මහජන මුදල් ගසා කෑ එවුන්ට ඡන්දය දෙන්න එපා | දිනමිණ

මහජන මුදල් ගසා කෑ එවුන්ට ඡන්දය දෙන්න එපා

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මහජන මුදල් ගසා කාපු, විවිධ දූෂණ චෝදනාවන්ට ලක් වූ අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න එපා යැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.

ඌව පළාත් සභාවේ විපක්ෂනායක ර. මු. රත්නායක මහතා සංවිධාන කළ වියලුව මැතිවරණ කොට්ඨාශයේ එ.ජා.ප. බල මණ්ඩලය පිහිටුවීමේ සමුළුවට එක්වෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

මේ යහපාලනය ගොඩනැ‍ෙඟෙන්නේ කණ්ඩායම් කිහිපයක එකතුවෙන්. ජාතික ආණ්ඩුවේ මූලිකයා

රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ බාධක මැද්දෙන් ඉදිරියට යනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවට නායකයෙක් හොයා ගන්න බැරිව කුමාර වෙල්ගම දාල තියෙනවා.

එතුමා පව්. ශ්‍රී ලංකා කාරයො රෑට-රෑට හොරෙන් තමයි හිටපු නායකයොත් එක්ක කතා කරන්නෙ. දවල් මිගෙල් - රෑ දනියෙල්ලා ඌව පළාත් සභාවෙත් ඉන්නවා. ශ්‍රී ලංකා ඡන්ද පැහැදිලිව ම දෙකට කැඩෙනවා. වියළුව ආසනේ ප්‍රාදේශීය සභා තුනම අපට දිනන්න පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් ඇතිකර ගන්න එපා.

ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් තියෙන්නේ බදුල්ලේ. මෙතෙක් කල් පළාතේ හිටපු දේශපාලන නායකයො ඒ සම්බන්ධයෙන් මොකක්ද අරන් තියෙන ක්‍රියාමාර්ගය? සමෘද්ධිලාභීන් එන්න එන්නම වැඩිවෙලා මිසක් අඩුවෙලා තියෙනවද? 1970 ගණන්වල ඉඳලම මේ දුප්පත්කම බලපානවා.

තමුන්නාන්සේලාගේ මනාපයෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා මේ දේශපාලකයො මොනවද කරල තියෙන්නෙ? මේක බරපතළ ප්‍රශ්නයක්.

අපි එක්සත් ජාතික පාක්ෂිකයන් විධියට යහපාලන රජයේ වැඩපිළිවෙළ ගැන දන්නව.

නායක තුමාගේ ප්‍රතිපත්ති ගැන, කැපවීම ගැන, උවමනාව ගැන අපි දන්නවා. එතුමා මේ රට ගොඩනඟයි කියන විශ්වාසයක් අප තුළ තියෙනවා. පසුගිය කාලෙ ගුරුවරයෙක් දණ ගස්සපු පළාත් සභා මන්ත්‍රී වරයාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකකමක් දීල.

ඒක කවුරුවත් හොඳයි කියනවද? හොඳ සංවිධායකයෙක් සොයා ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයන්ගේ හිඟයක් තියෙන බව පේනවා. යහපාලන රජයේ නායකයා මෙවැනි අයට සංවිධායක තනතුරු දෙන්නේ ඇයි? රට යහමඟට ගෙනියන්න නම් යහපත් මිනිසුන් තනතුරුවලට පත් කළ යුතුයි. යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන නායකයන් පිරිසක් ප්‍රාදේශීය සභාවලට පත් කරන්න අපි වගබලා ගතයුතුයි. මහජන මුදල් හොරාකන එවුන්ට ඡන්දය දෙන්න එපා යැයි මා ඉල්ලනවා.

බණ්ඩාරවෙල සමූහ
ආනන්ද හපුගොඩ 

නව අදහස දක්වන්න