ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා පරීක්ෂණ සහායට ප්‍රකාශයක් ලබාදීමට 9දා උසාවියට | දිනමිණ

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා පරීක්ෂණ සහායට ප්‍රකාශයක් ලබාදීමට 9දා උසාවියට

නෙල්කා මැදගෙදර

රුපියල් කෝටි හතරක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනකු අදාළ පරීක්ෂණ සඳහා සහාය දක්වන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම නොවැම්බර් මස 09 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන බව ඊයේ (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියහ.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔවුන් තිදෙනා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ්ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරු මේ බව අධිකරණයට දන්වා සිටියහ. බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් ජනරාල් නීල් බණ්ඩාර හපුවින්න විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය, එහි අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ කොල්ලුපිටියේ ඉදිකෙරෙන ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 18.5ක් කැබිනට් අනුමැතිය යටතේ වෙන් කර ඇත.

එලෙස 2012 වසරේදී වෙන්කරන ලද මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි ‍හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට පොලිස් මූල්‍ය අපරාධ ‍විමර්ශන කොට්ඨාසය මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව විමර්ශනයක් කර ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ අතර මෙම පෙත්සම්කරුවන් සැකකරුවන් ලෙස නම් කර ඇත.

එලෙස සැකකරුවන් ලෙස නම්කරන ලද මෙම තිදෙනාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති අතර එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් එමගින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවෝ පැමිණිලි කර සිටියහ.

ඊයේ (06) මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අදාළ විමර්ශනවලට සහාය දීමට පෙත්සම්කරුවන් සූදානම් බව ද අධිකරණය හමුවෙහි පෙනී සිටීමට ඔවුන් සූදානම් බව ද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරු දන්වා සිටියහ.

එලෙස පරීක්ෂණ සඳහා සහාය දෙන්නේ නම් පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි නීතිඥවරු පෙන්වා දුන්හ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊට එකඟතාව පළ කෙළේය.

කෙසේ වුවද අවශ්‍ය වුවහොත් කරුණු දැක්වීම සඳහා පෙත්සම නොවැම්බර් මස 17 වැනිදා නැවත කැඳවීමට නියම විය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ්ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න