කර්මාන්ත සංවර්ධනයට පාකිස්ථාන අත්වැලක් | දිනමිණ

කර්මාන්ත සංවර්ධනයට පාකිස්ථාන අත්වැලක්

 දැන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී. එක්සත් ජාතින්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, සහ ආසියාන් සංවිධානය යන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. යුරෝපා සංගමය සමග තිබූ විරසකභාවය තුනීව යෑමත් සමග විශාල ආර්ථික වාසි සමූහයක් ශ්‍රී ලංකාව ඉදිරියේ විවෘතව තිබේ.

එසේම අමෙරිකාව, යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ සමග ද චීනය, ඉන්දියාව හා පාකිස්ථානය යන කලාපීය බලවතුන් සමග ද අපේ රට ආර්ථික සහසම්බන්ධතා ගොඩනඟාගෙන ඇත.

පසුගියදා පාකිස්ථානු විදේශ ලේකම්වරිය ශ්‍රී ලංකා - පාකිස්ථානු අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳ පස්වන සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවට පැමිණියාය. එතුමිය සිය සංචාරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද හමුවූවාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට තුඩුදෙන ප්‍රධාන කරුණු දෙකක් ගැන ජනාධිපතිවරයා ඇගේ අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තය සහ උක් සීනි කර්මාන්තය නඟා සිටුවීම සඳහා පාකිස්ථානයේ සහාය අපේක්ෂා කළ ජනාධිපතිවරයා මෙතෙක් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා පාකිස්ථානය විසින් දෙන ලද සහායට කෘතඥතාවයද පළ කෙළේය.

සිමෙන්ති අවශ්‍යතාව

ඉදිකිරීම් ‍ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතා වැදගත් ස්ථානයකට පත්වීගෙන එයි. කොළඹ නගරයේ අහස උසට ගොඩනැගිලි ජාලයක් ඉදිවෙමින් තිබේ. මේ වනවිට දේපොළ සංවර්ධන අංශයට සහ යටිතළ පහසුකම් අංශයට විවිධ රාජ්‍ය අනුග්‍රහ හිමිවීම නිසා එම අංශය ද වර්ධනය වෙමින් තිබේ.

වාර්ෂිකව සිමෙන්ති අවශ්‍යතාව සියයට 8කින් ඉහළ යන බවට ඇස්තමේන්තු කර ඇත. නාගරික අඩු ආදායම් ලබන ජනතාවට හා මධ්‍යම පාන්තිකයනට අඩු වියදම් නිවාස යෝජනා ක්‍රම හඳුන්වා දීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ද ඇතිව ව්‍යාපෘති ඇරැඹීමට ආණ්ඩුව ක්‍රියාකරගෙන යයි. බස්නාහිර පළාතේ පමණක් පවුල් 24 ලක්ෂයකට පමණ අඩු වියදම් නිවාස අවශ්‍යතාවක් පවතින බව ගණන් බලා තිබේ.

මේ හැර 2009 න් පසු උතුරු නැගෙනහිර දෙපළාතේ ඉදිකිරීම් අංශය ද වතුකරයේ නිවාස ව්‍යාපෘතිද ඉදිවීමට නියමිතය. නිවාස ඉදිකිරීමේ පවතින මන්දගාමී ස්වභාවය ඉවත්කොට ඉදිකිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද පියවර හඳුන්වා දුන් විට නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යය වන සිමෙන්ති අවශ්‍යතාව කඩිනමින් දැනෙනවා ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සිමෙන්ති අවශ්‍යතාව මෙ.ටොන් දසලක්ෂ 5.8 සීමාවෙන් ඔබ්බට ගොස් තිබේ. 2021 වනවිට සිමෙන්ති අවශ්‍යතාව මෙ.ටොන් දස ලක්ෂ 7ක් පමණ වේ යැයි ඉදිකිරීම් අංශය විශ්වාස කරයි. දැනට ශ්‍රී ලංකාවට අවශය සිමෙන්ති ප්‍රමාණයෙන් සියයට 66 ක් පමණ ඉන්දියාව, පාකිස්ථානය, වියට්නාමය,මැලේසියාව ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් ආනයනය කරන නිසා දේශීය සිමෙන්ති නිෂ්පාදන‍යේ දැවැන්ත හිදැසක් දක්නට ලැබේ. මේ හිඟය හා හිදැස සම්පූර්ණ කර ගැනීමට නම් දේශීය සිමෙන්ති නිෂ්පාදනය වැඩිකර ගත යුතුය.

