෑරූ බව සඳහන් වේ. ඔවුන් කාව්‍ය, ඡන්දස්, තර්ක ශාස්ත්‍රය , තුන් පිටකය, ගුප්ත විද්‍යා, සකු, මගධ, දෙමළ භාෂා, වෛද්‍ය ශාස්ත්‍රය, අර්ථ ශාස්ත්‍රය, ආදී බොහෝ දෑ ‍මෙම උසස් පිරිවෙන් ආයතනයෙන් ඉගෙන ගත් බව විහාර ඉතිහාසය හා විජයබා පිරිවෙන් ඉතිහාස සාක්ෂි දරයි.

මෙය සනාථ කරමින්, 1916 දී සර් පොන්නම්බලම් අරුණාචලම් කල්කටා විශ්වවිද්‍යාලයේදී පෙරදිග මහා පඬිවරුන් අමතා කළ දේශනයෙහි සඳහන් වන්නේ යු‍රෝපීය විශ්වවිද්‍යාල බිහි වන්නේ දහ අටවන සියව‍සේදී බවත් ඊට ප්‍රථම‍යෙන් පසළොස්වන සියවසේදී ශ්‍රී රාහුල හිමිගේ අධිපතිත්වයෙන් විශ්වවිද්‍යාල තත්ත්වයේ මහා විද්‍යාපීඨයක් ශ්‍රී ලංකාවේ තොටගමු රජමහා විහාරයේ පැවැති බවත් ය . එයින් පෙනී යන්නේ මීට ශත වර්ෂ හයකට පෙරද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය විශ්ව කීර්තියට පත්ව ඇති බවය.

තොටගමු විහාරයටත්, විජයබා පිරිවෙනටත් ලක් දෙරණටත් මිණි පහනක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ චරිතාප්‍රදානය ගත් කල ඉතිහාසයේ සඳහන්වන ආකාරයට තොටගමු විහාරයේ විහාරාධිපතීව වැඩ හිඳ අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍ර විශාරද ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර ස්ථවිරයාණන් වහන්සේගේ “සිරි රහල් මා හිමි” නම් ග්‍රන්ථයේ සඳහන්වන පරිදි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 1408 වසරේදී උපත ලබා වර්ෂ 83 ක් ආයු වින්දනය කර 1491 වර්ෂයේදී අපවත් වී වදාළ බවය.

ශ්‍රී ලාංකීය සාහිත්‍ය ඉතිහාසයේ කෘති ගණනාවක්ම තොටගමු විහාරය ආශ්‍රිතව බිහිවී ඇති බැව් පෙනෙන කරුණකි. මෙම විහාරයට සම්බන්ධකම් තිබූ වීදාගම මෛත්‍රිය හිමි විසින් රචනා කරන ලද ලෝවැඩසඟරාව, බුදුගුණ අලංකාරය, හංස සංදේශය ද, වෑත්තෑවේ හිමිගේ ගුත්තිල කාව්‍ය හා තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය, පරවි සංදේශය හා කාව්‍යශේඛරය යනාදී ග්‍රන්ථ ප්‍රධාන තැනක් ගනියි. තොටගමු විහාරාශ්‍රිතව බිහිවූ සාහිත්‍ය කෘතීන්ගේ ආභාෂය ලබමින් එවකට අප රට පාලනය කළ නරපතීන්ද සාහිත්‍ය සඳහා ඇල්මක් දැක්වූ බව සනාථ කරමින් දෙවන පැරකුම්බා රජු විසින් කව් සිළුමිණ, ශිලා, මේඝ රජතුමා විසින් සියබස්ලකර, දෙවන ධර්මකීර්ති රජතුමා විසින් නිකාය සංග්‍රහය හා කවීශ්වර රජතුමා විසින් මයුර සංදේශය යන කෘති රචනා කරන ලදී. මෙයින් පෙනී යන්නේ තොටගමු විහාර භූමියෙන් හෙළ සාහිත‍ කෙතට පූර්වාරම්භයක් හා ජවයක් ලබා දී ඇති බව නොවේද? වීදාගම මෛත්‍රී හිමි සහ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත තවත් කෘති එදවස බිහි වන්නට ඇති බව පුරාවිද්‍යා මතයයි. එහෙත් පෘතුශ්‍රීසීන්ගේ ආක්‍රමණය හේතුවෙන් ඒවා විනාශ වන්නට ඇත. නැතහොත් ඔවුන් ඒවා රැගෙන යන්නට ඇත. එසේ අනුමාන කිරීමටද සාධාරණ හේතුවක් තිබේ. තොටගමුවේ රාහුල හිමි ගුප්ත ‍වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් තිබූ යථිවරයාණන් නමකි. උන්වහන්සේ ඒ පිළිබඳ පුස්කොළ පොත් රචනා කර තිබෙන්නට ඇත. රාහුල හිමි අද්භූත බලවේගයන් බන්ධන කොට ඔවුන්ගෙන් බොහෝ දේ ඉටු කරගෙන ඇති බව ජනප්‍රිය මතයකි. එහෙයින් ඒ පිළිබඳ බොහෝ තොරතුරු සටහන්වී තිබෙන්නට ඇත. තවද වීදාගම මෛත්‍රී හිමි වෛද්‍ය විද්‍යාව පිළිබඳව නිපුණත්වයක් දැක්වූ අයෙකි. උන්වහන්සේද දේශීය වෛද්‍ය විද්‍යාව ගැන කුමක් හෝ කරුණු සටහන් තබා තිබෙන්නට ඇත.

