කටුගෙයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය - (2 කොටස) | දිනමිණ

කටුගෙයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය - (2 කොටස)

ඇමති ආරක්ෂක‍‍යෙක් පිළිබඳ සැකයක්

ආයතන පරිශ්‍රය තුළ වැටී තිබුණු බීඩි වර්ගය මිලදී ගැනීමට හැකියාව පවතින්නේ කුමන තැන්වලින්දැයි සොයා බැලීමට විමර්ශන නිලධාරීහු කටයුතු කළහ. ඒ අනුව තෝරා වර්ගයේ බීඩි වර්ගය කෞතුකාගාර පරිශ්‍රයට එතරම් දුරක් නොමැති විහාමහාදේවි උද්‍යානය අවට‍ පෙට්ටි කඩවලින් පහසුවෙන් සපයා ගැනීමට හැකි බව තහවුරු විය. එම බීඩි පාවිච්චි කරනු ලබන්නේ කුමන තරාතිරමක පුද්ගලයින්ද, යන්න හා එක් බීඩියක් කොපමණ වේලාවක් දල්වා භාවිතා කිරීමට හැකිදැයි සොයාබැලීම සැකකරු හෝ සැකකරුවන් කොපමණ වේලාවක් පරිශ්‍රය තුළ රැඳී සිටියේදැයි අනුමාන කිරීමට වැදගත් මූලාශ්‍රයකි.

සැටලයිට් ආශ්‍රයෙන් කෞතුකාගාරයට ඉහළින් ඡායාරූ ගත කර අදාළ සොරකම සිදුවූ දිනයේ ඡායාරූපයක් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවිය. එහෙත් ඔවුනට හැකිවූයේ සොරකම සිදුවූ දිනයට පසු දින ඡායාරූපයක් ලබාගැනීමට පමණි. එමගින්ද බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකියාවක් නොවුණද, ඉහළ අහසට කෞතුකාගාරය දිස්වන අයුරු, ඊට මං මාවත් වැටී ඇති ආකාරය, ආරක්ෂක නිලධාරීන් ස්ථානගත කෙරෙන ස්ථාන මෙන්ම අවට මුර කපොළු පවත්නා ස්වරූපය පිළිබඳ දළ අදහසක් ලබාගැනීමට හැකිවිය. එම අත්දැකීම් පසු කාලීන විමර්ශනවලට යම් යම් හෝඩුවාවන් සැපයීමට ඔවුන්ට ශක්තියක් විය.

මහජනයා බලාපොරොත්තු වූ තරම් කඩිනමින් යුතුව මෙම සොරකමට අදාළව කිසිදු සැලකිය යුතු හෝඩුවාවක් සොයාගැනීමට පොලීසියට හැකියාවක් නොවීම බොහෝ දෙනකුගේ සැකයටත්, විවේචනයටත් ලක්විය.

අවසානයේ සිද්ධියට අදාළව පරීක්ෂණ පැවැත්වීම සඳහා මහජන සහය ඉල්ලන තැනට පොලීසිය තල්ලුවිය. ඒ අනුව සොරාගෙන ගිය කෞතුක භාණ්ඩවල ඡායාරූප විස්තරයක්ද, ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කරමින් අප්‍රේල් 04දා පළමුවෙන්ම පොලිසිය ජනතාවගෙන් සිද්ධියට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම කෞතුක භාණ්ඩ විකිණීම සහ ළඟ තබාගැනීම ද, දඬුවම් ලැබිය හැකි වරදක් බවට අවධාරණය කෙරිණි. ඒ අනුව තොරතුරු ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයේ ප්‍රසිද්ධ දුරකථන අංකයට අමතරව ජංගම දුරකථන අංක දෙකක්ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. ඉක්බිතිව අප්‍රේල් මස 09 දා කෞතුකාගාර සොරකම අල්ලා ගැනීමට සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදල් ත්‍යාගයක් ලබාදීමටද සූදානම් බවට පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.