දැනටමත් ශ්‍රී ලංකවේ ප්‍රධාන පෙළේ සිමෙන්ති නිෂ්පාදන සමාගම් විදේශීය හවුල්කාරිත්වය සමග එක්ව සිටී. උදාහරණ දක්වන්නේ නම් ටෝකියෝ සිමෙන්ති සමාගමය. ජපානයේ මිට්සු සමාගම සමග සම්බන්ධව සිටී. හෝල්සිම් තායිලන්තයේ සියම් සිමෙන්ති සමාගම සමග සම්බන්ධය. රුහුණු සිමෙන්ති පාකිස්ථානය සමග සම්බන්ධය.

චීන සමාගමයක් ශ්‍රී ලංකාවේ සිමෙන්ති කම්හලක් ඇරැඹීමට යන බවට පසුගිය සති දෙක තුනකට පෙර ජාත්‍යන්තර ව්‍යාපාරික පුවත්පත්වල පළවිය. එසේම ලංකා සිමෙන්ති සමාගම දීර්ඝ කාලයකට පසු සිය වාර්ෂික කොටස් හිමි රැස්වීමක් පැවැත්වීමත්, විදේශීය ආයෝජකයන් සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙරට සිමෙන්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම් හදිසි අවදි වීමකින් යුතුව කටයුතු කරනු දක්නට ලැබුණි. ටෝකියෝ සිමෙන්ති සමාගම ඇමෙරිකානු අයෝජකයන් ආකර්ෂනය කරගැනීමේ උත්සාහයක යෙදුණු අතර ලංකා සිමෙන්ති සමාගමේ රු. 4.80ක්ව තිබූ කොටසක මිල රුපියල් 8.00 දක්වා මේවනවිට ඉහළ ගොස් තිබේ.

සිමෙන්ති කර්මාන්තය මොනතරම් ආර්ථික වැදගත්කමක් ඇති සංවේදී විෂයයක්දැයි මෙයින් පෙනේ.

ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ දියුණුව සඳහා පාකිස්ථානයෙන් උපකාර පැතීමේ තවත් වාසියක් තිබේ. පාකිස්ථානයේ සිමෙන්ති කර්මාන්තය ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තය මුහුණදුන් අත්දැකීම්වලට සමාන අත්දැකීම් ලබා ඇති කර්මාන්තයකි.

ඉන්දියාව සහ පාකිස්ථානය යනුවෙන් රටවල් දෙකක් බවට බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීමට ලක් වූ පසු පාකිස්ථානය යන කොටසේ සිමෙන්ති නිෂ්පාදන ආයතන කීපයක් ක්‍රියාත්මක විය. ඒවායේ වාර්ෂික නිෂ්පාදනය ටොන් 300000 ක ධාරිතාවකි.

1954 වනවිට පාකිස්ථානයේ සිමෙන්ති නිෂ්පාදනය ටොන් 600000 දක්වා ඉහළ ගොස් තිබුණි. 1972 දී පාකිස්ථානයේ සිමෙන්ති කර්මාන්තය ජනසතු කරන ලදුව සිමෙන්ති නිෂ්පාදනය රාජ්‍ය ව්‍යවසායයක් බවට පත්විය. 1991 දක්වා මේ තත්ත්වය පැවතිණ.

