කටුෙගයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය | දිනමිණ

කටුෙගයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය

දිනය 2012 වසරේ මාර්තු මස 17 දාය. 'මහ කටුගෙය' හෙවත් කොළඹ ජාතික කෞතුකාගාරයේ රාජකාරියට පැමිණි සහකාර මුරකරු අසංක ජයසිංහ තමාට දවසේ වගකීම පැවරී ඇති කොටසට ඇතුළුවීම සඳහා දොරේ අගුල හැරියේය. දොර විවර වුණු විගස දුටුදෙයින් හෙතෙම ත්‍රස්තව ගල්ගැසිණි. මොහොතකින් සිහි එළවාගත් ඔහුට දකින්නට හැකි වූයේ වහලයේ දැවැන්ත සිදුරකින් කුටිය තුළට හිරු එළිය වැටී ඇති බවයි. පරීක්ෂා කිරීමේදී ප්‍රධාන ගොඩනැඟිල්ලේ උඩුමහලේ පොට්පෝවට පිවිසෙන දොර කිසිවකු විසින් කඩා බිඳ තිබුණි. උඩුමහලේ මැද ශාලාවේ කාසි මැදිරිය, අවි ආයුධ හා කලා ශිල්ප ප්‍රදර්ශන කුටි බිඳ දමා එහි තිබූ වටිනා දෑ අතුරුදහන්වී තිබිණි.

ඔහු වහාම මුර බාරකරු සුනිල් රාජපක්ෂ ඇමතීය. " ඇතුළේ දොර හොරු කඩලා. ගොඩක් භාණ්ඩ අතුරුදහන් වෙලා." සුනිල් රාජපක්ෂ වහා දිව ආවේය. සිදුව ඇති වින්නැහිය සියැසින් දැකබලා ගත්තේය. ඉහළ නිලධාරීන්ටද, දැනුම් දීමෙන් අනතුරුව හෙතෙම කුරුඳුවත්ත පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් සටහන් කළේය. පොලිස් පරීක්ෂණ ආරම්භ විය. කෞතුකාගාරය බිඳ එහි තිබූ රාජකීය කඩු කස්තාන කිහිපයක් ඇතුළු පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවට වූ පුවත ලැව්ගින්නක් මෙන් පැතිර ගියේය.

කෞතුක භාණ්ඩවල වැදගත්කම සලකා එය ජාතික උරුමයක් බැවින් එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන මෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී. එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක, කාර්ය භාර්ය රාජ්‍ය නිවේදිත නිලධාරි වශයෙන් සිටි දැනට කොළඹ මධ්‍යම කටයුතු බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය, පොරොත්තු සේවා රාජකාරි වාර්තා කර තිබු‍ණු වාණිජ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොෂාන් මස්ඉඹුල යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන කටයුතු දියත්විය.

2012 මාර්තු මස 16 වන දින සවස 6.00 සිට පසුදින එනම් 17 වන දින උදෑසන 8.00 දක්වා වූ කාලය තුළ කොළඹ ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී සොරකම් කරන ලද කෞතුක භාණ්වල ලැයිස්තුව ඉතා දිගුවිය. රන් ආලේපිත කස්තාන කඩු 7ක්, කානේලියන් වර්ගයේ මැණික් ඔබ්බවන ලද රන් මුදු 1ක්, රිදී මුදු 18ක්, රන් කාසි 93ක්, රිදී කාසි 50ක්, ඊයම් කාසි 9ක්, නෝට්ටු 34ක්, නුගවෙල

අධිකාරම් විසින් භාවිතා කරන ලද මැණික් ඔබ්බවන ලද බස්තම් දෙකක අත්මිටි කොටස් 2ක්, නුගවෙල අධිකාරම් විසින් භාවිතා කරන ලද රන් නූල් සහිත බඳ පටියක්, නුගවෙල අදිකාරම්ගේ රන් රිදී කොපුව සහිත කඩු එකක්ද මෙලෙස සොරාගෙන ගොස් තිබුණි.