මාර්තු මස සිදු වූ කෞතුක භාණ්ඩ අතුරුදන් වීමට අදාළව ජූනි මස වන විට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට ‍මෙම පරීක්ෂණ කටයුතු බාරගන්නා ලෙස නියෝග කෙරී තිබුණි. ඒ වන විට ක්‍රෙඩිට් කාඩ් වංචා පිළිබඳ විමර්ශන සිදුකරමින් සිටි ඔහුට මෙය විශේෂ රාජකාරියක් ලෙස බාර ගැනීමට සිදුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරී පාලිත පනාමල් දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ජයසේකර, පො.කො කළ්‍යාණරත්න, පො.කො රියදුරු සරත් යන අයගේ සහයෝගයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විමර්ශන කටයුතු අතට ගත්තේය.

ඔහු තම ප්‍රධානියාගේ උපදෙස් ලබාගනිමින් විවිධ පාර්ශව මගින් මෙතෙක් සිදුකර තිබුණු විමර්ශන මුල සිට අගට යළි විශ්ලේෂණය ක‍‍ලේය. ඒ අනුව ලබාගෙන තිබුණු සාක්ෂි සටහන්, ප්‍රකාශ, නඩු භාණ්ඩ ලෙස පැවති සැකකරුවන්ගේ යයි සිතිය හැකි ආගන්තුක භාණ්ඩ, ඩී.එන්.ඒ වාර්තා, ආදි සියල්ල කෙරෙහි මෙහිදී අවධානය ‍‍යොමු කෙරිණි. කෞතුක භාණ්ඩ පිළිබඳ දැනුමක් සහිත උදවිය, කෞතුක භාණ්ඩ විනෝදාංශයක් ලෙස එකතු කරන පිරිස්, කෞතුක භාණ්ඩ නරඹන ඒ පිළිබඳ තොරතුරු එක්රැස් කරන සිසුන්, පර්යේෂකයන් පිළිබඳ කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් ලේඛන ගත කරන්නේද යන්න සොයා බැලීමක් සිදුවිය. කෞතුකාගාර රාත්‍රී මුර සේවයේ යෙදෙන ඇතැමුන් විශ්වවිද්‍යාලවල සිසුන් බවත්, ඔවුන් දහවල් කාලයේ දේශනවලට සහභාගිවී රාත්‍රී කාලයේ මුර සේවයට පැමිණ වෙහෙස නිසාම නිසි සේවයක් නොකොට නිදාගන්නා අවස්ථාවන් ගැනත් තොරතුරු තහවුරු කර ගැනීමට මෙහිදී හැකිවිය. ඒ අනුව ලැබෙන තොරතුරු අනුව සේවක මහතුන්ගේ සබඳතාවක් ඇත්ද යන්න පිළිබඳවද මෙහිදී යළි වරක් අවධානයට ලක්විය.

මෙම සොරකම සිදුවූ වහාම පුහුණු කරන ලද පොලිස් සුනඛයෙකු යෙදවූවද, පරීක්ෂණවල ප්‍රගතියට සුනඛ මෙහෙයවන්නාගෙන් ලැබුණු සහය හෝ ඔහුගෙන් ගත් උපදෙසක් පිළිබඳ එතෙක් කිසිවක් සටහන්වී නොතිබුණි. පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා විසින් සුනඛ මෙහෙයුම් නිලධාරී, වහා කැඳවා ඔහුගේ උපදෙස් ලබාගැනීමට ක්‍රියා කළේය.

"ඔබ බල්ලාට දුන්නු සෙන්ට් එක (ඉව ඇල්ලීමට දුන් භාණ්ඩය) මොකක්ද?

"අපි තොප්පිය දුන්නා. බෙඩ් ෂීට් එක දුන්නා.. බීඩි දුන්නා.." සුනඛ මෙහෙයුම් නිලධාරී , තම රාජකාරිය කළ දිනය සිහිපත් කරමින් කියා සිටියේය.

