සාම සාධක යුධෝපකරණ හමුදාධිපති අධික්ෂණයට | දිනමිණ

සාම සාධක යුධෝපකරණ හමුදාධිපති අධික්ෂණයට

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා නුඳුරේ දී මාලි බලා පිටත්ව යන භට පිරිස් හි යුධෝපකරණ තව දින 02 - 03 ක් තුල දී මුහුදින් ප්‍රවාහනය කිරීමට නියමිත බව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පවසයි.

ඒ සදහා අදාල භාණ්ඩ නැව් ගත කිරීම අධික්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද පස්වරුවේ කොළඹ වරාය වෙත පැමිණියහ.

එක්සත් ජාතින්ගේ මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරීන් සඳහා නුඳුරේ දී පිටත්වන භට පිරිස වෙනුවෙන් කන්ටේනර් පෙට්ටි 55 ක අසුරන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ ඇතුළු සාම සාධක රාජකාරින් සඳහා අවශ්‍ය අනෙකුත් විවිධ උපකරණ සහ බඩු භාණ්ඩ රැසක් මෙසේ නැව් ගත කිරීම සිදු කරන ලදි.

ඊට අමතරව, එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා යොදා ගන්නා සුදු වර්ණය ආලේපිත භට පිරිස් ප්‍රවාහන බෆල් රථ, බවුසර්, කැටිපිලර් ඇතුළු මෝටර් වාහන තොගයක් ද මෙම නැව් ගත කිරීමට ඇතුලත් විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ සහ උපකරණ මාස්ටර් ජෙනරාල් සමගින් අදාල බඩු භාණ්ඩ නියමිත වේලාවට නිසි පරිදි පිටත් කිරීම පිළිබදවත්, අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳවත් සාකච්ඡා කළ අතර, එම අවස්ථාවට මාලි බලා පිටත්ව යන ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ද සහභාගි විය.

මාලි රාජ්‍යයේ නොයෙකුත් ආරක්ෂක රාජකාරි කටයුතු ඉටු කරමින් එරට දේශපාලන ක්‍රියාදාමය ශක්තිමත් කරලීමේ අරමුණ පිණිස එහි ස්ථාන ගත එක්සත් ජාතින්ගේ Multidimensional Integrated Stabilization Mission මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස ද නුඳුරේ දී එක්වනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 16,000 ක් ලෙබනන්, සුඩාන් සහ දකුණු සුඩාන් ආදි රටවල ස්ථාන ගත එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාරාජකාරින් හි මේ දක්වා නිරත වී ඇත.

දකුණු සුඩානයේ බෝර් හි එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා රාජකාරින් සඳහා අනුයුක්තව දෙවන මට්ටමේ (Level 2) SRIMED රෝහල ස්ථාපිත කරලීමෙන් යුද්ධ හමුදාව තම වෘත්තීය නිපුණත්වය විදේශයන්හි ද මනාව ප්‍රදර්ශනය කර තිබේ.

 

නව අදහස දක්වන්න