මේ කරුණු සත්‍ය වන්නට ඇතැයි අනුමාන කිරීමට ඉතිහාසය හා බැඳී එන යම් යම් කරුණු කාරණා තිබේ. එයින් වඩාත් වැදගත් වන්නේ තොටගමු විහාර භූමිය තුළ ‘විජයබා උසස් අධ්‍යාපන ආයතනයක්’ පවත්වාගෙන ගිය නිසා එහි බො‍හෝ විෂයන් ඉගැන්වූ නිසාත් ඒ හා සම්බන්ධ වටිනා පොත් විශාල වශයෙන් තිබෙන්නට පුළුවන. මේවා පුස්කොළ පොත් වශයෙන් සකස් වී තිබීම හේතුවෙන් පරදේශක්කාරීන්ගේ විනාශකාරී හස්තයන්ට ඒ වටිනා ග්‍රන්ථ සියල්ල ගොදුරු වන්නට ඇති බව විශ්වාස කළ හැකිය.

මතක ශක්තිය වර්ධනය වීමටත් එය නොනැසී පවත්වා ගැනීමටත්, සිද්ධාලෝකරසය’ නම් වටිනා ඖෂධයක් එදවස තොටගමු විහාර පඬිරුවනක් වන වීදාගම ‍මෛත්‍රී හිමි විසින් දිනකට අශ්ව කෙන්දක දැවටෙන ප්‍රමාණයක් තෙල් කඳුළක් දිව ගා පරිහරණය කර ඇත. රාහුල හිමි සාමණේර අවධියේදී මේ තෛලය බො‍්තලයක්ම එක හුස්මට පානය කර ඇති බැවින් ඇතිවූ ආසාදනයට සිහිමූර්ජා වීම හේතුවෙන් උන්වහන්සේ ම ක්ෂණිකව ප්‍රතිකාර සැපයීය. මවුකිරි ගෙන්වා ඔරුවක් පුරවා රාහුල හිමි එහි ගිල්වා දින ගනණක් යනතුරු තැබූ බවත් පසුව ආසාදනය සමනය වී ඇතත් ‘සිද්ධාලෝකරසය’ නම් තෛලයේ බලය හේතුවෙන් රාහුල හිමිගේ මතක ශක්තිය අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබූ බවත් ධාරණ ශක්තිය ද ඒ හා සමානව වූ බවත් ජනවහරේ සඳහන්ය.