අර්බුදවලට මුහුණ දීම

එහෙත් 1991 ආර්ථික ප්‍රතිසංස්කරණවලට අනුව එරට සිමෙන්ති කර්මාන්තය පෞද්ගලීකරණයට ලක්විය. අද වනවිට පාකිස්ථානය සතුව දැවැන්ත සිමෙන්ති කම්හල් 27 කි. එහි නිෂ්පාදනය වසරකට මෙ.ටොන් දසලක්ෂ 19.8 කි. එක්සත් අරාබි ජනරජය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය , රුසියාව සහ ඉරාකය ප්‍රධාන මිලදී ගන්නා රටවල්ය. ශ්‍රී ලංකාව පවා පාකිස්ථානයෙන් සිමෙන්ති මිලදීගනී.

පාකිස්ථානයෙන් සිමෙන්ති මිල දී ගැනීම සිමෙන්ති හිඟයක් ඇති වූ අවස්ථාවන්හිදී ද ශ්‍රී ලංකාව අනුගමනය කරන එක් පිළිවෙතකි. උදාහරණයක් ලෙස 2008 මැයි මස රට තුළ ඇති වූ සිමෙන්ති හිඟයේ දී ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 79ක මිලක් ගෙවා පාකිස්ථානයෙන් සිමෙන්ති මිලදී ගැනීමට එදා පැවැති රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

මාසයකට ටොන් 25,000 බැගින් මාස 12 ක කාලයක් පාකිස්ථානයේ ඩී.ජී. කාන් සිමෙන්ති සමාගමෙන් සිමෙන්ති ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීමේ යෝජනාව එදා ඉදිරිපත් කෙළේ කර්මාන්ත සංවර්ධන ඇමැතිව සිටි කුමාර වෙල්ගම මහතා විසිනි.

ජාත්‍යන්තර සිමෙන්ති වෙළෙඳ පොළ තුළ පාකිස්ථානය සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී. එයට එක් හේතුවක් ව ඇත්තේ ඔවුනගේ කර්මාන්තය යාවත්කාලින කිරීමයි. මේ වනවිට පාකිස්ථානය පරිසර හිතකාමි සිමෙන්ති නිෂ්පාදනය දක්වා ඉදිරියට ගමන් කර තිබේ.

වරින්වර ව්‍යාපාරික මාධ්‍යයන්හි පළ වූ පුවතක් නම් පාකිස්ථානු සමාගම් ශ්‍රී ලංකාවේ සිමෙන්ති නිෂ්පාදන කටයුතු කෙරෙහි උනන්දු වන බවයි. පාකිස්ථානයේ සමාගමක් ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 25කට අධික වියදමින් රුහුණු මාගම්පුර සිමෙන්ති කම්හල් සංකීර්ණයක් පිහිටුවීමට යන බවට ද මාධ්‍ය වාර්තා පළවිය. ඉන්දියානු සමාගම් ද ශ්‍රී ලංකාවේ සිමෙන්ති කම්හල් ඉදිකරන පුවත් පළ වූ නමුත් ඒවා හුදු වාර්තා බවට පත්විය.

ජනාධිපතිවරයාගේ ඇරැයුමට මෙතෙක් නිල ප්‍රතිචාරයක් හිමිව නැත. එහෙත් පාකිස්ථානු විදේශ ලේකම්වරිය කොළඹ දී ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා පාකිස්ථානය හැමවිටම උපකාර කිරීමට සූදානමින් සිටින බවයි.

විදේශ ලේකම්වරිය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දී අගමැතිවරයා ප්‍රකාශ කෙළේ දෙරට අතර වාණිජ හා ආර්ථික සබඳතා පුළුල් කරගත යුතු බවයි.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 2002 දී ඇතිකරගත් නිදහස් වෙළෙද ගිවිසුමෙන් උපරිම පල ප්‍රයෝජන අත්කර ගැනීමට පසුගිය සතියේ දෙරටම තීරණය කළහ.

2005 ජුනි 12 වනදා සිට බලාත්මක වූ මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන 206කට පාකිස්ථානු වෙළෙඳපොළට (බදු සහන සහිතව) පිවිසීමට ඉඩකඩ ලැබුණි. එම භාණ්ඩ අතර තේ, පොල් සහ රබර් ද ඇතුළත් වේ.