"තොප්පිය දුන්නම ඒකට ඉව කරපු බල්ලා කෙලින්ම ආවේ කලාභවන ළඟට. එතෙන්ට ඇවිත් ගුවනට ඉව ඇල්ලුවා."

"ගුවනට ඉව ඇල්ලුවාම එයින් ඇඟවෙන්නේ ‍මොකක්ද ? ‍සිල්වා මහතා විමසුවේය.

"පයින් ආව ගමන ඉවරයි කියන එක"

"කී පාරක් දැම්මද?

"තුන් පාරක් දැම්මා. තුන් පාරම ගියේ එතෙන්ට" සුනඛ මෙහෙයුම් නිලධාරීයා අවධාරණය කළේය.

සුනඛ මෙහෙයුම් නිලධාරියා පවසන පරිදි සැකකරු පැමිණ ඇත්තේ කලාභවන අසලටය. එතැනින් ඔහු වාහනයකට නැඟී පලා ගියා වන්නට පුළුවන. ඒ මොහොතේ කලාභවන හෝ ඒ ආශ්‍රිත සිටියවුන් කවුරුන් විය හැකිද? මේ පිළිබඳ සොයා බැලීමේදී කලාභවනේ විශේෂ වැඩසටහනක් නොපැවතියද, ඒ ආසන්නයේම පිහිටි ජොන්ද සිල්වා සමරු රඟහලේ වව්නියාවේ සිට පැමිණි සිසු\සිසුවියන් පිරිසක් නවාතැන් ගෙන සිටි බව වාර්තා විය. එදින රඟහලේ වේදිකා ගතව පැවතියේ වින්සන් ගුණරත්න කලාකරුවාගේ 'චරිත හතක්' නාට්‍යයි. එහි දර්ශන වාර දෙකක් පැවැත්වී තිබුණි.

රාත්‍රීය ගත කළ වව්නියාවේ සිට පැමිණි පාසල් සිසුන් හෝ ඔවුන්ගේ ගුරු භවතුන් විසින් රාත්‍රීයේ හෝ අලුයම සැකකටයුතු පුද්ගලයකු දැකීමට පවත්නා ඉඩප්‍රස්ථාව වැඩිය. මේ නිසාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් වව්නියාවේ අදාළ පාසල කරා යැවීමට කටයුතු කෙරිණි. එහිදී පාසලේ විදුහල්පතිවරයාගෙන් අවසර ලබාගෙන අදාළ දිනයේ කොළඹ පැමිණ ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවාතැන්ගත් සිසු සිසුවියන් හා ගුරුභවතුන් හමුවී තොරතුරු විමසන ලදී.

"ඔයගොල්ල කලාභවන කිට්ටුවට ආවේ රෑ ආවේ කීයට විතරද? විමර්ශන නිලධාරියෙක් ඇසුවේය.

"පාන්දර එකට විතර සර්"

"කොහෙද නැවතිලා හිටියේ?

"ජෝන්ද සිල්වා එකේමයි"

"ඔය ගොල්ලෙ ඒකෙ කොතනද හිටියේ?

"එතැන වීදුරු දොරවල් ළඟ ඇතුළේ . සර්ලා එළියේ වොෂ් දැම්මා. පිලේ වගේ තමයි සර්ලා හිටියේ"

මේ අයුරින් සිසු සිසුවියන් 28-30 ක පමණ ප්‍රමාණයකින් තොරතුරු විමසුවද, සැකකටයුතු පුද්ගලයෙකු අවේලාවේ දුටු අයකු සොයා ගැනීමට හැකියාවක් නොලැබිණි.

"වව්නියාවෙන් ගිය අපි කොළඹ මිනිස්සු අඳුරන්නෙ කොහොමද සර්? ගුරුතුමියක් පවසා තිබුණි.