ඒ හේතුවෙන් උන්වහන්සේගේ සිරුර අදටත් ගෝවේ බොම් ජේසු දේවස්ථානයේ නිරුපද්‍රිතව තිබෙන ආකාරය දකින්නට පුළුවන. ‍මෙයින් සනාථ වන එක් දෙයක් ඇත. එදවස තොටගමු විහාරය මහා ප්‍රඥාවෙන් යුත් ‍ශ්‍රේෂ්ඨ පුද්ගලයින් පිරිසක් විසූ පුණ්‍ය භූමියක් බවය.

සවැනි පැරකුම් සමයට පසුව බිහිවූ රජ දරුවන්ගේ ද අවධානයට යොමු වූ තොටගමු විහාරයට නිශ්ශංකමල්ල රජු ද සුවිශාල අනුග්‍රහයක් දැක්වූ බව පැරණි සෙල්ලිපිවල සඳහන් වේ.

ක්‍රි. ව. 1588 දී පෘතුග්‍රීසීන් අතින් විනාශ වූවාට පසු ශතවර්ෂ දෙකක් යනතුරු තොටගමු විහාර භූමිය වල් බිහිවී තිබූ අතර පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් සමඟ ‍මෙහෙය වූ ආගමික පුනරුදය නිසා තොටගමු විහාරය දෙස යළිත් අවධානය යොමු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි. ව. 1734 – 1799 දක්වා වූ කාල සීමාව තුළදී තොටගමු විහාරය ප්‍රතිෂ්ඨාපනය විණි. සංඝාවාසයක්, පිළිමගෙයක් සහ චෛත්‍යයක් සමඟින් තොටගමු විහාරය යළි පණ ගැන්වීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ නරපතිට හා වැලිවිට ශ්‍රී සරණංකර හිමිට හිමිවිය යුතුය.

1780 වර්ෂයේදී විහාරය යළි ප්‍රතිසංස්කරණය වුණි. එයින් චෛත්‍යය තිබුණාට වඩා විශාල කොට තැනූ අතර සංඝාවාස හා පිළිම ගෙයද වෙස්කම්වලට බඳුන්වූ අතර විහාර මළුව හා භූමිය පැවති තත්ත්වයට වඩා අලංකාරව සකසන ලදී.

මෙසේ වරින්වර පිළිසකර කිරීම් සිදුවූ විහාරය ක්‍රි. ව. 1805 දී සංවර්ධනය විය. එහිදී අති විශාල පිළිම ගෘහයක් තැනුණ අතර අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත එන බෝධි අංකුරයක් රෝපණය කෙරුණි. ඊට අමතරව නාථ දේවාලය, විෂ්ණු දේවාලය, ධර්මශාලාව, පොහොය ගෙය, ඝණ්ටාර කුලුන, ආවාස ගෘහ දෙකක් හා ශිලා ලේඛන සහිත ස්මාරක හතරක්ද ඉදිවිය. මේවා වත්මන්හි ද පවතින අතර පුරාණ පිළිම ගෙයත්, අලුත් පිළිම ගෙයත් කලාත්මක වශයෙන් බො‍හෝ වැදගත්කමක් උසුලයි.

මේ පිළිම ගෙවල් දෙකම මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම් හා ලතා කර්මවලින් අලංකාර වී තිබේ. පැරණි පිළිම ගෘහයෙහි වෙස්සන්තර ජාතකය, දහම් සොඬ ජාතකය, සස ජාතකය සිතුවමට නඟා ඇත. ‘සස’ ජාතකය බිතුසිතුවම් තුළින් දැකිය හැකි එකම විහාරය ද තොටගමු විහාරය වේ. ඊට අමතර තවත් ජාතක කතා වස්තූන් රැසක් මෙම විහාර තුළ බිතුසිතුවම් ආකාරයෙන් දකින්නට පුළුවන.

