තෙල් පෝලිම! | දිනමිණ

තෙල් පෝලිම!

ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල යම් තදබදයක් දකින්නට ලැබේ. තව පිරවුම්හල්වල තෙල් නැත යනුවෙන් බෝඩ් එල්ලා ඇත. තවත් පිරවුම්හල්වල පෙට්රල් නැත යනුවෙන් බෝඩ් එල්ලා ඇත. එක වාහනයකට ලීටර් විස්සක් පමණයි යනුවෙන් නීතියක් ද පනවාගෙන තිබේ. මේ සියල්ලෙන් පෙනීයන්නේ ඉන්ධන පිළිබඳ ගැටලුවක් ඇත්තටම පවතින බව ය. දින දෙකකට කලින් පිරවුම්හල් අසල දිග පෝලිම් දකින්නට ලැබුණේ හිටිහැටියේ ය. පළමුව අසන්නට ලැබුණේ බාල තෙල් සහිත නැවක් ආපසු හරවා යවා ඇති බව ය. ඉනික්බිති තෙල් හිඟය පිළිබඳ ප්‍රවෘත්තිය ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය.

සුළු සිද්ධියකින් කලබලයට පත්වීම අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය සිරිතකි. සිද්ධි හා ආරංචි නොවිමසා තීන්දු - තීරණ ගැනීම ද අපේ ජනතාවගේ සාමාන්‍ය සිරිතකි. වෙබ් අඩවි, කටකතා හා ජන මාධ්‍ය සිද්ධිවලට පොහොර දමා අලුත් ප්‍රබන්ධ සේ ඉදිරිපත් කිරීම ද අපේ රටේ සාමාන්‍ය සිරිතකි. මේ ඔස්සේ නැති කලබල ඇති වෙයි. ඉන්ධන ගැටලුවට ද ඒවා බලපාන්නට ඇත. තෙල් පුරවාගැනීම සාමාන්‍ය පරිදි සිදුවූවා නම්; මේ ගැටලුව ඇති නොවන්නටත් ඉඩ තිබිණි. එක තෙල් නැවක් ආපසු ගිය ද තව තෙල් නැව් එන බැවිනි. ඒ හැරත් අපේ ගබඩාවල ද තෙල් ඇති බැවිනි.

කුමන තත්ත්වයක් යටතේ වුව ගැටලුවක් පවතින බව පෙනී යයි. අමාත්‍යවරුන්ගේ ප්‍රකාශවලින් මතු වන්නේ එක අදහසකි. නිලධාරීන්ගේ ප්‍රකාශවලින් මතුවන්නේ තවත් අදහසකි. වෘත්තීය සමිති කියා සිටින්නේ වෙනත් ම අදහසකි. සමහරු ගැටලුවක් නැතැ’යි කියන්නට උත්සාහ කරති. තව සමහරු බෝලය පාස් කරන්නට උත්සාහ කරති. තවත් සමහරු මේ මොහොතේ ද දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීමට වෑයම් කරති. එහෙත් මේ මොහොත වනතුරු ද පැහැදිලි විසැඳුමක් පෙනෙන්නට නැත. ඒ අනුව පාරිභෝගිකයා කලබලයට පත්වීම ද පුදුම දෙයක් නො වේ. ඉන්ධන නැතිව රථවාහන දුවන්නට බැරි ය. රථවාහන නැතිව ප්‍රවාහන කටයුතු සිදුවන්නේ නැත. ප්‍රවාහනය ඇනහිටීම යනු රටම නැවතීමකි.

ඉතා සරල සමීකරණයකට අනුව ගතහොත්; ගබඩාවල ඇති තරම් තෙල් තිබේ නම්; පිරිපහදුව ද හරියට ක්‍රියාත්මක වන්නේ නම්; නැවක් ආපසු ගිය පමණින් තෙල් ගැටලුවක් ඇතිවන්නට හේතුවක් නැත. තෙල් සැපයුම සම්බන්ධයෙන් ඊළඟ වැදගත් ක්ෂේත්‍රය වන්නේ ඉන්ධන ප්‍රවාහනය යි. නැතහොත් බෙදා හැරීමයි. අප කළ විමසුමක දී දැනගන්නට ලැබුණේ තෙල් ප්‍රවාහනය සුපුරුදු ලෙස සිදුවන බව ය. ඛනිජ තෙල් සංස්ථාවේ බවුසර් රථ මඟින් ද, පෞද්ගලික සමාගම්වල බවුසර් මඟින් ද තෙල් ප්‍රවාහනය සිදු වේ. මේ හැරෙන්නට දුම්රිය මඟින් ද තෙල් ප්‍රවාහනය සිදු වේ. ඒ ආකාර තුනම සිරිත් පරිදි ක්‍රියාත්මක ය.

