වන රොද මැද බලකොටුවකි | දිනමිණ

වන රොද මැද බලකොටුවකි

ඇහැළියගොඩ සිට දෙහිඕවිට මාර්ගයේ කිලෝමීටර් 4ක් ගිය පසු හමුවන මඩගම්මන නම් ඉතා සුන්දර ගමකි. හරිත පරිසරයකි. සතර දෙසින් මනරම් කඳුවැටිය මඩගම්මන උප තැපැල් කාර්යාලයට යාබදව ඉදිරිපසින් ඇති උස් කඳුවැටිය දුටුවනට ප්‍රියජනකය . මහ ගණ කැලෑවකින් වැසුණු වෙදරාලලාගේ ඉඩමය. ප්‍රධාන මාර්ගයේ සිට ඉහළට ගමන් කිරීමේදී ගතට සිතට අපූර්ව සිසිලසක් දැනේ.

පුංචි දිය පාරවල් පිරිසුදු දියෙන් ඉතිරී ගලනා භූමියට ඇතුළුවත්ම හමුවන්නේ ගල් පඩිවලින් සකස් කරන ලද පැරැණි මාර්ගයයි. දෙපසින් කඩවත ලෙසින් හඳුන්වන පහළ ඇළ මාර්ගයේ සිට කොටුවට ප්‍රවේශ මාර්ගයයි. තරමක් ඉහළට ගමන් කිරීමේ දී ප්‍රාකාර බැමිවල සහ කුඩා ආරක්ෂිත කුටිවල අත්තිවාරම් ශක්තිමත්ව තවමත් තිබෙනු පෙනේ. තුන්පැත්තකින් ආවරණය වූ පෘතුගීසි බලකොටුව තුළ බරගල් යොදා සකස් කරන ලද බැමි තවමත් එලෙසම පවතී.

බලකොටුවට ඉහළින් මීටර 30ක පමණ දුරින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ලෙනකි. ලෙන ඉදිරිපසින් මේ වන විට නායයාමේ අවදානමට ලක්ව ඇති ස්ථාන දක්නට ලැබීම දුකකි. අඩි 5ක් පමණ ගිලා බැසීම නිසා එක් ස්ථානයක ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන තැන්පතු මතු වී තිබේ. මෙම ස්ථානය පිළිබඳව මුලින් සොයා බැලුවේ මඩගම්මන කන්ද උඩ ජීවිත දේපළ හා පරිසරය සුරැකීමේ සංවිධානයේ නිලධාරීන්ය.

විශ්‍රාමික පුරාවිද්‍යා අධ්‍යක්ෂවර ඇම්. ඒ. ජගත් මඩගම්මන මහතා හමුවිය. මෙවැනි ස්ථානයක් පිළිබඳ බෙල් වාර්තාවේ ‘ හබරකඩුව කොටුව’ නමින් සඳහන් වී ඇති බව සඳහන් වූ බැවින් වහා ක්‍රියාත්මක වූ ජගත් මඩගම්මන මහතා සබරගමු පළාත් භාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගම්වාසීන් සමඟ එක්ව එම ස්ථාන පරීක්ෂාවට ලක් කළ විට බලකොටුව ආශ්‍රිත ගමන් මාර්ගය අතර ගල් පාලමක්, නැගෙනහිර දිසාවෙන් අම්බලමක අත්තිවාරමක් ද සොයා ගැනීමට හැකිවිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කටයුතු භාර අධ්‍යක්ෂ ඒ. ජී. එල්. තිලකරත්න මහතා ස්ථාන පරීක්ෂණ කටයුතු සඳහා කැඳවීමට කටයුතු කළේ ඉන් පසුවය. මෙම ස්ථානය නායයාමට ලක්වීමට හේතුව ඒ ආශ්‍රිතව ගල් වළක් පවත්වාගෙන යෑම බවද අනාවරණය විය. ජී.පී.එස්. ඛණ්ඩාංක භාර නිලධාරී කලන මාරසිංහ මහතා ස්ථාන පරීක්ෂාවට ලක් කර පසුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා වහා ක්‍රියාත්මක වී සියලු නිලධාරීන් සමඟ ස්ථාන පරීක්ෂාවක් කළේය.

ලංකාවේ හමුවී ඇති බලකොටු සියල්ලක්ම පසුකාලයේ යටත් විජිත යුගයන්හිදී වෙනස්කම්වලට භාජනය වුවද මෙය තවමත් වෙනස් නොවී යථා ස්වභාවයෙන්ම ඇති ස්ථානයක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පැවසීය. "ස්ථානය නාය යාමට හේතුව ඒ ආශ්‍රිත ගල් වළක් කිරීම බව පවසනවා. ඒ පිළිබඳව ද කටයුතු කළ යුතුයි. ගල් වළට වඩා මෙම ස්ථානය ඉතා වැදගත්. ස්ථානය සංරක්ෂණ කටයුතු කර සැලසුමකට අනුව ගවේෂණයක් කිරීමටත් කටයුතු කරනවා" යනුවෙන් ද පී. බී. මණ්ඩාවල මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කටයුතු භාර අධ්‍යක්ෂ ඒ. ජී. එල්. තිලකරත්න මහතා

"ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මානවයා මෙම ස්ථානයේ ජීවත් වී ඇති බව මතුපිට පස් තට්ටුවල ශිලා මෙවලම් බෙලිකටු ආදියෙන් පැහැදිලියි. කැණීම් කළොත් මානව අවශේෂ හම්බවෙන්න පුළුවන්. මෙය යටත්විජිත යුගයේ ස්ථානයක් . පෘතුගීසීන් රත්නපුරට පසුබහිද්දී මෙය ආරක්ෂිත කොටුවක් හැටියට භාවිතා කළ බව බෙල් වාර්තාවේ තියනවා.ගල් පාලමක් තිබීමෙන් පැහැදිලි වෙන්නේ ගමන් මාර්ගයයි. තුන් පැත්තකින් ප්‍රාකාර බැඳ තිබීම කොටුවේ විශේෂත්වයක්. කැලණි ගඟ මොවුන්ගේ ප්‍රධාන මාර්ගය. සීතාවක හරහා අතුරු මාර්ග තිබී ඇති බව මෙහි දැක්වෙන ස්ථානවලින් පැහැදිලියි."

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (නඩත්තු) ජගත් මඩගම්මන මහතා

"ස්වාභාවික පිහිටීම පදනම් කරගෙන මෙම බලකොටුව නිර්මාණය වී තිබෙනවා. පැරැණි ගල් පාලම, අම්බලම, බලකොටුව, ලෙන විශේෂ කඩවත් බැමි, මාලක, කොටු බැමි, බැස්ටියන් (මුර අට්ටාල) ළිඳ, බැලුම් කොටුව මෙම ස්ථානයේ පැහැදිලිව දකින්නට පුළුවන්. ඇතැම් ඒවා කැලෑවෙන් වැහිලා. නාය යාමෙන් වැසුණු ස්ථානත් තිබෙනවා."

 පරකඩුව විශේෂ
ඇහැළියගොඩ රන්ජන් මඩගම්මන 

නව අදහස දක්වන්න