ඔලිම්පික් කමිටු ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ශ්ව දෙකක් අතර ප්‍රබල මත ගැටුමක් | දිනමිණ

ඔලිම්පික් කමිටු ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ශ්ව දෙකක් අතර ප්‍රබල මත ගැටුමක්

ප්‍රින්ස් ගුණසේකර

ජාතික ඔලිම්පික් කමිටුවේ පාර්ශ්ව දෙකක් අතර ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු දෙකක් පිළිබඳ ප්‍රබල මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ. ජාතික ඔලිම්පික් කමිටු නිළතලවලට පත්වීමේදී වයස අවුරුදු 75 ඉක්මවූ නිලධාරීන්ට අවස්ථාව හිමිකරදීම හා ඔලිම්පික් කමිටු නියෝජනයට පැමිණෙන ජාතික සංගම් නිලධාරීන් දෙදෙනා ඡන්ද බලයෙන් පත්වූ නිලධාරීන් පමණක් විය යුතු යන සංශෝධන පිළිබඳව දෙපාර්ශ්වය එකිනෙකට වෙනස් මත යෝජනා කොට ඇත.

මේ 9වැනිදා ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව සංශෝධනය කිරීම උදෙසා අනුබද්ධ ක්‍රීඩා සමාජවල සහභාගීත්වයෙන් විශේෂ මහා සභාවක් කැඳවා ඇති අතර පාර්ශ්ව කිහිපයකින්ම සංශෝධන යෝජනා ගණනාවක් ඉදිරිපත්කර ඇත.

අවුරුදු 75 ඉක්මවූ කිසිදු තැනත්තකුට ඔලිම්පික් නිලතල දැරීමේ අවස්ථාව හිමිකර නොදිය යුතු බවට හා ඔලිම්පික් කමිටු නියෝජනයට පැමිණෙන ජාතික සංගම් නිලධාරීන් ඡන්ද බලයෙන් පත්වූ නිලධාරීන් පමණක් නොවිය යුතු යන සංශෝධන ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා ඇතුළු ක්‍රීඩා සමාජ කිහිපයක් ඉදිරිපත් කොට ඇත. ඔවුන්ගේ සංශෝධන වලින් ඉල්ලා ඇත්තේ ඔලිම්පික් කමිටුවට නම් කරන නියෝජිතයන් එම සංගමයේ විධායක සභිකයන්ගේ අභිමතය පරිදි විය යුතු බවත් ඒ සඳහා ඔලිම්පික් කමිටුව බලපෑම් නොකළ යුතු බවත්ය.

එහෙත් ඔලිම්පික් කමිටු උප සභාපතිවරයෙකු ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ සංශෝධන අනුව වයස අවුරුදු 75 ඉක්මවූ අයට ද ජාතික ඔලිම්පික් කමිටු නිලතල විවෘත විය යුතු බව යෝජනා කොට ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය කලින් ප්‍රකාශයට පත්කළ ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසිවල සඳහන්ව තිබුණේ නාමයෝජනා භාරදෙන අවස්ථාව වන විට වයස අවුරුදු 70 සම්පූර්ණකර ඇත්තෙකු වේ නම් ඔහුට හෝ ඇයට ජාතික සංගමයක තනතුරු දැරීම නුසුදුසු බවය. එහෙත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම අනුව එම වගන්තිය රෙගුලාසිවලින් ඉවත්කොට ජාතික සංගම්වල අභිමතය පරිදි එම වයස් සීමා පැනවිය හැකි බව දැනුම්දී තිබුණි. මේ වගන්තිය කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසූවේ ක්‍රීඩා සංගම්වල පරිපාලනය එකම පිරිසක් අත නොතිබිය යුතු බවත් නව පරපුරට ඉඩදීම උදෙසා වයසින් වැඩි පාලකයන්ට සීමාවක් පැනවීම වඩා උචිත බවය.

එබැවින් වයසින් වැඩි අය නැගී එන පරපුරට තම දැනුම ලබාදී ක්‍රමයෙන් ක්‍රීඩා පරිපාලනයෙන් ඈත්ව අනුශාසනා මට්ටමේ සිටීම වැදගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එහෙත් ක්‍රීඩා ඇමැතිවරයාගේ එම අදහස ද අනුමත නොකරමින් ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක් මේවන විට ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. මේ අතර ජාතික සංගමයක ඡන්දයෙන් පත්වූ නිලධාරීන් දෙදෙනකු පමණක් ඔලිම්පික් කමිටු ඡන්ද විමසීමේදී නියෝජනය විය යුතුය යන යෝජනාව සම්මත වුවහොත් ක්‍රීඩා සංගම්වල විධායක සභාවේ අයිතීන්ට බාධා කළ බව පවසමින් පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹීමේ සූදානමක් ඇතැයි ද වාර්තාවේ. ඔලිම්පික් ව්‍යවස්ථාව ක්‍රීඩා පනතට පටහැනි ලෙස සම්මත කිරීම නොවිය යුත්තක් බවද ඔවුහූ පවසති. 

නව අදහස දක්වන්න