ගම්පහ සාහිත උළෙ­ලේ වියත් ලේඛ­ක­ හඬ | දිනමිණ

ගම්පහ සාහිත උළෙ­ලේ වියත් ලේඛ­ක­ හඬ

ඡායාරූපය-ශ්‍යාමන් රණතුංග

කමල් පෙරේරා

පහුගිය සතියේ ලිපියෙන් අපි ඇමතුවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මැතිනියට. එය දැක එතුමිය දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය වෙනුවෙන් මුලින්ම ස්තූතිවන්ත විය යුතුයි. එම ලිපියේ අප දක්වා සිටි කරුණු පිළිබඳව තවදුරටත් කතිකා කිරීමට අපට සාකච්ඡාවක් ලබාදෙන ‍බව දුරකථනයෙන් මා ඇමතූ අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර සිටියා.

සාහිත්‍ය සමයේ සිදු වූ තවත් කාර්යයක් පිළිබඳව මෙවර ලිපියෙනුත් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මන්දයත් පසුගිය සතියේ ලිපියෙන් සංස්කෘතික අධ්‍යක්ෂවරියට ඉදිරිපත් කළ කරුණු මේ සිද්ධියෙන් තවදුරටත් තහවුරු වන නිසයි. මේ ලිපියෙන් ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කරන්න කල්පනා කරනවා. එකක් තමා දිස්ත්‍රික් ලේඛක සංගමයත් සමඟ ඒකාබද්ධ වීම මඟින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට සැබෑ සාහිත්‍ය උත්සවයක් පැවැත්වීමට ඇති හැකියාව. දෙවන කාරණය වශයෙන් මා ඉස්මතු කර පෙන්වන්නේ තම ජීවිත කාලයම සාහිත්‍ය වෙනුවෙන් කැප කළ ලේඛකයන්ගේ ජීවිතවල සැඳෑ සමය කෙතරම් ශෝචනීය ද යන වග.

ඔක්තෝබර් 28 වනදා ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යේද අනුග්‍රහය ඇතිව පැවැත්වූ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලයි මගේ ලිපියේ නිමිත්ත. සරුවපිත්තල ප්‍රාසාංගික සැරසුම්වලින් තොරව ලේඛකයන්ට හා ලේඛන කලාවට මුල්තැන දී සාහිත්‍ය උත්සවයක් පැවැත්විය හැක්කේ කෙසේද යන පැනයට ගම්පහ සාහිත්‍ය උළෙල කදිම පිළිතුරක් සපයන බව කිසිම පැකිළීමකින් තොරව කියන්න පුළුවන්. පාසල් හා විවෘත වශයෙන් පැවැත්වූ සාහිත්‍ය නිර්මාණ තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම, ප්‍රතිබිම්බ නමින් සඟරාවක් නිකුත් කිරීම, සාහිත්‍ය පිළිබඳව දෙසුමක් පැවැත්වීම ආදී කටයුතුවලට අමතරව මෙම උළෙලේ දැකගන්නට ලැබුණු ආකර්ෂණීය අංගය වූයේ දිස්ත්‍රික්කයේ වෙසෙන ජ්‍යෙෂ්ඨතම ලේඛකයන් තිදෙනකුට උපහාර තිළිණ පිරිනැමීම බව වෙසෙසින්ම සඳහන් කිරීම වටිනවා.

කේ. ජයතිලක, මහගම සේකර වැනි මහා සාහිත්‍යධරයන් බිහිකළ ගම්පහ දිස්ත්‍රික්කය සරුසාර සාහිත්‍ය තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම මහා ගත්කතුවරුන්ගේ මඟ යන ලේඛකයන් රැසක් අදත් ගම්පහ දිස්ත්‍රික්කය වාසභූමි කරගෙන ජීවත් වෙනවා. වසර කිහිපයක සිට ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමය ක්‍රියාත්මක කරන එවන් ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් උපහාර දැක්වීමේ සත්කාර්යයට මෙවර බඳුන් වූයේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග, ටෙනිසන් පෙරේරා හා මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු යන ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයන් තිදෙනායි.

මුලින් කියා සිටියා වගේම මේ ජ්‍යෙෂ්ඨ ප්‍රණාමයේදී මා පමණක් නොව, සභාවේ සිටි සිය ගණනක් ළමා හා වැඩිහිටි සාහිත්‍යකාමීන් කම්පනයට පත් කළ අවස්ථාව වූයේ ප්‍රණාමයට ලක් වූ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයන් සභාව අමතා අදහස් පළ කළ මොහොතයි. මුලින්ම කතා කළ ආචාර්ය හරිස්චන්ද්‍ර පැවසූ කරුණු සංස්කෘතියේ හා කලාකරුවන්ගේ මුරදේවතාවුන් මෙන් පෙනී සිටින බලධාරීන්ගේ අවධානයට යොමුවීම ඉතාම වැදගත්ය කියා හිතෙනවා. ජ්‍යෙෂ්ඨයින් ඇගැයීම පිළිබඳව තුති පුදමින් ඔහු කියා සිටියේ ජීවිතේ සැඳෑ සමයේදී තමා වැනි අය මුහුණපාන ගැටලු ගැනයි. “අපි වගේ වියපත් අයට දැන් අවශ්‍ය තෑගි බෝග හා ඇගයීම්වලට වඩා ජීවනාධාරයක්. හදිසියකදී නිවසේ සිට රෝහලකට යාමටවත් අපට පහසුකමක් නැහැ. මෙන්න මෙවැනි දේ කෙරෙහි අවධානය යොමු කරන්න කියලයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.”