මෙම පුරාවස්තු සොරකම සම්බන්ධයෙන් අවධානය යොමුකිරිමේදී නොතකා සිටිය නොහැකි සාධක ගණනාවක් විය. ජාතික කෞතුකාගාරය පිහිටා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයකය. ජාතික බුද්ධි අංශ කාර්යාලය පිහිටා ඇත්තේද කෞතුකාගාරයට අතේ දුරිනි. කුරුඳුවත්ත පොලිසියද ආසන්නයේය. පොලිස් ජංගම මුර රථ පරීක්ෂාවද පැය 24 පුරා ක්‍රියාත්මකය. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂකයින්ද, ජාතික විමර්ශන ‍ඒකකයේ නිලධාරීන්ද විටෙන් විට ජංගම රථ සෝදිසි මෙන්ම පාගමන් සෝදිසි කිරීම්ද සිදුකරමින් පවතියි. කෞතුකාගාරයේත්, ඒ අවටත් සී.සී.ටී.වී ක්‍රියාත්මකය. බිග්මැච් කාලය බැවින් අවට පාසල්වල සිසුන් රාත්‍රී කාලයේ පමණක් නොව ඇතැම්විට අලුයම් කාලය දක්වාම පෝස්ටර් ඇලවීම, සැරසිලි කිරීම ආදිය සඳහා අවට සැරිසරමින් සිටියි. කෞතුකාගාරයේ ශුද්ධ පවිත්‍ර කටයුතු බාරදී ඇති පුද්ගලික සමාගමක කසළ ශෝධක පිරිස් සිය රාජකාරිය ඉටුකරනු ලබන්නේද රාත්‍රීයේය.

කෞතුකාගාරයේ මුර බාරකරු සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක නිලධාරීන් 12 දෙනකුද, මැදිරි භාරකරුවන් 27 දෙනකුද සේවයේ යෙදී සිටියි. මැදිරි භාරකරුවන් විසින් මැදිරිද, ඇතුළත දොරවල්ද වසා දමා එකී යතුරු තැබීම සිදුකරනු ලබන්නේ කුරුඳුවත්ත පොලීසියේය. එම යතුරු මුරකරුවන්ට හෝ ලබා නොදෙන අතර පසුදින සේවයට වාර්තා කරනු ලබන මැදිරි භාරකරුවන් එකී යතුරු පොලීසියේ දෛනික සටහන් පොතේ අත්සනක් තබා, වේලාව සටහන් කොට භාරගත යුතුය. තත්ත්වය මෙසේ බැවින් මේ පිරිස නොදැන, ඔවුන්ගේ ඇස නොගැටී කිසිවකුටත් මෙම කෞතුකාගාරය බිඳීමට තබා ඒ ආසන්නයට පැමිණීමටවත් නොහැකි බැව් තර්ක බුද්ධියෙන් විමසන ඕනෑම අයකුට පැහැදිලි වන කරුණකි.

එහෙත් නොවිය යුත්තක් සිදුවී තිබේ. ඒ නිසාම මේ පිටුපස අදිසි ප්‍රභූ හස්තයක් හෝ දේශපාලන හයියක් ඇති බවට හා කෞතුකාගාර පරිපාලනයෙන් මේ සඳහා සහයක් ලැබෙන්නට ඇති බවට සාධාරණ සැකයක් සමාජය තුළ ඇති විය. සිද්ධියට අදාළව පැතිකඩ කිහිපයක් ඔස්සේ කෞතුකාගරයේ අභ්‍යන්තර පරීක්ෂණයක්ද, කුරුඳුවත්ත පොලිසියද, කොළඹ අපරාධ කොට්ඨාසයද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, පරීක්ෂණ සිදුකරමින් පැවතියද, සිද්ධියට අදාළව සැකකරුවකු හෝ සොයාගැනීමට සැලකිය යුතු කාලයක් ගතවිය. මේ පිළිබඳ පුවත්පත් ඇතුළු මාධ්‍ය විසින්ද, විටෙන් විට සිහිකැඳවීම් කළ නිසාත්, පරීක්ෂණවල සැලකිය යුතු ප්‍රගතියක් සමාජගත නොවීම නිසාත් දිනෙන් දිනම සැකය හා කුකුස තීව්‍ර වූවා මිසක් මඳක් හෝ අඩුවීමක් සිදුනොවිණි. එහෙත් විමර්ශන නිලධාරීන් විසින් මේවන විට විවිධ මාදිලියෙන්, විවිධ පැතිකඩ ඔස්සේ තම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරමින් තිබිණි.