මෙලෙස වව්නියාවෙන් කොළඹ පැමිණි පාසල් සිසුන් කණ්ඩායම මෙන්ම සිද්ධිය වූ දිනයේ පාසල් තුනක සිසුන් කෞතුකාගාරය නැරඹීමට පැමිණි තිබුණු බව වාර්තා විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගාල්ල-බූස්ස ප්‍රදේශයේ පාසලකටත්, කොළඹ-කෝට්ටේ ප්‍රදේශයේ පාසලකටත්, කැලණිය-හුණුපිටිය ප්‍රදේශයේ පාසලකටත් ගියහ.

කලාප අධ්‍යාපන කාර්යාලයේත්, විදුහල්පතිවරුන්ගේත් අවසරය පරිදි එදින කෞතුකාගාරය නැරඹීමට පැමිණි සිසුන් වෙනම ශාලාවකට ගෙන්වා සිදුව ඇති සොරකම සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කරන ලදී. අනතුරුව පුළුල් තිරයක ආධාරයෙන් කෞතුකාගාර පරිශ්‍රයෙන් අහුලා ගනු ලැබූ රොක් ඇන්ඩ් රෝල් ලේබලය ගසා තිබුණු කිළුටු කැප් තොප්පියත්, බීඩි කොට ආදී සොයා ගත් දෑත් පෙන්වා එවන් තොප්පියක් පැළඳ සිටි පුද්ගලයෙකු දුටුවේදැයි විමසූහ.

"ඔව්...කිළුටු ඇඳුම් ඇඳගත්තු කළුපාට මූණෙ කුරුලෑ තියෙන අයිය කෙනෙක් මේ වගේ තොප්පියක් දාගෙන ඇවිත් හිටියා" සිසුන්ගෙන් කිහිපදෙනෙකු තමන් එවැන්නෙක් දුටු බව කියා සිටියහ.

විමර්ශන නිලධාරීහු කෞතුකාගාරයේ අවට, ඇතුළත ඡායාරූප පෙන්වමින් කුමන ප්‍රදේශයක ඔහු සිටි‍යේදැයි වැඩිදුරටත් විමසමින් තොරතුරු සටහන් කරගැනීමට කටයුතු කළහ. ඒ අනුව පාසල් තුනක සිය ගණනක සිසුන් අතරින් අට දෙනෙකු පමණක් තමන් එවැන්නෙක් දුටු බවට ශපථ කළහ.

"ඔය ගොල්ල කෞතුකාගාරය ඇතුළෙදි ඒ වෙලාවෙ ෆොටෝ එහෙම ගත්තෙ නැද්ද? නිලධාරියෙක් සිසුන්ගෙන් විමසුවේය.

"ඒ පුද්ගලයාගේද?

"නෑ නෑ. එහෙම නෙවෙයි කෞතුක භාණ්ඩවල. ඔයාලගෙම යාළුවන්ගෙ ෆොටෝ ගත්තෙ නැද්ද? නිලධාරියා යළි ඇසුවේය.

"අනේ නෑ. කැමරා අරන් ගියාට මුර අංකල්ලා අපට ෆොටෝ ගන්න දුන්නෙ නෑ." සිසුන් එක හඬින් කියා සිටියහ.

විමර්ශන නිලධ‍ාරීන් විසින් ඒවන විට අදාළ කැප් තොප්පිය සැකකරුගේම යයි දැඩිව විශ්වාස කර තිබුණි. එහි කිළිටි බව, පසුපසින් ආය කටුවක් ගසා තිබීමෙන් එය නිසි ලෙස හිසට නොගැලපෙන හා හිමිකරු විසින්ම මිලදී ගත් තොප්පියක් නොවන බවත් ගම්‍ය විය. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වූයේ සැකකටයුතු පුද්ගලයා මෙම කැප් තොප්පිය පැලඳ සිටින ඔහුගේම සෘජු ඡායාරූපයක් නොව පාසල් සිසුන් ඡායාරූප ගැනීමක් කර ඇත්නම් අහම්බයෙන් හෝ ඔවුන්ගේ ඡායාරූපවල පසුබිමක, දුරින් හෝ එම පුද්ගලයාද නිරූපණය විය හැකිව තිබුණු බවකි. එහෙත් අවාසනාවකට සැකකරු සිටින ඡායාරූපයක් සිසුන්ගෙන් සොයාගැනීමට නොහැකි විය.