විහාර ගෘහ දෙකේම සැතපෙන පිළිම, හිඳි පිළිම හිටි පිළිම දකින්නට ලැබෙන අතර මේවා මහනුවර මුල් යුගයේ හා මධ්‍යම යුගය දක්වා දිවයයි. නව විහාර ගෘහය තුළ විශේෂ දෙව් රුවක් ඇත. උසින් අඩි 20ක් පමණ වන මෙය විවාහයට, ප්‍රේමයට අධිපති අනංග දේව ප්‍රතිමාව ය. ලංකාවේ විහාරයක තිබෙන එකම අනංග ප්‍රතිමාවද මෙය වීම විශේෂය. ඊට අමතරව අති විශාල නාථ දේව ප්‍රතිමාවක් හා ලංකාවේ දැවැන්තම විෂ්ණු දේව ප්‍රතිමාවද මෙම විහාරය සතු වේ.

මතු බුදුවන බෝසතුන් සේ සැලකෙන උපුල්වන් දෙවියන්ගේ විශාල පිළිමයක් ද අටවිසි බුදුවරු හා මාර පරාජයද අලංකාරව තනා තිබේ. මෙම විහාරයේ ඉදි වී තිබෙන ධර්ම ශාලාව දැනට ලංකාව තුළ තිබෙන පැරණිම විශාල ශාලාව වේ. මහල් දෙකක ආකාරයට ඉදිකර තිබෙන මෙහි ඇති ගල් කණුවක බඳ වට අඩි හයක් පමණ වේ. ශාලාවේ බොහෝ නිමැවුම් කළුගල්වලින් නිර්මාණය වී ඇත.

මහනුවර යුගයේ සිටි ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වයේ තරම මෙහි ඇති නිර්මාණ තුළින් වටහාගත හැකිය. දිගින් අඩි 125 පමණ ද පළලින් අඩි 90ක් පමණ වන මේ දැවැන්ත ශාලාවට පිවිසීමේ දොරටු සතරක්ද ඇත.

තොටගමු විහාරය අලංකාරකොට ඇති සිතුවම් නුවර යුගයේ සිතුවම්වලට ආවේණික රතු, සුදු, කහ, නිල් වර්ණවලින් සමන්විතය. ද්විමාන මිනිස් රූ, සතුන්, ගස් වැල් හා ලියකම් මේ චිත්‍ර සම්ප්‍රදායේ පවතී. පැරණි විහාර ගෘහයේ සිතුවම් නිර්මාණය කිරීම සඳහා ගාලු දිසාවේ එවට දක්ෂ ශිල්පීන් වූ කඩොල්ගල්ලේ ‘මහ සිත්තරා’ සහ ‘පොඩ්ඩා සිත්තරා’ ගේ සේවය ලබාගෙන ඇති බවත් නව පිළිම ගෘහයේ සිතුවම් නිර්මාණයට අටකෝරළේ මුදියන්සේ සිත්තරාගේ සේවය ලබා ඇති බවත් විහාර පුරාණයේ සඳහන් ය.

විහාර මළුවට පිවිසීමට දොරටු තුනක් ඇති අතර ඒවාද කළුගල්වලින් අලංකාර කර තිබේ. විහාර මළුව මැද තබා තිබෙන ගලින් සැකසූ විශාල මල් ආසනය ද තැනින් තැන කැටයම් සහිත ගල් කුලුන විහාර භූමියේ ඓතිහාසිකත්වය පෙන්නුම් කරයි. විහාර මළුවට උතුරු දිසාවට පිහිටා ඇති තෙමහල් ප්‍රාසාදයක්ව පැවති ‘විජයබා’ පිරිවෙනේ කළුගල් පාදම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මතුකරගෙන තිබේ. විශාල ප්‍රදේශයක් කරා පැතිරී තිබෙන මෙම පාදම දුටු විට එවකට දෙස් විදෙස් ජයගත් පිරිවෙන් ගෘහය කෙබඳු වීදැයි අවබෝධ කර ගැනීමට හැකිය. කාලයත් සමඟ වැලි තලාවට යට වී තිබූ එම පාදම සමඟ ඒ අවට තවත් පෞරාණික ස්ථාන හා භාණ්ඩ රාශියක් පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන තිබේ. තවත් පැරණි නටබුන් ඇතත් ඒවා මතුකර ගැනීමට බාධාවක් වී තිබෙන්නේ මහනුවර යුගයේ දී මෙම විහාරය යළි ස්ථාපිත කිරීම සිදුකොට ඇත්තේ පැරණි භූමිය මත වීම නිසා බව පුරා විද්‍යා අංශය සඳහන් කරන නිසාය.

