නැතිබැරිකම නැති කරමු | දිනමිණ

නැතිබැරිකම නැති කරමු

මානව සංහතියේ කිසිදු හවුහරණක්, කුසට අහරක් නොමැතිව දරිද්‍රතාව කරපින්නාගත් මිනිස් කොට්ඨාසයක් වශයෙන් නම් ලත් පිරිසක් සමාජ පත්ලේ ඇත. දියුණුවෙමින් පවතින සමාජ ජාලය හමුවේ එම දරිද්‍ර මිනිස් වර්ගයාට නිගා කරනවා මිස ඔවුන්ට හිමි විය යුතු නිසි තැන ලබාදීමට කිසිවෙකුවත් ඉදිරිපත් නොවේ.

දුප්පත්කම මානව වර්ගයාට උරුම වන්නේ උපතින් සහජයෙන් නොව දියුණුවෙමින් පවතින සමාජ ජාලය හමුවේ මිනිස් වර්ගයා අතර පවතින ඇති නැති භේද බින්නතාව මුල්කරගනිමින් මිනිසා විසින්ම ප්‍රතිනිර්මාණය කරමින් සමාජයට මුදා හරින ලද මිත්‍යාදෘෂ්ටික මතවාදයකි.

එම වැරදි ආකල්පය සමාජය පුරා සන්නිවේදනය වීම හේතුවෙන් කෙනෙකු තවත් කෙනෙකු සමඟ සන්සන්දනය කරන මූලික මෙවලමක් බවට මෙම දරිද්‍රතාව පත්වී ඇත. දුප්පත්කම උරුම මානව කොට්ඨාසයට කිසියම් හෝ හවුහරණක් ලබාදීම වෙනුවට වර්තමාන සමාජයේ මානව සංහතිය සිදු කරන්නේ ඔවුන්ට නිගා කිරීමකි. ධනවත්, මිනිස් වර්ගයාගේ හදවතේ ඇති සිතුම් පැතුම් සමුදායට වඩා දුප්පත් මිනිසාගේ සිතුවිලි සමුදාය දියුණු මට්ටමක පවතින බව නොරහසකි.

මන්දයත් දරිද්‍රතාව කරපින්නාගත් මිනිසා බාහිර ස්වරූපයෙන් අප්‍රසන්න වුවද ඔවුන්ගේ ආධ්‍යාත්මික හා හදවතේ පවතින සිතුවිල සමුදාය සෑම විටම ධනවත්ය. දුගී දුප්පත් පවුල් පරිසරයක කුසට නිසි අහරක් ගතට නිසි වස්ත්‍රයක් නොමැති වූයේ ද එම පවුල්වල වැඩිහිටියන් සෑම විටම උත්සාහ දරන්නේ තම දුවා දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදී ඔවුන්ගේ අනාගතය මල් ඵල ගැන්වීමටය. කායික වශයෙන් දුබල වුවද අඩුපාඩුකම් රැසක් මැද ජීවත් වුවද දුප්පත් මිනිසාගේ හදවත සෑම විටම ශක්තිමත්ය.

“කඳුළු පිරි මාලිගයක ඔටුණු පැලඳීමට වඩා
සතුට පිරි පැල්පතක - දුගියෙකු වීම සැපතකි.”

සංවර්ධනය කරා පිය නගින ධනේශ්වර ලෝක රාමුව තුළ සතුටක් පිරී පවතිනු ලබන්නේ තට්ටු ගණන් ඉහළ මාලිගා මෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන නිවාස, පවුල් ඒකකයන් තුළ නොව, එදා වේල කෙසේ හෝ සපයාගනිමින් එදා ජීවිතය ජීවත් කිරීමට වෙර දරන දරිද්‍ර මිනිස් කොට්ඨාසයන් තුළය .

ගතට නිසි වස්ත්‍රයක් නොමැත. හිසට නිසි සෙවණක් කුසට නිසි අහරක් නොමැත. කෙසේ හෝ පැල්පතක් අටවාගෙන ජීවිතය ජීවත් කිරීමට මෙම දරිද්‍ර මිනිසා වෙහසෙන දහඩිය කැටවල අගය නොදත් ධනපති පංතියේ මිනිසුන්ගේ හිත් කළු ගලක් වන්නේ කෙලෙසින්ද කියා දෙපාරක් සිතා බැලිය යුතු වාතාවරණයක් මෙම සමාජයට උදා වී ඇත.

