දූෂණ විරෝධී මහාධිකරණයක් පිහිටුවීමට යයි | දිනමිණ

දූෂණ විරෝධී මහාධිකරණයක් පිහිටුවීමට යයි

මහින්ද අලුත්ගෙදර

අල්ලස හා දූෂණය හා සම්බන්ධ නඩු විශේෂිත වැරැදි කොට්ඨාසයක් ලෙස හඳුනාගනිමින් ඒ හා සම්බන්ධ අපරාධ යුක්තිය පසිඳළීමේ ක්‍රියාදාමය කඩිනම් කිරීම සඳහා දූෂණ විරෝධී මහාධිකරණයක් ස්ථාපිත කිරීමට නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කරයි.

මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ස්ථිර විනිශ්චය සභාවක් හරහා එහි නඩු විභාග කළ යුතු වන අතර ඊට අමතරව අලුතින් මහාධිකරණ 10ක් ස්ථාපිත කිරීමට ද දැනට තිබෙන අධිකරණ ශාලා සහ වෙනත් විකල්ප ගොඩනැගිලි යොදා ගනිමින් එම අධිකරණ පවත්වාගෙන යාමට ද නිර්දේශ කර තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි. අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීම වෙනුවෙන් මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 75 සිට 110 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන නීති සංශෝධනය විය යුතු බවද ඊට අදාළව 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 35කින් පමණ වැඩිවීමක් සිදු වන අතර ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ ශක්තිය ඉහළ නංවමින් රජයේ අධි නීතීඥවරුන්ගේ සංඛ්‍යාව 118 සිට 218 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැතිවරයා ඒ බව සදහන් කළේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ දී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් පී පෙරේරා මහතා පෙන්වා දුන්නේ නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තා මේ වන විට අමාත්‍ය මණ්ඩලයට සහ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා අනුමැතිය ලැබී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් වන අධිකරණ සංවිධාන පනතේ සංශෝධනය දෙවැනි වර කියැවීමේ විවාදය හෙට (07) පැවැත්වෙන බවත්ය.

මේ ක්‍රියාදාමයන් කඩිනම් කිරීම සඳහා සති දෙකෙන් දෙකට රැස්ව එහි ප්‍රගතිය නිරීක්ෂණය කරන බවද නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවා ජනාධිපතිවරයා, අල්ලස් කොමිසම ඇතුළු ආයතනවල අදහස් අනුව මේ රටේ බරපතල අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම කඩිනම් කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත්කර තිබෙන බවද කීවේය. මේ වාර්තාවේ සඳහන් නිර්දේශ මාස 6ක් තුළ ක්‍රියාත්මක කළ යුතු වන අතර මේ රටේ අල්ලස, දූෂණය ආදිය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම ඉතා වැදගත්වන බවද එය කඩිනමින් කාර්යක්ෂම ක්‍රියාත්මක කළයුතු බවද පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා අපේ රටේ මහාධිකරණවල බරපතළ ප්‍රමාදයක් තිබෙන අතර බරපතළ නඩුවක සිදුවීමේ සිට අභියාචනය අවසාන වීම දක්වා වූ කාලය සාමාන්‍ය අගය වසර 17ක් සහ මාස දෙකක් ගතවන බවද පෙන්වා දුන්නේය. අල්ලස් හා දූෂණය සම්බන්ධයෙන් දැනට පවතින පනත යැල් පැනගිය පනතක් වන අතර දූෂණය නැමැති වරදට පසුගිය වසර 23ක කාලයේ දී වැරැදිකරුවන් වී තිබෙන්නේ සිවුදෙනෙකු පමණක් බවද සිහිපත් කළ අජිත් පී පෙරේරා මහතා දූෂණ්‍යට එරෙහි නීතිය කාර්යක්ෂම නොවන බව එයින් පැහැදිලි වන බවද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභා පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත්කර තිබෙන බවද සදහන් කළේය. ඒ සම්බන්ධයෙන් වන කෙටුම්පත වැඩිදුර විමර්ශනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කර තිබෙන බවද එහි විශාල ප්‍රගතියක් තිබෙන බවද හෙතෙම පැවසීය. 

 

නව අදහස දක්වන්න