එහෙත් සිසුන් අට දෙනෙකුම සැකකරුගේ හැඩරුව, මුහුණේ ස්වරූපය, බාහිර පෙනුම, ගැන මතකයෙන් කරුණු කියාපෑම නිසාම ඔවුන් විසින් ලබාදුන් තොරතුරු අනුව සැකකරු චිත්‍රයට නැඟීමක් සිදුවිය. සිසුන් අට දෙනාගේ මතක තොරතුරු අනුව වෙන් වෙන්ව කරුණු පරීක්ෂා කොට මුහුණු අටක් පමණ අඳින ලද්දේ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසිනි. එකී සෑම මුහුණකම සමාන බවක් තිබුණු බැවින් අවසානයේ එකී මුහුණේ සියලු අංග ලක්ෂණ සහිත එක මුහුණක චිත්‍රයක් ඇඳ මුද්‍රණය කරන ලදී. ඒ අනුව එකී මුද්‍රණ පිටපත පෙන්වා එදින සිටි කෞතුකාගාරයේ මුරකරුවන්ගෙන්, කසළ ශෝධකයින්ගෙන්, අවට පුද්ගලයින්ගෙන් එවන් මුහුණක් සහිත අයෙකු දුටුවේදැයි විමසන ලදී. එහෙත් එවැන්නෙක් දුටු බවට ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබු‍‍නේ නැත.

ජාතික කෞතුකාගාරයෙන් කෞතුක වස්තු සොරාගැනීමේ සිදුවීමට දින ගණනකට ඉහතදී කඩු සොරකමේ ගිය අයකු විසින් කෝට්ටේ රජමහා විහාරස්ථානයේ භික්ෂු දෙනමක් ඝාතනය කරන ලදී. එක්තරා දේශපාලනඥයකු විසින් දෛවඥයකුගේ ප්‍රකාශයක් අනුව යමින් ගුරුකමක් කරගැනීම සඳහා රාජසිංහ රජුගේ කඩුව සොයමින් සිටින බවටද රාවයක් පැතිර ගොස් තිබුණි. කෝට්ටේ රජ මහාවිහාරයේ පැවති පෞරාණික වටිනාකමකින් යුතු කඩුව සොරා ගැනීමට ගොස්, හිමිවරුන් විසින් තමා හඳුනා ගැනීම නිසා රහස රැකගැනීමට හිමිවරුන් ඝාතනය කළ බව කියන මංජු ශ්‍රී නමැත්තා සුප්‍රසිද්ධ වැලිකඩ ගැටුම අතරවාරයේ ඝාතනයට ලක්වීමද, මෙම අභිරහස තවත් තීව්‍ර කරන්නක් විය.

කෙසේ වෙතත් ඝාතනය කෙරුණු භික්ෂු දෙනමගේ අවසන් කටයුතු පැවති දිනයේ එම අවමංගල්‍ය අවස්ථාවට එක්වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කියා සිටියේ දේශපාලන සම්බන්ධකම් හා ඇඟිලිගැසීම් නොමැති ඕනෑම අපරාධයක් ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව විසඳීමට පොලීසියට හැකියාවක් ඇති බවයි.

අදාළ සොරකම සිදුව ඇති සංවිධානාත්මක ස්වරූපය, කෞතුකාගාරයේ සී.සී.ටී.වී හෝ දුම් සංවේදී එලාම් උපකරණ අක්‍රියවීම්, අවට තාප්ප කඩා තිබීම, අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබීම, ජාතික බුද්ධි අංශ කාර්යාලය හා කුරුඳුවත්ත පොලීසිය ආසන්නයේ තිබීම, රාත්‍රීයේ කසළ ශෝධකයින් සේවයේ යෙදීම, අභ්‍යන්තර යතුරු පොලීසිය බාරයේ තිබීම, පොලිස් ජංගම සේවා පාමුර සංචාර හිඟ නොවීම ආදී සියල්ල පිළිබඳ සැලකීමේදී මෙම සිදුවීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන සාධාරණ සැකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට‍ද ඇති නොවන්නට හේතුවක් නැත.

