අපට ලැබෙන ජගත් සහාය යොදා ගන්නේ රටේත් දරුවන්ගේත් අනාගතයටයි | දිනමිණ

අපට ලැබෙන ජගත් සහාය යොදා ගන්නේ රටේත් දරුවන්ගේත් අනාගතයටයි

 යහපත් සහ මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියක් තුළින් අද ශ්‍රී ලංකාවට හිමිව ඇති ජාත්‍යන්තර සහයෝගය රජය යොදා ගන්නේ රටේ සංවර්ධනයට මෙන්ම දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර, දෙයියන්දර ජාතික පාසලේ ඉදිකෙරුණු නව පරිපාලන ඒකකය ඊයේ (06) දහවල් විවෘත කරමිනි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර පරිපාලන ඒකකය සහිත නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීම

සඳහා රජය උපරිමයෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටුකරන බවයි.

රටක් සංවර්ධනය කරා ගෙන යාමට එම රට තුළ උගතුන් බිහිවිය යුතු බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් කිසිදු රජයක් ඉටුනොකළ වැඩකොටසක් වත්මන් රජය ඉටුකරමින් සිටින බව ද කියා සිටියේය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.

අමරසේන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ මුලටියන සහ දෙයියන්දර ප්‍රදේශවල සිදුකෙරුණු සංවර්ධන කටයුතු ද අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරිණි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, දකුණු පළාත් සභාව හා එක්ව ,පුර නැගුම, ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මුලටියන ප්‍රාදේශීය සභා නව කාර්යාල ගොඩනැගිල්ල සහ බහු කාර්ය ගොඩනැගිල්ල අද පෙරවරුවේ පළමුව ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

පු'ථල් මහජන සේවාවක් සැපයීමේ අරමුණින් රුපියල් මිලියන 110 ක වියදමින් සියලු පහසුකම් සහිතව සිව් මහල් ගොඩනැඟිල්ලක් ලෙස මෙය ඉදිකර තිබේ.

මාතර, දෙයියන්දර සණස සිව් මහල් බැංකු සංකීර්ණය ද අද ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිවරයා අතිනි.

වඩාත් පුළුල් පාරිභෝගික සේවාවක් සැපයීමේ අරමුණින් සමූපකාර දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම අනුව නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් හා සියලු පහසුකම්වලින් සමන්විතව නව බැංකු සංකීර්ණය ඉදිකර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර නව බැංකු සංකීර්ණය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ සමරු සටහනක් ද තැබීය. පළමු ගනුදෙනුව සිදුකෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

සණස සංගමයේ සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා වෙත සහ මාතර දිස්ත්‍රික් සණස සංගමයේ සභාපති එම්.ජී. සුනිල්කාන්ත මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

සණස මුලටියන සමිතියේ සභාපති එච්.පී.ඩී. චන්ද්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විය. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන,

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද මාතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න