ජාතික කෞතුකාගාරයේ එවක කෞතුක අධිකාරී සුසෙව් හේවගේ රංජිත් මහතාගේ ප්‍රකාශය අනුව කෞතුකාගාර පරිපාලන කටයුතු සිදුවන ස්වරූපය, කාර්ය මණ්ඩලය මෙහෙයවීම, අධීක්ෂණ කටයුතු පිළිබඳවත්, සොරකම සිදුවූ දිනයේ සේවයේ නියුතුව සිටි අයවළුන් පිළිබඳවත් මූලික විස්තරයක් ලබාගැනීමට හැකිවිය. රජයේ නිවාඩු දිනයන් හැර අනෙකුත් සෑම දිනෙකම පෙ.ව 9.00 සිට පස්වරු 6.00 දක්වා නරඹන්නන් සඳහා කෞතුකාගාරය විවෘතය. කෞතුකාගාරයට ඇතුළුවීමට පවත්නා ප්‍රධාන ගේට්ටු දෙක පැය 24 පුරාම ආරක්ෂක නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කර තිබේ.

සිද්ධිය වූ කාලයට අදාළව සලකා බැලීමේදී දිවා කාලයේ මුර බාරකරු සුනිල් රාජපක්ෂ යටතේද, රාත්‍රී කාලයේ සහකාර මුර භාරකරුවන් වන අසංක ජයසිංහ හා තරංග තුෂාර යන මහත්වරුන් යටතේද පැවතිණි. සවස 6න් පසුව කෞතුකාගාරයේ ඇතුළත කුටි වෙන් වෙන්ව පරීක්ෂා කර දොරගුළු දැමීමත්, එයින් අනතුරුව ගොඩනැඟිල්ලට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඉබි යතුරු දමා වසා අදාළ යතුරු රාත්‍රී මුර රාජකාරි සඳහා වාර්තා කරන සහකාර මුර භාරකරු මගින් කුරුඳුවත්ත පොලීසියට භාරදීමත් සිදුවෙයි. සිද්ධිය වූ දිනයේද කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවී තිබේ. එහෙත් රාත්‍රීයේදී කිසිවකුත් නොදත් යමක්ද සිදුවී තිබේ. සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ විය.

"කෞතුකාගාරය ඇතුළත සවි කොට තිබුණු සී.සී.ටී.වී මෙහෙයුම් මැදිරියට ඇතුළු වෙන්නේ කවුද? "සුනිල් රාජපක්ෂත්, දවසේ සහකාර මුර භාරකරුත් විතරයි සර්" "සිද්ධිය වෙච්චි දවසේ සී.සී.ටී.වී වැඩ කළේ නැත්තේ ඇයි? "එදා විතරක් නෙවෙයි සර්. දවස් ගාණක් ඉඳලා වැඩ කළේ නෑ. ඒ ගැන දන්වලයි තිබුණේ?

"දැන්වූවාට ඒවා හැදුවෙ නැද්ද?

"නෑ සර්. හදන්න එන බව කියලා තියෙද්දි තමයි මේක වුණේ" ප්‍රශ්න කිරීම් හමුවේ සේවකයකු පිළිතුරු ලබාදී තිබුණේ ඒ අයුරිනි. එම කතාවේ පසුබිම මෙපරිදිය. කෞතුකාගාරයේ ඇතුළත හා එකී පරිශ්‍රයේ සී.සී.ටී.වී සහ දුමට ප්‍රතිචාර දක්වන එලාම් උපකරණ සවිකර තිබුණේ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පවත්නා වෘත්තීය පුහුණු අධිකාරිය විසිනි. 2010 වසරේ දෙසැම්බර් මස 14 වන දින කෞතුකාගාර පරිපාලනයත්, වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ව එළඹුණු ගිවිසුමකට අනුව 2011 වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම කැමරා සවිකර තිබුණු අතර ඒවා 2012 වසරේ පෙබරවාරි මස පළමු සතිය දක්වා නිසි ලෙස ක්‍රියාත්මක විය. ඉක්බිතිව එළඹුණු කාල පරාසය තුළ අකුණු ගැසීම් සහිත දැඩි වැසි ඇතිවීමත්, විටෙන් විට විදුලිය විසන්ධි වීමත් නිසා ආරක්ෂිත පියවරක් ලෙස විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබුණි. සුනිල් රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදි ඔහු ලබාදී තිබුණේ මෙවන් පිළිතුරුය.

"විදුලිය විසන්ධි කිරීමට තීරණය කළේ ඇයි?

"අකුණු ගහන නිසයි විටින් විට විදුලිය විසන්ධිවීම් වුණු නිසයි" රාජපක්ෂ මහතා පවසයි.

"කවුද එහෙම කරන්න කීවේ?