කෞතුකාගාරයට එහා පසින් කාපට් අතුරා තිබුණු පුළුල් මාර්ගයක් ආරක්ෂක විධිවිධාන අනුව වසදමා තිබුණි. එම මාර්ගය බොහෝවිට රාත්‍රීයට පැවතියේ අඳුරේය.

එසේ පැවති මාර්ගයේ ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රියට කාර්, මෝටර් සයිකල් රේස් පැදීම් දකින්නට තිබුණි. සිද්ධිය වූ දිනයේද, මෙම මාර්ගයේ විදුලි එළිය නොමැතිව අඳුරේම පැවතී තිබීමද, සැකයට තුඩුදෙයි. මේ සියලු තතු මධ්‍යයේ සිද්ධියට ආසන්න දිනයකදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු තම සහචරයින් සමග කෞතුකාගාරය නැරඹීමට පැමිණ තිබුණු අතර ඔහුගේ මැදිහත්වීමෙන් කෞතුකාගාරයේ පාලනාධිකාරියේ ඉහළ තනතුරකට පත් කළ පුද්ගලයෙකුද සිටියේය. ඒ නිසාම අතිශය වැදගත් තොරතුරු පිටවීමට පවත්නා ඉඩප්‍රස්ථාව වැඩිය. මේ අතර සිද්ධිය වූ දිනයේ අවට සැරිසරන ලද ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය.

අධිකරණ නියෝග අනුව දුරකථන සමාගම් වලින් ලබාගත් තොරතුරු මත පදනම්ව සැක කටයුතු යයි අනුමාන කළ පුද්ගලයින් තිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට විමර්ශන නිලධාරීන් විසින් කටයුතු කර තිබිණි. මෙහිදී ඉතාමත් සැකකටයුතු දුරකථන අංකයක් කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය.

එම දුරකථනය අංකය සහිත ජංගම දුරකථනය සිද්ධිය වූ දිනයේ කෞතුකාගාරය ආසන්නයේ අලුයම 3.00 ට පමණ සක්‍රීය වී විවිධ සංඥා කුළුණු හා සම්බන්ධවෙමින් මහනුවර ප්‍රදේශය දක්වා ගමන් කර තිබුණි. කෞතුකාගාරය ආසන්නයේ සිට කලාභවන සමීපයට ගිය සුනඛය‍ාගේ ඉව ඇල්ලීමත්, මෙලෙස අලුයම සක්‍රීය වන දුරකථනය ගොස් ඇති මාර්ගයත් එකම හෝ ඊට සමාන්තර බවක් තහවුරු කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය. ඒ අනුව මෙම ජංගම දුරකථනයේ හිමිකරු කවුරුන්දැයි සොයා බලා ඔහුව කැඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරන ලදී. මොහු එවක රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ආරක්ෂකයා වශයෙන් කටයුතු කරමින් සිටි පුද්ගලයකු බවත්, කෞතුකාගාරය බිඳීමට පෙර ඒ ආසන්න කාලයේ එය නැරඹීමට පැමිණි අමාත්‍යවරයා යනු ඔහුගේ සේවය ලබාදෙන අමාත්‍යවරයා බවත්, අමාත්‍යවරයා සමග එදින මොහුද පැමිණ ඇති බවත් අනාවරණය විය.

"අපේ හොස්ටල් එක තියෙන්නේ කෞතුකාගාරය ආසන්නයේමයි. එදා පාන්දර හොස්ටල් එකට ඇවිත් පුද්ගලික වැඩකට නුවර යන්න වුණා. මේකට මගේ කිසිම සම්බන්ධයක් නෑ" අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂකයා කියා සිටියේය.

හෙට - කඩු කැබලි කිහිපයක් පිළියන්දලින් මතුවේ

රංජිත් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...