දේශීය කර්මාන්තවලට සහයෝගය

පාකිස්ථානු නිෂ්පාදන 102 කට ශ්‍රී ලංකා වෙළෙඳ පොළට පිවිසීමට ඉඩකඩ විවෘත වේ. එම භාණ්ඩ අතරට දොඩම්, බාසුමති සහල් සහ ඉංජිනේරු භාණ්ඩ යනාදියද ඇතුළත් වේ.

පශු සම්පත් හා කිරි කර්මාන්තය දියුණු කරගැනීමට ද පාකිස්ථානය ශ්‍රී ලංකාවට ආධාර කරයි.

දේශීය සිමෙන්ති කර්මාන්තය ක්‍රමයෙන් දියුණුවන බව රහසක් නොවේ. එහෙත් සිමෙන්ති අපනයනය සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන ධනස්කන්ධය සුළුපටු නොවේ. එසේම කලාපීය රටවල් සමග සසඳා බලන කල අපේ සිමෙන්ති නිෂ්පාදනයේ ගමන සිදුව ඇතැයි තර්ක කළ හැකිය.

චීනය, පාකිස්ථානය ඉන්දියාව පරදමින් දැන් වියට්නාමය සිමෙන්ති අපනයනය පුළුල් කරමින් සිටින බව ජාත්‍යන්තර සිමෙන්ති සඟරාව කියයි. සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපනයනය වියට්නාමයේ අලුත්ම උපක්‍රමයයි. ඉන්ඩස්ට්‍රි ඉන්සයිට් සඟරාව පවසන්නේ ළඟ ළඟ පිහිටි රටවලට සිමෙන්ති හා අමුද්‍රව්‍ය විකිණීම අප්‍රිකාවේද දක්නට ලැබෙන බවයි.

ශ්‍රී ලංකාවේ පුත්තලමට උතුරින් පිහිටි ප්‍රදේශයේ සිමෙන්ති සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය විශාල වශයෙන් දක්නට ලැබේ. එසේම කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයේ පිහිටුවන ලද්දේ ද අවශ්‍ය හුනුගල් සුලබ නිසාය.

එහෙයින් ශ්‍රී ලංකාව ප්‍රධාන අමුද්‍රව්‍ය අතින් පොහොසත් නිසා අනාගත සිමෙන්ති අවශ්‍යතාව සැපිරීමට නම් අපේ සිමෙන්ති කර්මාන්තය දියුණු කළ යුතුමය. දැනටමත් රුහුණු සිමෙන්ති යනුවෙන් භාවිතා වන්නේ පාකිස්ථානයේ නිෂ්පාදිත සිමෙන්තිය. ඒවා නිෂ්පාදනය වන්නේ ඩී.ජී. නම් සමාගමකිනි. දැනට සිමෙන්ති රටින් ගෙන්වා අලෙවි කරතත් නුදුරු අනාගතයේ සිමෙන්ති ඇඹරුම් කර්මාන්ත ශාලාවක් සහ ඇසුරුම් ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු යොදන බව එම සමාගමය කියයි. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය පෝට්ලන්ඩ් කුලයට අයත් සිමෙන්ති සඳහා මෙහි ප්‍රමුඛත්වය හිමිවනු ඇත.

ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකි. මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ පමණක් දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති 150කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනු ඇත. මීරිගම කර්මාන්ත පුරය, බදුරලිය වනාන්තර නගරය, ගම්පහ ජනාවාස ව්‍යාපෘතිය, මාලඹේ දැනුම් නගරය, හොරණ කර්මාන්ත පුරය,මුතුරාජවෙල සංචාරක පුරය, අවිස්සාවේල්ල වැවිලි කර්මාන්ත නගරය, දකුණු සංචාරක කවුළුව සහ කොළඹ ව්‍යාපාරික නගරය මේ ඉදිකිරීම් අතර මුල් පෙළේ ව්‍යාපෘති කීපයකි.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න