ජ්‍යෙෂ්ඨ ලේඛක ටෙනිසන් පෙරේරා කියා සිටියේත් ආචාර්ය විජයතුංග පළ කළ අදහසට සමාන එකක්. “අපි වගේ අයට මෙහෙම ගරු බුහුමන් කිරීම ගැන ස්තූතියි. ඒත් දැන් මටනං මේ එකකින්වත් එතරම් වැඩක් නැහැ. ජීවිතය පිළිබඳව ලොකු කලකිරීමක් තමයි දැන් මට තියෙන්නේ.” මහාචාර්ය පල්ලියගුරු කළ කෙටි අදහස් දැක්වීම තුළ අපේක්ෂාසහගත බවක් දක්නට ලැබුණා.

මෙවන් ඇගයීම් ඉදිරි සාහිත්‍ය කාර්යයන්ට උත්තේජනයක් සපයන බවයි එතුමාගේ අදහස වුණේ. විශේෂයෙන්ම දකුණු පළාතේ උපන් තමා ජීවිතයේ ඉදිරි කාලය ගම්පහ දිස්ත්‍රික්කයේ ගතකිරීමට සිතා සිටින බවත් මහාචාර්යවරයා කියා සිටියා.

ආචාර්ය විජයතුංග හා ටෙනිසන් පෙරේරා යන ජ්‍යෙෂ්ඨයින් දෙපළ විසින් පළකිරීමට යෙදුණු අදහස් තරමක් හැඟීම්බර වුණත් ඒවා පිටුපස රැඳී තිබෙන හේතු කාරණා විමසා බැලීම අපගේ වගකීමක්ය කියා මට හිතෙනවා. මේ දෙදෙනාගේම දිගු කාලීන සාහිත්‍ය මෙහෙවර පිළිබඳව සලකා බලන විට ඔවුන් සමස්ත ජාතියටම අයත් ලේඛකයන් මිස හුදෙක් කුටුම්භවාසීන් විසින් පමණක්ම රැකබලා ගත යුත්තන් නොවන බවයි මගේ නම් අදහස.

මේ වන විට ආචාර්ය විජයතුංග පසුවන්නේ ජීවන චාරිකාවේ 87 වන කඩඉමේයි. ටෙනිසන් පෙරේරා ලේඛකයාත් 80 වන සැතපුම් කණුව කරා පිය නඟමින් සිටිනවා. ඊළඟ වැදගත් කාරණය නම් මේ දෙදෙනාම තවමත් ක්‍රියාකාරීව සාහිත්‍ය කටයුතුවල නිරතව සිටීම. අවසන් මොහොත දක්වාම පන්හිඳ අත් නොහරින බවටයි දෙදෙනාම සපථ කර සිටිනුයේ. ඒ දෙදෙනා විසින් ඉටුකර තිබෙන මෙහෙවර ඉතා දීර්ඝව සාකච්ඡා කළ යුත්තක් බැවින් මා මේ කෙටි ලිපියෙන් ඊට අලගු තබන්න යන්නෙ නැහැ.

වියපත් ලේඛකයන් වෙනුවෙන් විධිමත් සුබසාධන වැඩපිළිවෙළක් ඇරඹීමේ අවශ්‍යතාව මේ දෙදෙනාගේ කතාවලින් යළි යළිත් තහවුරු වෙනවා. පොතපතකින් ලැබෙන කර්තෘභාගයෙන් අද ලේඛකයකුගේ ජීවිතයේ සැඳෑ සමයේ පැන නඟින අවශ්‍යතා සපුරා ගැනීම අසීරුයි. අනිත් අතට මහා ජීවන අරගලයක පැටලී සිටින දුවා දරුවන්ට අමතර බරක් වීමට මෙවන් මිනිසුන්ගේ පෞරුෂය ඉඩ දෙන්නේ නැහැ.

දුප්පත් ලේඛක සංවිධානවලට කළ හැක්කේ මෙබඳු ජ්‍යෙෂ්ඨයන් හඳුනාගෙන කුඩා උපහාරයන් දැක්වීම පමණයි. එවැනි හඳුනාගැනීමක් මඟින් තම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් වෙත සමාජ අවධානය යොමු කිරීම පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමයේ සභාපති දේ. වි. ගාල්ලගේ ප්‍රමුඛ නිල මඬුල්ලට ලාංකික ලේඛකයන්ගේ කෘතඥතාව හිමිවිය යුතුයි. එසේම චක්‍රලේඛවලට මුවා නොවී ලේඛක සංගමයේ කටයුතුවලට අනුග්‍රහය දක්වන ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ප්‍රධාන දිසාපති කාර්යාලයේ සෙසු නිලධාරීන්ගේ මෙහෙවර ද අගය කිරීම වටිනවා.

සාහිත්‍ය උත්සවයක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මොඩලයක් වශයෙන් මෙවැනි උත්සව ආදර්ශයට ගන්නා ලෙස සෙසු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවලට යෝජනා කරනු කැමතියි. ඒ වගේම වියපත් ලේඛකයන් මතු නොව සමස්ත ලේඛක ප්‍රජාව වෙනුවෙන්ම තිරසාර සුබසාධන වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි සංස්කෘතික බලධාරීන්ගේ දෑස් විවර කිරීමටත් මේ සටහන සමත් වේවා කියා ප්‍රාර්ථනය කරනවා.

නව අදහස දක්වන්න