මැඩම්ගෙ අවසරය පිට මමයි එහෙම කීවේ"

"කවුද මැඩම්. ?

"මෙහේ අධ්‍යක්ෂවරිය විදිහට වැඩ කරන නන්දා වික්‍රමසිංහ."

"කවුද මේ මෙහෙයුම් කුටියට ගියේ?

"මමයි සහකාර මුර පරීක්ෂක හැටියට ඉන්න කෙනයි විතරයි"

"ඒ කියන්නෙ නම් කළ නිලධාරීන් දෙන්නෙක් විතරයි?

"ඔව්. වෙන කාටවත් ඒකට යන්න අවසර දීලා තිබුණේ නෑ" රාජපක්ෂ මහතා විසින් ඒ බව පැහැදිලි කළේය.

"ආයෙ කවදද CPU ඔන් කළේ?

"දිනය නම් හරියටම මතක නෑ. ඒත් දවස් දෙක තුනකට පස්සේ ඔන් කළා. ඒත් මැදිරියේ ඉහළ බිත්තියේ සවිකර තිබුණු රූපවාහිනී තිරයට දර්ශන ආවේ නෑ. ඒ නිසා ඒ ගැන ආයෙමත් වෘත්තීය පුහුණු අධිකාරියට දැනුම් දුන්නා" ඔහු අතීත සිදුවීම ඒ ආකාරයෙන්ම පවසා සිටියේය. ඒ අනුව කෞතුකාගාරයේ සී.සී.ටී.වී දර්ශන නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට වෘත්තීය පුහුණු අධිකාරියේ තාක්ෂණ උපදේශක තුෂාර එදිරිසිංහ මහතා වෙත දැනුම් දී තිබුණි. එහෙත් අපේක්ෂා කළ පරිදි ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කඩිනම් සේවයක් නොලැබුණි. ඒ අනුව නැවත නැවතත් ඒ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මාර්තු මස 16 වන දින පෙ.ව 10.30 පමණ වෙද්දී නිලධාරීන් දෙන්නෙක් කෞතුකාගාරයට පැමිණ සී.සී.ටී.වී යන්ත්‍ර පරීක්ෂා කොට ඒවා යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා එළඹෙන 19 දා පැමිණෙන බවට පොරොන්දුවී යන්නට ගියහ.

කෞතුකාගාරයේ ‍සුප්‍රසිද්ධ සොරකම සිදුවන්නේද, එදින රාත්‍රීයේමය. ඒ අනුව මෙම පරිශ්‍රයේ සී.සී.ටී.වී හා දුමට සංවේදී එලාම් උපකරණ අක්‍රීය මට්ටමේ පවතින බවත්, ඒවායේ දුර්වලතා පිළිබඳ නිසි ලෙස දැනුම්වත්ව සිටියේත් කිහිපදෙනකු පමණි. එදිනම රාත්‍රියේ කිසිවකු නොබියව කෞතුකාගාරයට ඇතුළුවන්නේ මෙම පූර්ව දැනීම නිසා වන්නට බැරිද? මේ සැකය නිසාම විමර්ශන නිලධාරීන්ට ආයතනයේ සේවයේ නියුතුව සිටි ආරක්ෂක නිලධාරීන්ගෙන්, මැදිරි භාරකරුවන්ගෙන්, මෙන්ම සී.සී.ටී.වී පද්ධතිය පරීක්ෂා කිරීමට පැමිණි පුද්ගලයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කරන්නටත් සිදුවිය. මීට අමතරව ඇඟිලි සටහන් කාර්යාංශයේ නිලධ‍ාරීන් විසින් මෙම පරිශ්‍රයේ ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක්කොට සැක කටයුතු ඇඟිලි සලකුණු සහ පතුල් සලකුණු නිරීක්ෂණය කර ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලදී.