තොටගමු විහාරය හා සම්බන්ධව සිදු කළ කටයුතු අනුව ඒ අවට ගම්වලට නම් හිමිව තිබූ අතර සුළු වෙනස්කම් සහිතව ඒ ගම් තවමත් ඒ නමින්ම හැඳින්වේ උතුරින් බලපිටිය බ්‍රාහ්මණවත්ත දක්වාද, දකුණින් දොඩංදූව දක්වාද, නැගෙනහිරින් අලුත්වල දක්වාද, ගිණිකොණින් බද්දේගම දක්වා ද ඊසාන දිගින් පොල්වත්ත, බටපොල දක්වාද ඇති ප්‍රදේශ මෙයට ඇතුළත්ය.

තොටගමු විහාරය යට‍තේ වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් තිබෙන අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ගනේගම ශ්‍රී සරණංකර හිමි, රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ ප්‍රඤ්ඤාසාර හිමි, කහවේ ශ්‍රී දේව රක්ෂිත හිමි යනාදී සාහිත්‍යවේදී පඬිරුවන් වහන්සේලා මෙම විහාරයේ වැඩ වාසය කර තිබේ.

ඉතිහාසයේ සඳහන්වන අන්දමට ගලතුරුමුල මෛත්‍රීය මාහිමි සහ උත්තරමුල රාහුල හිමිගේ සිට වීදාගම, වෑත්තෑවේ, තොටගමුවේ රාහුල යනාදී යථිවරයාණන් වහන්සේගේ ඇතුළු විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් තොටගමු විහාරයේ විහාරාධිපතීත්වය දැරූ අතර අවසාන වශයෙන් (2016) වසරේ විහාරාධිපතිත්වය දරන ලද්දේ පිටුවල සුමන ස්ථවීරයන් වහන්සේයි. තොටගමු විහාරයේ වත්මන් විහාරාධිපතිත්වය උසුලනු ලබන්නේ පිටුවල බුද්ධසිරි ස්වාමීන් වහන්සේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණයට අයත් තොටගමු රජමහා විහාරය ඔවුන්ගේ අධීක්ෂණය හා සංරක්ෂණය යටතේ පවතියි.

දෙස් විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයන්ගේ අවධානය යොමු වී තිබෙන මෙම විහාරය මඟින් ශත වර්ෂ ගණනක් පුරා පැවත එන ‘විජයබා’ පිරිවෙන තවමත් පවත්වාගෙන යයි. කාලයත් සමඟ යම් යම් ‍කොටස් නවීකරණය වුවද පෞරාණික වටිනාකම ආරක්ෂාවන පරිදි ඒවා සිදු කර ඇති බව පෙනේ. දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල ඇදුරන් හා සිසුන්ද පාසල් හා වෙනත් ආයතනද ‍තොටගමු විහාරයේ පැරණි නිර්මාණ අධීක්ෂණයට හා අධ්‍යයනය ඉලක්ක කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.

මෙම විහාරයේ පෞරාණික බව හා ප්‍රෞඪත්වය ආරක්ෂා කරමින් අනාගත පරපුරට ආරක්ෂා කිරීම වගකිවයුත්තන්ගේ හා ලක්වැසි සියලු දෙනාගේම යුතුකමක් හා වගකීමකි.

නිශාන් මෙන්ඩිස් 


නව අදහස දක්වන්න

Or log in with...