ප්‍රමිතියෙන් තොර බාල තෙල් සහිත නැවක් ආපසු හරවා යැවීම ගැන විවේචනයක් තිබිය නො හැකිය. විශාල අර්බුදයක් මතුවන්නේ එම බාල තෙල් රථවාහනවල භාවිතය සඳහා නිකුත් කළා නම් ය. මීට පෙර ද බාල තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට චෝදනා එල්ල විය. ඉන්දියන් තෙල් සමාගමට ද චෝදනා එල්ල වී තිබේ. වරක් එබඳු තෙල් භාවිත කළ වාහන හිමියන් සඳහා වන්දියක් ගෙවීමට ද සිදු විය. ඉන්ධන යනු අධි ඉල්ලුමක් සහිත සුපිරි හා අත්‍යවශ්‍ය භාණ්ඩයක් බැවින් ඒ ඔස්සේ සිදුවන ‍හොර ජාවාරම් අධික ය. ආයතනයක වගවීම වන්නේ මේවාට හසු නොවී යහපත් සේවාවක් ජනතාවට ලබාදීමය. තෙල් සංස්ථාව මුලින් කී තෙල් නැව ආපසු හරවා යැවීමට ගත් පියවර පැසසුම් කටයුතු ය.

වරද ඇත්තේ තෙල් සැපයීම සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවීමට ඉඩතැබීම ගැන ය. එක අතෙකින් තෙල් හිඟය පිළිබඳ භීතිකාවක් ඇතිවීමට පෙර; මහජනයා දැනුම්වත් කළේ නම්; මේ ගැටලුව ඇති නොවීමට ඉඩ තිබිණි. තවත් අතෙකින් ඉන්ධන ප්‍රවාහනය කාර්යක්ෂම කළේ නම්; ගැටලුවට ඒ මඟින් ද විසැඳුමක් ලබා ගත හැකිව තිබිණි. තෙල් ප්‍රවාහනය හා බෙදා හැරීම කඩිනම් කර ඇත්තේ අර්බුදය උත්සන්න වූවාට පසු ය. ඇතැම් නිලධාරීන් ගැටලුව උත්සන්න වනතුරු බලා සිටි බවක් ද පෙනෙන්නට තිබේ. සමහර නිලධාරීන් රජය විවේචනය කරමින් කල්මරන බවක් ද දැකගන්නට ලැබිණි. නිලධාරීන් නිසි කලට, නිසි පියවර ගත්තේ නම්; මෙබඳු අර්බුදයක් ඇති නොවන බව සමහරුන්ගේ මතය වී තිබේ.

ඉන්ධන හිඟයක් මතු වූ සැණෙන්; එක අතෙකින් ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුතුවලට බාධා ඇති වෙයි. අනෙක් අතින් වෘත්තීන් ගණනාවක් අර්බුදයට යයි. පොදු ප්‍රවාහනයට යොදා ඇති බස් රථ, කුලී රථ, ලොරි රථ හා විශේෂයෙන් ත්‍රී රෝද රථ අර්බුදයට එකතු වෙයි. මේ රථවාහන ආශ්‍රිතව විශාල පිරිසක් රැකියා කරති. ත්‍රිරෝද රථ රියදුරෝ පමණක් ලක්ෂ කිහිපයක් සිටිති. තෙල් හිඟයක් නිසා මේ සියලු දෙනා අමාරුවේ වැටෙති. ත්‍රිරෝද රථ යනු ගමනක් යන අතර තෙල් පුරවාගන්නා වාහනයකි. ත්‍රිරෝද රථයක් තෙල් පෝලිමේ සිටිනවා යනු විශාල පාඩුවකි. මේ අර්බුදයේ දී ද ත්‍රිරෝද රථ රියැදුරෝ දිගට හරහට විවේචන ඉදිරිපත් කළහ. ඒ ගැන ඔවුනට දොස් පැවරිය නො හැකි ය.

බාල වර්ගයේ තෙල් සහිත නැව ගැන ද විවිධ කතා පැතිරෙන්නට පටන්ගෙන තිබේ. එක මතයකට අනුව එම තෙල් නැව ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා ඇති අතර එහි තෙල් ඉන්දියන් සමාගමට අලෙවි කිරීමේ උත්සාහයක් ද පවතී. පළමුව සොයා බැලිය යුත්තේ බාල තෙල් ගෙන්වීමට සම්බන්ධ පුද්ගලයන් කව්රුන් ද යන්න ය. අපට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමේ දී විශ්වාසවන්ත සමාගම් සමග පමණක් ගිවිසුම්වලට යා නොහැක්කේ මන්ද? විශේෂයෙන් මෙබඳු ගනුදෙනුවලදී දේශපාලකයන් පරිස්සම් විය යුතුය. නිලධාරීන් ද පරිස්සම් විය යුතු ය. බාල තෙල් පිළිබඳ ගැටලුව ඇත්තේ කාලයක සිට ය. එහෙත් කිසිවකු තව ම එම ගැටලුවට පැහැදිලි විසැඳුමක් ලබා දී නැත. මෙයින් අමාරුවේ වැටෙන්නේ ජනතාව බව අමුතුවෙන් කිව යුතු නැත.

රටට අවශ්‍ය තෙල් සැපයීම ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ තරගකාරී ලෙස සිදුවෙයි. එක ක්ෂේත්‍රයක් වන්නේ තෙල් සංස්ථාව ය. අනෙක් ක්ෂේත්‍රය වන්නේ ඉන්දියන් සමාගම ය. ඉන්දියන් සමාගමට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් නැත. එම සමාගම තෙල් බෙදාහැරීම සිදු කළ යුත්තේ ගිවිසුම්වලට අනුකූලවය. කුමක් වුව කොතැනක හෝ වරදක් සිදුවී ඇත. සොයා ගත යුත්තේ එම වරද කුමක් ද යන්න ය.

නව අදහස දක්වන්න