මෝටර් සයිකල් ගිලන් රථය | දිනමිණ

මෝටර් සයිකල් ගිලන් රථය

 එය 1991 වසරේ ගිම්හාන ඍතුවේ රාත්‍රියකි. ඉන්දියාවේ හිමාලය කන්ද ආසන්නයේ පිහිටි ධලබාරි ගම්මානයේ ජීවත් වුණු කරිමුල් හකී දවසේ කටයුතු නිමවා නිවෙසට ගොඩ වැදුණේ වෙහෙස සහ බඩගින්නට මැදිව පීඩා විඳිමිනි. ඔහු සේවය කළේ සිය නිවෙස ආසන්නයේ පිහිටි තේ වත්තකය. ඔහු කළේ දවසේ පඩියට වැඩ කිරීම මිස ඒ හැටි 'ලොකු' රස්සාවක් නොවේ. කරිමුල්ට, එදා ඉතා ඉක්මනින්ම රාත්‍රි භෝජනය භුක්ති විඳින්නට වුවමනාව තිබිණ. එනිසා හෙතෙම දෑත් සෝදාගෙන කෑම මේසයේ වාඩි වුණේ කිසිවක් ගිල දැමීමේ දැඩි බලාපොරොත්තුවෙනි. අත පෙවූ කෑම පතින් කිසිවක් කටේ ලා ගන්නට පළමුව කරිමුල්ගේ සහෝදරයාගේ පුතා දුවගෙන ආවේ නරක ආරංචියක් ද රැගෙනය. ඥාති පුතා ඔහුට දන්වා සිටියේ අත්තම්මා හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටි ඇති බවකි. කෑම පත පසෙක ලූ කරිමුල් තම මව සිටි ස්ථානයට දිව ගියේ අවසිහියෙන් මෙනි.

සිය මව රෝහලට රැගෙන යාමට අවශ්‍ය බව වටහා ගත් ඔහු ඒ සඳහා වාහනයක් සොයා ගන්නට හතර අතේ දිව ගියේය. ගිලන් රථ සේවයක සහය ලබාගන්නට මුදල් තිබුණේ නැති නිසා. ඔහුට වුවමනා වුණේ අසල්වැසියකුගේ වාහනයකින් මව රෝහලක් වෙත රැගෙන යන්නටය. හදිසිය සහ බලාපොරොත්තු අතරට මීළඟට කඩා වැදුණේ අවාසනාවයි. පැය පහමාරක් වෙහෙස වුණත් ඔහුට වාහනයක් සොයා ගන්නට බැරිව ගියේය.

“අපට සල්ලි තිබුණේ නැති නිසා ගිලන් රථයක් ගෙන්ව ගන්න බැරිවුණා. මමයි මගේ සහෝදරයයි දොරක් දොරක් ගණනේ ගිහින් අම්මව රෝහලකට රැගෙන යන්න උදව් ඉල්ලුවා. නමුත් කිසිවෙක් අපට සහයට ආවේ නැහැ” ඔහු අදඅතීතය මෙනෙහි කරන්නේ දැඩි පසු තැවිල්ලකිනි.

එදා අලුයම 3.30 පමණ වනවිට කරිමුල්ගේ මවගේ අවසන් හුස්ම වැටුණේය. නිසි වෙලාවට රෝහලකට රැගෙන යාමට හැකියාවක් ලැබුණේ නම් තම මව ඒ තරම් ඉක්මනින් තමන් හැර නොයන බව කරිමුල්ට අවබෝධ වූයේ සැණෙකිනි. ඒ නිසා හටගත් මානසික කම්පනය සිය මවගේ අභාවයෙන් සෑහෙන කාලයක් යන තුරු කරිමුල් තුළ නොනැසී පැවතියේය. අන්තිමට ඔහු ඒ කම්පනයෙන් මෑත් වූයේ තමන් ජීවත්වන ගමේ තවත් කිසිවකු තම මව මුහුණ දුන් ඉරණමට මුහුණ දිය යුතු නැතැයි කියා හිත හදා ගනිමිනි. එවැනි වැඩපිළිවෙළක් යෙදිය යුතු බව ඔහු තමා සපත කරගත්තේය.

ඔහු වැඩපිළිවෙළ පටන් ගත්තේ යතුරු පැදියක් මිලදී ගන්නට මුදල් එකතු කිරීමේ අදහස තිර කරගනිමිනි. ඊට කිසිවකුගෙන් මුදල් ඉල්ලන්ට ඔහු ගියේ ද නැත. වේතනයෙන් ටිකෙන් ටික ඉතුරු කරගෙන මුදලක් සකසා ගැනීම ඔහුගේ අරමුණ විය. වසර කිහිපයක් ගත වනවිට තමන්ට අවශ්‍ය යතුරු පැදිය මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයා ගැනීමට ඔහුට හැකි විය.

පසුගිය වසර පහළොවකට ආසන්න කාලය පුරාම ඔහු ඒ යතුරු පැදිය යොදාගත්තේ ගමේ රෝගීන් රෝහල් කරා රැගෙන යාමටය. ඒ සඳහා ඔහු රෝගීන්ගෙන් මුදලක් අය කළේ නැත. තේ වත්තෙහි රැකියාව නිම කර නිවෙසට පැමිණෙන විට රෝහල්වලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින රෝගීහු කරිමුල් එනතුරු බලා සිටිති. ඒ කිසිවකුට හෙතෙම “නෑ ; බෑ;” කියන්නේ නැත. සමහර අවස්ථාවල ඔහු රෝගියාව යතුරු පැදිය මත හිඳුවා තම සිරුරට තබා බැඳ ගන්නේ ගමනේ දුෂ්කරතාව මැනවින් අවබෝධ කරගනිමිනි. රෝගීන් නංවා ගත් යතුරු පැදිය ඊළඟ නිමේෂයේදී වනාන්තර, තේ වතු සහ ගංගා ආදිය අතරින් වැටුණු රළු, කටුක කුඩා මඟක දිවෙන්නේ රෝහලක් සොයාගෙනයි. එළිය ඇති දහවලෙහි ද අඳුරෙන් සහ තෙතෙන් බර රාත්‍රීයෙහි ද යතුරු පැදිය පැදවීම කරිමුල්ට එක සේ හුරුය. ඒ නිසාම ගෙවුණු වසර කිහිපය පුරා තම යකඩ ගොඩ එහාට මෙහාට ආම්බාන් කරමින් ඔහුට ජීවිත 4000ක් බේරා ගන්නට හැකිව තිබේ.

මිනිසුන්ගේ ලෙඩට දුකට පිහිට වන කරිමුල් ජීවත් වන්නේ ඉතා කුඩා නිවෙසකය. ඒ නිවසෙහි ඉදිරිපස කාමරයෙන් කොටසක් ඔහු වෙන් කර තිබෙන්නේ තමන් කරන සේවය අගයා ලැබුණු සහතික සහ පදක්කම් තබන්නටයි. ඒ ඇගයුම් අතර, සිවිල් වැසියකුට ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රදානය කරන ඉහළම සම්මානයත් ඇත. එසේ වුවත් කරිමුල් ජීවත්වන ධලබාරී ගම්මානයේ ජනයාට සෞඛ්‍ය පහසුකම් යනු අදටත් ළඟාවිය නොහැකි තරමේ සුඛෝප භෝගී සේවාවකි.

මංජුලා විජයරත්න 

නව අදහස දක්වන්න