කෞතුකාගාරයේ සේවකයින් හැරුණුවිට සෙසු අංශවලට අනියුක්තව සේවය කරමින් සිටි සේවකයින් සහ කෞතුකාගාර ප්‍රවිශ්ඨය තුළ සිදුකෙරෙමින් පැවති නව ඉදිකිරීම්වල කටයුතු කළ සේවකයින් (ඒ වනවිට තාප්ප කඩා දමා යළි ඉදිකරමින් පැවතිණි), කෞතුකාගාරය අවට තිබෙන ආයතනයන්හි සේවක සේවිකාවන්ගේද ඇඟිලි සලකුණු සටහන් ලබා ගන්නා ලදී. ඒ වන විට කෞතුකාගාරයේ මෙන්ම අවට පැවති කලාභවන, ජෝන් ද සිල්වා සමරු රඟහල, ජාතික පුස්තකාලය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මහවැලි කේන්ද්‍රය, නවපුරහල ආදී ආයතන වටාද පැවති තාප්ප බිඳ දමා ඒ ආශ්‍රිතව ඇවිදින මං තීරුවක් ගොඩනඟමින් පැවති වකවානුවයි. මේ කාලයේදී එක් ආයතන පරිශ්‍රයකට ඇතුළුවන අයකුට පහසුවෙන් කෙටි මං ඔස්සේ සෙසු ආයතන පරිශ්‍ර කරා ළඟාවිය හැකිව පැවතුණි.

මේවායේ සේවය කරන කම්කරුවන්ද බොහෝ විට අයත්වූයේ එකම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමකට බැවින් ඔවුන් පහසුවෙන් එහා මෙහා ගොස් තමන් දන්නා හඳුනන අය ඇසුරු කිරීම්, කතා බස් කිරීම් සාමාන්‍ය ලක්ෂණයක්ව පැවති බැවින් ඔවුන්ගේ ඇඟිලි සලකුණුද ඇතැම්විට වැදගත් හෝඩුවාවක් හෙළිකරනු ඇතැයි විමර්ශන නිලධාරීහු උදක්ම බලාපොරොත්තු වූහ. ඒ අනුව කෞතුකාගාර පරිශ්‍රයෙන් ලබාගත් ඇඟිලි සලකුණු හා කෞතුකාගාරයේ සේවයේ නියුතු සේවකයින්ගේ මෙන්ම මෙම අවට ආයතනවල සේවකයින් හා කම්කරුවන්ගේද ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කොට සැසඳීමට කටයුතු කෙරිණි. මේ අයුරින් කිසියම් හෝඩුවාවක් සොයාගත හැකිවෙතැයි අපේක්ෂා කරනු ලැබුවද, අ‍පේක්ෂා කළ තරමේ ප්‍රතිඵලයක් ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි විය.

කෞතුකාගාර සොරකම සිදුවූ දිනයට පසුදින පරිශ්‍රය තුළ පැවති පිටස්තර පුද්ගලයකුට අයත් යයි සිතිය හැකි භාණ්ඩ ගණනාවක් කෙරෙහි විමර්ශන ඇස ඒවන විටත් යොමුවී තිබුණි. දල්වා වීසිකරන ලද එක්තරා වර්ගයක බීඩි 9ක්, පාවිච්චි කරන ලද කිළිටි වූ රොක් ඇන්ඩ් රෝල් කැප් එකක්, අඩි 15ක් සහ අඟල් 6ක් දිග රෝස පාට, සුදු හා කළු ඉරි සහිත කොටස් පහකින් යුතු එකට ගැට ගැසූ ඇඳ ඇතිරිල්ලක් , අඩි 29ක් දිගැති තනි කම්බිය සහිත අළු පැහැති වයරයක් , හච් වර්ගයේ හා ටිගෝ වර්ගයේ ජංගම දුරකතන සිම් කාඩ්පත් දෙකක් මෙම ආගන්තුක භාණ්ඩ අතර විය.

මෙම භාණ්ඩ එදින කෞතුකාගාරයට ඇතුළු වූ සැකකටයුතු පුද්ගලයාට අයත් හෝ ඔහු විසින් ගෙන එන ලද ඒවා විය හැකිද යන්න තෝරා බේරාගැනීමට සිදුවිය. ඒ අනුව ඒ පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදුකරීමෙන් පසු වැඩිදුර විමර්ශන වාර්තාවක් ලබා ගැනීම සඳහා රාගම අණුක වෛද්‍ය ඒකකය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් හා සම්පූර්ණ ලෙස සිදුකිරීමට නවීන උපකරණ නොමැති බව එම ආයතනය විසින් දැනුම්දීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ, නාරාහේන්පිට පිහිටා ඇති ජින්ටෙක් ආයතනය වෙත යොමුකරන ලදී.

"සර්..අර බීඩි"

"ඔව්" විමර්ශන නිලධාරියා හැරී බැලුවේය.

අදට අවසන්!

හෙට - ප්‍රබල ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්ෂකයකු දෙසට විමර්ශනය යොමුවේ.

රංජිත් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...