අද සමාජ ජාලය තුල දුප්පතාට කවර තැනකදීම හිමි වන්නේ අවසාන යයි. දුප්පතා තලා පෙළා දමමින් ධනපති සමාජය ඉහළත්වය කරා වැජඹෙන වර්තමානය තුළ පොහොසතෙකු ජීවත් වන්නේ ධනය හමුවේ බැවින් දුප්පතෙකු ජීවත් වන්නේ සාධාරණියත්වය උතුම් වූ යහපත් හැඟීම් සමුදායක් කැටි කරගෙනය.

අද වත්මන් ලෝකය තුළ ධනවතෙකු දුප්පතෙකුට පිහිට වන්නේ තම නිලය, නම්බුනාමය ප්‍රසිද්ධ කිරීමේ අටියෙනි.

නමුත් අප සමාජයේ කිසිම උසස් නිලලත් වගකිව යුතු බලධාරින්ට මෙම දරිද්‍රතාවේ පත්ලටම ඇද වැටී ඇති මිනිසුන්ගේ මානුෂීය හදවත්වල ඇති හඬා වැටෙන විලාපයේ ශෝකය දැක දැක දෑස් පියා සිටින්නේ මන් ද?

 ධනේශ්වර සමාජයේ ධනවතුන් භෝජන සංග්‍රහයන් අනුභව කරද්දී දුප්පතා බත් උලක් ලබාගැනීමට එදා වේල සරි කර ගැනීමට කරන සටන 30 වසරක සිදු කර අවසන් වූ යුද්ධයකට සමාන මෙන් විය. කුප්පි ලාම්පු එළියෙන් නිසි සෙවණක් නොලද පාසල් ජීවිත ගත කරන දුප්පත් දරුවන්ගේ අධිෂ්ඨානය වෑයම කෙසේ හෝ ඉගනීමෙන් ඉහළත්වය කරා ගමන් කිරීමයි.

වර්තමාන සමාජය තුළ දුප්පතාට ලැබිය යුතු සියලුම සහනාධාර, සේවාවන් අත්හිටුවා තැබීමට ඉහළ බලධාරීන් කටයුතු කරන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය කව‍රෙකු විසින් ප්‍රශ්න කිරීමකට ලක් නොකරන්නේ මන්ද? ශ්‍රී ලංකාද්වීපය තුළ මෙලෙසින් දුගී දුප්පත් වෙමින් ජීවිත ගත කරන ‍බොහෝ දරුවන්ගේ ජීවිතවල ඛේදනීයත්වය සොයා ඔවුන්හට සරණක් ලබා දීමට කිසිවෙකුවත් ඉදිරිපත් නොවේ.

සුඛෝපභෝගී නිවාස මන්දිර නොවුණාට පැලක් අටවාගෙන හෝ තම දරු මුණුබුරන් සමඟ එකට එක් වී සතුටින් කාලය ගත කිරීමට දුප්පත් මිනිසා සමත් වන්නේ නම් එකම සිංහල ලේ වලින් මස් ඇට නහරවලින් සැදුම්ලත් මිනිස් කොට්ඨාසයක් සිටින සමාජ ජාලයක් තුළ දුප්පත් පො‍හොසත් භේද බින්නතාවයක් කුමකට ලොව පුරා සන්නිවේදනය කරමින් බෙදා හරින්නේ කෙලෙසින්ද යන්න දෙවරක් දෑස් විවර කර බැලිය යුතු කාලය සමාජයට උදා වී ඇත.

ඩී.ජී. කරුණාරත්න
සන්නිවේදන හා ව්‍යාපාරික අධ්‍යයන පීඨය
නැගෙනහිර විශ්වවිද්‍යාලය
ත්‍රිකුණාමලය මණ්ඩපය

 


නව අදහස දක්වන්න

Or log in with...